මෙහෙම ජීවිතයක් මගේ හීනෙකවත් තිබුණෙ නෑ

"අම්මම්මේ ඔයා තව කෙනෙක් සතුටු කරලා සතුටු වෙන්න කොහොමද පුරුදු වුණේ ? "

සිය මිනිබිරියගෙන් ඇයට නිතර ඇසෙන මේ පැනයට ඇය උත්තර දෙන්නේ සුපුරුදු සිනාවෙන් පමණක් නොවේය. මිණිබිරි පැටික්කියව තුරුළට ගෙන තද කර ගනිමින්ය. මිණිබිරියකගේ ආදරය විඳින ඇය ආදරණීය මිත්තණියක් වූවාට අපට නම් ඇය තවමත් සුන්දර තාරුණ්‍යයේ පසුවන යෞවනියක් බඳු තැනැත්තියකි.

ඇය කුසුම් රේණුකාය. එදිරිවීර සරත්චන්ද්‍රයන්ගේ උපදේශයක් අනුව ඇගේ නමින් අග අකුර ඉවත්ව ඇය සිනමාව, වේදිකාව, රූපවාහිනිය සියල්ල තරණය කළ, හෙළ කලා ලිය වැලේ පිපි කුසුමක්මය. අලංකාරයක් හිමි කර ගනිමින් කුසුම් රේණු වී තිබේ. මේ ආදරණීය කතා බහ ඇයගේ මතක අතීතය සහ ගෙවන වත්මන පිළිබඳවය.


එදා අද ගැන මට හිතෙන හැටි

මම හිතනවා මගේ ජීවිතයේ මම කිසිම දෙයක් අපේක්ෂා කරපු කෙනෙක් නොවෙයි. මම ජීවිතය මට දෙන දේ සතුටින් භාර ගත්තු කෙනෙක්. මගේ පාසල් කාලයේ අධ්‍යාපනික වටපිටාව සමග මගේ එක්ක හිටපු යාළුවෝ යෙහෙළියෝ හැම කෙනෙකුම මගේ ජිවිතයට අහඹු ලෙස මුණ ගැසුණු සුන්දර හමුවීම් හැටියට තමයි මම දකින්නේ. ඒ විදියට කල්පනා කරද්දි මම මගේ ළමා කාලයේ තරුණ කාලයේ මම හිතපුවත් නැති තැනක මම ඉන්නව කියලා තමයි හිතෙන්නේ.


අපි දෙන්නාගේ ආගම් වෙනස්

අපි දෙන්නා ආගම් දෙකක. ශ්‍රියන්ත කතෝලික. මම බෞද්ධ. නමුත් අපි දෙන්නාම අපි දෙන්නගේ ආගම් දර්ශනයට ගෞරව කරගෙන එකම තැනක අපි බුදුන් වහන්සේට සහ ජේසුස් වහන්සේ යන දෙදෙනාටම වන්දනා කරනවා. මම මගේ ආගම අනුව සියල්ල අනිත්‍යයි කියන ධර්මතාවයෙන් ජීවිතය ගැන අවබෝධයෙන් කටයුතු කරනවා. ප්‍රියන්තත් ඒ ආගමේ මගපෙන්වීම අනුව, ඒ ධර්මය අනුව මිනිසුන් වෙනුවෙන් හැකි පමණ කරුණාව දක්වමින් හැකි පමණ අනෙකාට සේවය කරමින් ජීවිතය ගෙවනවා.

මගේ තාත්තා මට දුන්නු අවවාදයක් තිබුණා, ඒ තමයි පුතේ අපි මිනිහෙක් වගේ ඉපදීලා මැරෙන්න ඕන දෙවියෙක් වගේ'' කියලා.

තාත්තා ඒ දුන්නු අවවාදය මගේ ජිවිතයේ තේමා පාඨය හැටියට තමයි මම නිතර හිතන්නෙ.


මෙහෙණින් වහන්සේ කෙනෙක් වගේ වෙන්න ආසයි

මම මගේ ජිවිතයේ ගාම්භීර, සාමාන්‍ය, ආදරණීය, කොමඩි ආදී මොන චරිතය රඟ දැක්වුවත් ගෙදරදී ආදරණීය බිරිඳක්, මවක්, මිත්තණියක් වෙන්න තමයි කැමතිම. ඒ වගේම මගේ කලාවේදී මම හරි ආශාවෙන් ඉන්නවා දවසක මෙහෙණින් වහන්සේ කෙනෙකුගේ චරිතයක් රඟ දක්වන්න. මම හිතනවා ඒ සඳහා මට අවස්ථාවක් ලැබේවි කියලා කොයි මොහොතක හරි. ජිවිතය කියන මේ කරළියේ අපි මොන චරිතය කළත් පොළොවෙ පය තියලා තමයි ඒක කරන්න ඕනෑ. ඒක මමත් ශ්‍රියන්තත් දෙන්නම දැඩිව අධිෂ්ඨාන කරගෙන ඉන්න සිතුවිල්ලක්.

සටහන - විශ්ව ගැමුණු ප්‍රියංකර

ගැස්ට්‍රයිටීස්වලට ආයුර්වේදයෙන් පිළියම් Read Previous

ගැස්ට්‍රයිටීස්වලට ආයුර්වේදයෙන් පිළියම්

සැබෑ කලා සිත් හඳුනාගත් කලා සිත්රූ කලා සම්මාන උළෙල Read Next

සැබෑ කලා සිත් හඳුනාගත් කලා සිත්රූ කලා සම්මාන උළෙල

Realted Post

Leave a comment