ලෝකයට පේන්න නෙමෙයි, තමන් තමන් වෙලා තියෙන විදියට ජීවත්වෙන්න - ජූලා

ශ්‍රී ලංකාවේ මෝස්තර නිරූපණ ක්ෂේත්‍රයේ තමන්ගේම අනන්‍යතාවයක් සහ සන්නාමයක් ගොඩනගාගත් චූලපද්මේන්ද්‍රන් මහත්මිය ගැන මතකය අවදි කිරීමකි මේ. 

මේ වන විට ඇය සිය දිවි ගමනට සමු දී අවසන්ය. නිරූපණ ශිල්පිනියක මෙන්ම පසුව නවක ශිල්පීන් සහ ශිල්පිනියන් ක්ෂේත්‍රයට දායාද කළ ආදරණීය ගුරුවරියක ලෙසද ඇය ඉටුකළ මෙහෙය ප්‍රශංසනීයය.

පහුගියදා 'සිරිකත' පුවත්පත සමග පැවැත්වූ සම්මුඛ සාකච්චාවකදී ඇයගේ ජීවිතය, වෘත්තීය ගමන ගැන ඇය පල කර තිබූ අදහස් කිහිපයකි මේ.

ඇගේ නිරූපණ ක්ෂේත්‍රයට පිවිසීම සහ වෘත්තීය ගමන,

පාසල් සමයේ ඇත්ලැටික්ස් සහ ජිම්නාස්ටික් ක්‍රීඩාවල නිරත වූ චූලා, කුඩා කල සිටම විලාසිතා කෙරෙහි පැවති දැඩි ආශාව නිසාම නිරූපණ ක්ෂේත්‍රයට යොමු වී ඇත. නයෝමි කැම්බල් වැනි ලෝක පූජිත මොඩල්වරුන්ගෙන් ආභාසය ලැබූ ඇය, ශ්‍රී ලංකා ගුවන් සේවයේ ගුවන් සේවිකාවක ලෙස සේවය කරමින් සිටියදී නිරූපණ ක්ෂේත්‍රයට පූර්ණ කාලීනව යොමු වීම සඳහා එම රැකියාවෙන් ඉවත් වී තිබේ.

අඛණ්ඩ කැපවීම, පිළිවෙළ සහ මහන්සිය නිසාම වසර ගණනාවක් පුරාවට ක්ෂේත්‍රයේ ඉහළම රැඳී සිටීමට ඇයට හැකි විය. Ramps Come alive වැනි දේශීය මෙන්ම ඉන්දියාව ඇතුළු විදේශීය ප්‍රදර්ශන සඳහාද දායක වූ ඇය, අලුත් පරම්පරාවට නිරූපණ ශිල්පය පුහුණු කරමින් මීගමුව ඇතුළු ප්‍රදේශ කිහිපයකම වැඩමුළු පැවැත්වීමටද සූදානමින් සිටියාය.

විශේෂ අවශ්‍යතා ඇති දරුවෙකුගේ සැබෑ ශක්තිමත් මවක්

ඇගේ ජීවිතයේ වඩාත්ම සංවේදී සහ ශක්තිමත් පැත්ත වූයේ ඇගේ මාතෘත්වයයි. "පුතා තමයි මගේ මුළු ලෝකයම" යැයි පැවසූ ඇය, විශේෂ අවශ්‍යතා ඇති සිය පුතු වෙනුවෙන් ජීවිතයේ ඕනෑම අභියෝගයකට මුහුණ දීමට සූදානම්ව සිටියාය. "මම වැටුණොත් මගේ දරුවත් ජීවිතයෙන් වැටෙනවා. ඒ නිසා මගේ දරුවා වෙනුවෙන් මම ජීවිතයෙන් නැගිටින්න ඕනෑ" යනුවෙන් ඇය පැවසූ වචන ඇගේ අසීමිත මාතෘ ප්‍රේමය සහ ධෛර්යය මැනවින් පැහැදිලි කරයි. තනිව ජීවත්වන මවක් ලෙස සියලු බාධක දරාගනිමින් ඉදිරියට යන්නට ඇයට සිය මව, සොහොයුරා, නෑදෑයින් සහ සමීප හිතවතුන්ගෙන් ලැබුණේ විශාල ශක්තියකි.

නිරෝගී දිවිය සහ අභියෝග හමුවේ නොසැලෙන ආකල්ප,

කාර්යබහුලත්වය අතරතුරදී පවා යෝගා, මෙඩිටේෂන් සහ ව්‍යායාම මගින් සිය නිරෝගීබව රැකගත් ඇය, සමාජයේ ජීවත්වන සියලුම කාන්තාවන්ට දුන්නේ වටිනා උපදේශයකි. "මේ ලෝකේ කාන්තාවකට කරන්න බැරි දෙයක් නැහැ. අපිට තිබෙන විදියට ජීවත් වෙන්න ඕනෑ. ලෝකයට පේන්න ජීවත් වෙන්න එපා. තමන් තමන් වෙලා ජීවත් වෙන්න" යැයි ඇය අවධාරණය කළාය. එමෙන්ම සෑමවිටම සත්‍යය වෙනුවෙන් පෙනී සිටීමේ සහ තමන්ගේම කියා ආදායම් මාර්ගයක් සකසා ගැනීමේ වැදගත්කමද ඇය පෙන්වා දුන්නාය.

ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් මන්මත් කළ ඇසළ පෙරහැරේ කලාකරුවන් Read Previous

ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් මන්මත් කළ ඇසළ පෙරහැරේ කලාකරුවන්

ශීතකරය පිරිසිදු කරන පහසුම ක්‍රමය Read Next

ශීතකරය පිරිසිදු කරන පහසුම ක්‍රමය

Realted Post

Leave a comment