මරණයෙන් පසුත් ඩොලර් බිලියන ගණන් ඉපයූ පොප් රජුගේ උරුමය දරුවන්ට හිමි නොවූ කතාව

කලාකරුවෙකු හෝ ප්‍රසිද්ධ පුද්ගලයෙකු සැබවින්ම ශ්‍රේෂ්ඨයෙකු බවට පත්වන්නේ කෙසේද යන්න පිළිබඳව කතා කරන විට, බොහෝ දෙනා සඳහන් කරන්නේ ඔහුගේ හෝ ඇයගේ මරණයෙන් පසුවත් පවතින සාර්ථකත්වය එය බවට.කලාකරුවා ජීවිතයෙන් සමුගත්තද, ඔහුගේ නිර්මාණ කාලයත් සමඟ අමරණීය වෙමින් පවතී.

ඇතැම් ප්‍රසිද්ධ පුද්ගලයන් මියගොස් වසර ගණනාවක් ගතවී තිබුණද, ඔවුන්ගේ නාමය, සංගීතය, චිත්‍රපට, පොත්පත් හෝ වෙළඳ නාම හරහා තවමත් විශාල ආදායම් උපයයි. ජීවිතය අවසන් වුවද, ඔවුන්ගේ ආර්ථික බලපෑම අවසන් වී නොමැත.

2023 ඔක්තෝබර් 1 සිට 2024 සැප්තැම්බර් 30 දක්වා කාලය සඳහා ෆෝබ්ස් සඟරාව විසින් ප්‍රකාශයට පත් කළ දත්ත මත පදනම්ව, මෙම ලැයිස්තුව ලොව වැඩිම බදු පෙර ආදායමක් උපයන මියගිය ප්‍රසිද්ධ චරිත ශ්‍රේණිගත කර තිබේ.

Bob Marley

රෙගේ සංගීතයේ අමරණීය පුරාවෘත්තය වන බොබ් මාර්ලි අදටත් ලොව වැඩිම ආදායමක් උපයන මියගිය ප්‍රසිද්ධ චරිත අතර හත්වැනි ස්ථානයේ පසුවෙයි. ඔහුගේ සංගීත කැටලොග් හිමිකම්, ප්‍රකාශන අයිතිවාසිකම් සහ විවිධ වෙළෙඳ නාම ව්‍යාපාර හරහා 2024 වසරේදී ඇස්තමේන්තුගතව ඇමරිකානු ඩොලර් මිලියන 34ක ආදායමක් උපයා ඇත. මරණයෙන් දශක ගණනාවක් ගතවුවද, බොබ් මාර්ලිගේ සංගීතය තවමත් ලොව පුරා ජනප්‍රියත්වයේ ඉහළින්ම රැඳී සිටී.

Prince

‘Purple Rain’ ගීතය හා ඇල්බමය හරහා සංගීත ඉතිහාසයේ නොමැකෙන සලකුණක් තැබූ ප්‍රින්ස්, මියගොස් වසර ගණනාවක් ගතවුවද තවමත් දැවැන්ත ආදායමක් උපයයි. ඔහුගේ සංගීත නිර්මාණවල හිමිකම්, නම හා රූපය භාවිත කිරීමේ අයිතිවාසිකම් මෙන්ම ඔහුගේ සුප්‍රසිද්ධ නිවස වන Paisley Park නැරඹීමට පැමිණෙන සංචාරකයන්ගෙන් ලැබෙන ආදායම හේතුවෙන් 2024 වසරේදී ඇමරිකානු ඩොලර් මිලියන 35ක් උපයා ඇති බව වාර්තා වේ.

Elvis Presley

‘රොක් ඇන්ඩ් රෝල්’ රජු ලෙස හැඳින්වෙන එල්විස් ප්‍රෙස්ලිගේ ආදායම් මාර්ග අදටත් සක්‍රීයව පවතී. ඔහුගේ සංගීත ප්‍රවාහන සේවා සහ බලපත්‍ර ගිවිසුම් හරහා ලැබෙන රාජකීය ගෙවීම්වලට අමතරව, ටෙනසි ප්‍රාන්තයේ පිහිටි ඔහුගේ සුප්‍රසිද්ධ නිවස වන Graceland ද විශාල ආදායමක් උපයයි. පසුගිය වසර තුළ පමණක් Graceland නැරඹීමට 600,000කට අධික සංචාරකයන් පිරිසක් පැමිණ තිබේ. වංචාකරුවන් විසින් එය නීතිවිරෝධී ලෙස වෙන්දේසි කිරීමට උත්සාහ කළද, එහි ජනප්‍රියත්වය කිසිසේත් අඩුවී නැත.

ලැයිස්තුවේ අංක 1 බවට පත් වන Michael Jackson

2024 වසරේ ලොව වැඩිම ආදායමක් උපයන මියගිය ප්‍රසිද්ධ චරිතයා ලෙස නැවතත් කිරුළ දිනාගෙන ඇත්තේ ‘පොප් රජු’ ලෙස හැඳින්වෙන මයිකල් ජැක්සන්ය. ඔහුගේ ප්‍රකාශන සහ සංගීත මාස්ටර් අයිතිවාසිකම් විශාල කොටසක් Sony සමාගම වෙත අලෙවි කිරීමෙන් පමණක් ඇමරිකානු ඩොලර් මිලියන 600ක ගනුදෙනුවක් සිදුවී තිබේ.

ඔහුගේ මව ඇතුළු පවුලේ ඇතැම් සාමාජිකයන් මෙම ගනුදෙනුවට විරෝධය පළ කළද, එය අවසානයේ සාර්ථකව නිමාවට පත්විය. ඒ අතරම, ඔහුගේ නමින් පැවැත්වෙන සංගීත තැටි සහ විවිධ නිෂ්පාදන හරහාද ආදායම් ගලා එයි.

ෆෝබ්ස් සඟරාවට අනුව, මයිකල් ජැක්සන් 2024 වසරේදී පමණක් ඇමරිකානු ඩොලර් මිලියන 600ක් උපයා ඇති අතර, 2009 වසරේ ඔහුගේ මරණයෙන් පසු සමස්ත ආදායම ඩොලර් බිලියන 3.3 ඉක්මවා ඇත.

2009 ජූනි 25 දින ලොස් ඇන්ජලීස්හිදී මයිකල් ජැක්සන් මියගියේ ප්‍රොපොෆෝල් සහ බෙන්සොඩයසපීන් ඖෂධ අධික ලෙස භාවිත කිරීම හේතුවෙන් බව වාර්තා විය. ඔහුගේ මරණය මුලදී සැකසහිත තත්ත්වයක් ලෙස සැලකුණද, පසුව එය ඖෂධ අධිමාත්‍රාවක් බව තහවුරු වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

කෙසේ වෙතත්, ඔහුගේ මරණයෙන් පසුවද ඔහුගේ වත්කම් අඛණ්ඩව වර්ධනය විය. ‘This Is It’ වාර්තා චිත්‍රපටය, නව සංගීත ගිවිසුම් සහ විවිධ ව්‍යාපාරික ව්‍යාපෘති හේතුවෙන් වසර තුනක් ඇතුළත ඔහුගේ වත්කම් වටිනාකම ඩොලර් මිලියන 500 දක්වා ඉහළ ගියේය.

‘Michael Jackson’s This Is It’ වාර්තා චිත්‍රපටය පමණක් ඩොලර් මිලියන 60කට වැඩි ආදායමක් උපයා ඇති අතර, නව සංගීත ගිවිසුමකින් තවත් ඩොලර් මිලියන 250ක් එක්විය. එමෙන්ම Cirque du Soleil විසින් ඉදිරිපත් කළ ‘Immortal World Tour’ ප්‍රසංග මාලාව 2012 වසරේදී පමණක් ඩොලර් මිලියන 75ක ආදායමක් ලබා දී තිබේ.

ජැක්සන්ගේ 2002 කැමති පත්‍රයට අනුව ඔහුගේ දේපළ දරුවන් තිදෙනාට සහ මව වන කැතරින් ජැක්සන්ට හිමිවිය යුතු වුවද, වසර 15කට අධික කාලයක් ගතවී තිබියදීත් දරුවන්ට සම්පූර්ණ උරුමය හිමි වී නොමැත. ඊට හේතුව වන්නේ බදු ගෙවීම් සම්බන්ධයෙන් ඇමෙරිකානු ආදායම් සේවය (IRS) සහ ජැක්සන් වත්කම් භාරකාරීත්වය අතර පවතින නීතිමය ගැටුම්ය.

එහෙත් ඔහුගේ දරුවන් වන ප්‍රින්ස්, පැරිස් සහ බිගි ජැක්සන් මූල්‍ය දුෂ්කරතාවලට මුහුණ නොදෙන බව විදෙස් මාධ්‍ය වාර්තාවල පැවසේ. වත්කම් භාරකාරීත්වයෙන් ඔවුන්ට සැලකිය යුතු මූල්‍ය සහයෝගයක් ලැබෙන බව අධිකරණ ලේඛන පෙන්වා දෙයි.

කෙසේවෙතත් මයිකල් ජැක්සන්ගේ කතාවෙන් පැහැදිලි වන්නේ, සැබෑ තාරකාවක් මිය ගියද ඔහුගේ බලපෑම, ජනප්‍රියත්වය සහ ආදායම් උපයන හැකියාව කිසිදා මිය නොයන බවයි.

අශන්ති වරුණසූරිය

සුපිරි එල් නිනෝ අවදානමට  ලංකාව සූදානම්ද? Read Previous

සුපිරි එල් නිනෝ අවදානමට ලංකාව සූදානම්ද?

සුපිරි එල් නිනෝ අවදානමට  ලංකාව සූදානම්ද? Read Next

සුපිරි එල් නිනෝ අවදානමට ලංකාව සූදානම්ද?

Realted Post

Leave a comment