මේ තරම් වැටුණේ නැහැ කවදාවත්. ඒත් මාව වට්ටන්න බැහැ
ප්‍රවීණ සම්මානිත කලාකරුවකු වන රොජර් සෙනෙවිරත්න මහතා කතාව විත් අශ් වැඩසටහනේදී දැක්වූ අදහස් ...
ජීවිතයේ ඕනෑ තරම් වැටුණු අවස්ථා, කලකිරුණු අවස්ථා ඔබටත් ඇති. එවැනි අවස්ථාවකින් පස්සේ ඔබ නැවත නැඟී සිටින්නේ කොහොමද?
මගේ ජීවිතයේ වැටුණු අවස්ථා ඕනෑ තරම් තිබිලා තියෙනවා. ඒ හැම අවස්ථාවකටම මම මුහුණ දීලා තියෙනවා. නමුත් 2026 ජනවාරි 3 වැනිදා මම වැටුණු වැටීම, මගේ ජීවිතයේ මට මුහුණ දෙන්න සිදු වූ අමාරුම අවස්ථාවක්. ඒකට හේතුව මොකක්ද කියලා මම කියන්න කැමති නැහැ. නමුත් ඒ සිදුවීමෙන් පස්සේ මම තවමත් ඒකෙන් ගොඩ එන්න අමාරුවෙන් ඉන්නේ.
හැබැයි මම එහෙම චරිතයක් නෙමෙයි. මට කොච්චර දේවල් වුණත්, කොච්චර මානසික පීඩනයක් ආවත්, මම දවසක් දෙකක් ඇතුළත ඒකෙන් මිදිලා ආයෙත් නැගිටිනවා. මාව ආයෙත් වට්ටන්න මෙලෝ ජගතෙකුට බැහැ. ඒක තමයි මම ජීවිතයේ හැමදාමත් කරගෙන ආපු දෙය.
මේ අවස්ථාවේදීත් ඔබ ඒ විදිහටම නැවත නැගී සිටිනවා කියලා විශ්වාස කරනවාද?
ඔව්. ඇත්තටම මේ තියෙන මානසික පීඩනයත් එක්ක මම මේ වැඩසටහනට එන්නවත් හිතාගෙන හිටියේ නැහැ. මට එන්න බැහැ කියලා හිතුණා. නමුත් මම ආවා. කතා කරනවා. මොකද මම දන්නවා මට මගේ ජීවිතය ආයෙත් ගොඩනගාගන්න පුළුවන් කියලා. මට පීඩනයක් ආවට මම ඉක්මනින්ම මාව රිකවර් කරගන්නවා. මාව වට්ටන්න කාටවත් බැහැ.
මේ සිදුවීමත් එක්ක ඔබේ දෛනික ජීවිතයේ යම් වෙනස්කම් ඇති වුණාද?
මම සිගරට් බීම නවත්වලා හිටියේ. මම අවුරුදු 35ක් විතර මත්පැන් පානය කරලා නැහැ. මත්පැන්වලින් සම්පූර්ණයෙන්ම ඈත් වෙලා හිටියේ. ජනවාරි 3 වැනිදා සිදුවීමෙන් පස්සේ මම ලොකු පීඩනයක හිටියා. එහෙම ඉඳලා ඉඳලා ජනවාරි 8 වැනිදා විතර මගේ මස්සිනා කෙනෙක් ආවා. අපි එළියේ ඉන්න වෙලාවක ඔහු සිගරට් එකක් බොමින් හිටියා.
මම සාමාන්‍යයෙන් සිගරට් බොන්නේ නැති නිසා ඔහු මගෙන් ඇහුවා, “සිගරට් එකක් බොනවද?” කියලා. මම මුලින් කිව්වා, “බෑ මචං” කියලා. මොකද මම දන්නවා මට තිබුණු පීඩනය ගැන. නමුත් තත්පර කිහිපයකින් මට හිතුණා එක උගුරක් බොන්න ඕනේ කියලා. ඊට පස්සේ මම ඔහුගෙන් සිගරට් එක ඉල්ලගෙන ටිකක් බිව්වා. ඒකෙන් පස්සේ මම ඔහුගෙන් තවත් සිගරට් කිහිපයක් ඉල්ලගත්තා. ඒත් මම දන්නවා, මට ඕනෑම වෙලාවක ඒක නැවත නවත්වන්න පුළුවන් කියලා. මීට කලින් මම එහෙම නවත්වලා තියෙනවා.
ඔබ සමාජ ජීවිතය තුළ මත්පැන් පානය කරන මිතුරන්, බාර් සහ අවන්හල් ආශ්‍රය කරනවා. ඒත් ඔබ ඒ දේවල්වලට සම්බන්ධ නොවී ඉන්නෙ කොහොමද?
මම බොන යාළුවෝ ගොඩක් ආශ්‍රය කරනවා. අවන්හල්වල යාළුවෝ එක්ක ඉන්නවා. බාර්වලටත් ගිහින් තියෙනවා. හැබැයි මම කවදාවත් ඒ නිසා මත්පැන් පානය කරන්න පුරුදු වෙලා නැහැ. කවුරුත් මට බොන්න බල කරන්නෙත් නැහැ. මම විශේෂයෙන්ම ඒ වගේ තැන්වලදී බයිට් කෑම ගන්නෙත් නැහැ. ඒවායේ තියෙන තෙල් වගේ දේවල් මම ගන්න කැමති නැහැ. මගේ ශරීරය ගැන මම හොඳින් සැලකිලිමත් වෙනවා.
ඔබ ජීවිතය ගැන ආපස්සට හැරිලා බලද්දී මොකද හිතෙන්නේ?
මගේ ජීවිතයේ හැප්පීම් සිදුවෙලා තියෙනවා. වැටීම් සිදුවෙලා තියෙනවා. හැම දෙයක්ම වෙලා තියෙනවා. හැබැයි මම ඒ කිසිම දෙයක් ගැන අද කම්පා වෙන්නේ නැහැ. මොකද ඒ හැම දෙයකින්ම මම පාඩමක් ඉගෙනගෙන තියෙනවා.
ඔබේ ජීවිතයේ තවත් පැත්තක් තමයි මිනිස්සුන්ට උදව් කරපු කෙනෙක් වීම. ඒ ගැනත් මතකයන් ඇති නේද?
ඔව්. මම කවදාවත් පාන් රාත්තලක්වත් ගන්න සල්ලි නැතුව හිටපු මිනිහෙක් නෙමෙයි. මම මගේ ජීවිතයේ විශාල පිරිසකට කන්න බොන්න දීලා තියෙනවා.
සමහර මාසවල මම මිනිස්සු 700කට, 800කට විතර දාන දීලා තියෙනවා. මස් ගේනවා. මස් කොටේල් ගේනවා. ලිවර් ගේනවා. සුප් බෝන්ස් ගේනවා. එළවළු ගේනවා. දර ගේනවා. ඒ හැම දෙයක්ම විශාල මල්ලකට දාලා මගේ මයිනර් කාර් එකේ පිටිපස්සේ දාගෙන ගෙදර එනවා. අපේ අම්මා ඒවා ලුණු, ගම්මිරිස් දාලා තම්බනවා. ඊට පස්සේ ඒවා රෝස් කරලා සකස් කරනවා. පසුව ඒවා වහලා, ගැට ගහලා තියාගන්නවා. අම්මාට හොඳට උයන්න පුළුවන්. ඒ නිසා ඒ වැඩේ අම්මා හරිම ආසාවෙන් කළා.
අම්මාගේ මතකයත් මේ හැම දෙයක් එක්කම බැඳිලා තියෙනවා නේද?
ඔව්. අම්මා මැරෙන්න කලින් මම මත්පැන් පානයත්, ඌරු මස් සහ අරක්කු මස් වගේ දේවල් කෑමත් නවත්වලා තිබුණා. ඒත් අදටත් ඌරු මස් දැක්කම, අම්මා ඌරු මස් හදපු සුවඳ තමයි මට මතක් වෙන්නේ. ඒ තරම් රසයි, ඒ තරම් සුවඳයි.
ඔබේ සහෝදර සහෝදරියන් සමඟ තිබුණු බැඳීමත් විශේෂයි නේද?
ඔව්. අපේ පවුලේ ළමයි නව දෙනෙක් හිටියා. අපි නව දෙනාම එකට තමයි හැදී වැඩුණේ. එක පැදුරේ නිදාගත්තා. එක රෙද්ද පෙරවාගෙන හිටියා.
අදටත් අපි අතර ඒ සහෝදර බැඳීම තියෙනවා. ප්‍රශ්න ඇති වෙනවා. සමහර වෙලාවට එකිනෙකාට කතා කරන්නේ නැති වෙලාවල් තියෙනවා. හැබැයි කවුරුහරි කෙනෙක් කරදරයක වැටුණොත් අනිත් හැමෝම ඔහු වෙනුවෙන් හිටගන්නවා. ඒක තමයි මගේ ලොකුම හයිය.
ඒ සහෝදර බැඳීමේ ලස්සන මතකයක් ඔබට කියන්න පුළුවන්ද?
මම පොඩි කාලේ ඉඳන්ම නංගිලා හය දෙනා ගැන බලාගත්තා. එයාලා තුන්දෙනා තුන්දෙනා නානවා. අපේ ළිඳ ළඟ ඇඳුම් මාරු කරන්න වට කරපු ටැංකි දෙකක් තිබුණා. මම ඉතින් වතුර අරගෙන ඒ ටැංකි පුරවනවා. එක ටැංකියට තුන්දෙනෙක් බහිනවා. අනිත් ටැංකියට අනිත් තුන්දෙනා බහිනවා. එයාලා එතැන සෙල්ලම් කරනවා, නානවා. සමහර වෙලාවට ඔළුත් ගැටෙනවා. තුවාල කරගන්නවා. මම ඒ දිහා බලාගෙන හිනා වෙවී ඉන්නවා. ඊට පස්සේ සබන් ගෑවට පස්සේ ආයෙත් ටැංකි පුරවන්න ඕනේ. ඒ වගේ ලස්සන, පුංචි මතක ගොඩක් අපි අතර තියෙනවා.
අම්මා අවසන් කාලයේදී ඔබට කියපු වචන මතකද?
ඔව්. අම්මා මැරෙන්න කලින් රෝහලේදී නංගිලාට කියපු දෙයක් මට අදටත් මතකයි. අම්මා කිව්වේ, ““I am not afraid to die. ඒ කියන්නේ, “ඔයාලා එක්ක අයියා ඉන්නවා” කියන එක. ඒ නිසා මට අදත් මරණයට බයක් නැහැ. මොකද අපි එකිනෙකා වෙනුවෙන් ඉන්නවා කියන විශ්වාසය මට තියෙනවා.
- අශන්ති වරුණසූරිය

Leave a comment