ලොව HIV වැඩිම රටවල් අතරට ශ්‍රී ලංකාවත්

මෙරට ආසාදිතයින් හඳුනාගැනීම 48%කින් ඉහළට

ලොව පුරා එච්.අයි.වී. (HIV) ආසාදනය ඉහළ යාමේ ප්‍රවණතාවයක් පෙන්නුම් කරන රටවල් 21 අතරින් ශ්‍රී ලංකාව 17 වැනි ස්ථානයට පත්ව ඇති බව එක්සත් ජාතීන්ගේ ඒඩ්ස් වැඩසටහන (UNAIDS) නිකුත් කළ නවතම දත්ත වාර්තා පෙන්වා දෙයි. 2010 වසරට සාපේක්ෂව 2024 වසර වන විට ගෝලීය වශයෙන් එච්.අයි.වී. ආසාදිතයින් වාර්තා වීම සියයට 40 කින් පමණ අඩුවී තිබුණද, එම කාලසීමාව තුළ ශ්‍රී ලංකාවේ ආසාදිතයින් හඳුනාගැනීම සියයට 48 කින් ඉහළ ගොස් තිබීම විශේෂ අවධානයට යොමු විය යුතු කරුණකි.

ශ්‍රී ලංකාව තුළ 2023 වසරේ සිට වැඩිම එච්.අයි.වී. ආසාදිතයින් පිරිසක් හඳුනාගෙන ඇත්තේ කොළඹ සහ ගම්පහ යන දිස්ත්‍රික්කවලිනි. පසුගිය වසර තුළ මෙරටින් අලුතින් හඳුනාගත් එච්.අයි.වී. ආසාදිතයින් සංඛ්‍යාව 860 ක් වන අතර, ඒ අනුව මෙරට වාර්තා වී ඇති සමස්ත එච්.අයි.වී. ආසාදිතයින් සංඛ්‍යාව 7,403 ක් දක්වා ඉහළ ගොස් තිබේ. පසුගිය වසරේ සිව්වැනි කාර්තුව අවසන් වන විට පුද්ගලයින් 1,217,419 දෙනෙකු එච්.අයි.වී. පරීක්ෂණ සඳහා යොමු කර ඇති අතර, ඉන් රෝගීන් හඳුනාගැනීමේ ප්‍රතිශතය සියයට 0.07 ක් ලෙස සටහන් වේ.

මෙරට නව ආසාදිතයන් වාර්තා වීමේ සංඛ්‍යාත්මක දත්ත පරීක්ෂා කිරීමේදී, පසුගිය වසරේ සිව්වැනි කාර්තුවේදී හඳුනාගත් අලුත් ආසාදිතයන් අතර පිරිමි සහ කාන්තා අනුපාතය 7 ට 1 ක් ලෙස සටහන් වී ඇත. වයස අවුරුදු 15 ත් 24 ත් අතර තරුණ ප්‍රජාව අතරින්ද නව එච්.අයි.වී. ආසාදිතයන් වාර්තා වී ඇති අතර, මෙරට වැඩිහිටි ජනගහනය අතර එච්.අයි.වී. ව්‍යාප්තිය සියයට 0.1 ක් ලෙස වාර්තා වේ.

එක්සත් ජාතීන්ගේ ඒඩ්ස් වැඩසටහනට අනුව 2022 සිට 2025 දක්වා කාලය තුළ ලොව පුරා එච්.අයි.වී. ආසාදන සියයට 20 කින් ඉහළ ගොස් ඇති අතර, ශ්‍රී ලංකාවට අමතරව ඇෆ්ගනිස්ථානය, නේපාලය, කෙන්යාව, සුඩානය, බ්‍රසීලය, පාකිස්ථානය, යේමනය, ඊජිප්තුව, සෙනගාලය සහ ෆිලිපීනය ඇතුළු රටවල් 21 ක මෙම ආසාදිතයන් ඉහළ යාමේ ප්‍රවණතාව දක්නට ලැබේ. මේ අතර වේගයෙන් ව්‍යාප්ත වන එච්.අයි.වී. වසංගත තත්ත්වයක් හමුවේ ෆීජි රාජ්‍යය පසුගිය සතියේදී ජාතික හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළේය.

කෙසේවෙතත්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්තවලට අනුව 2025 වසරේදී ගෝලීය වශයෙන් එච්.අයි.වී. ආශ්‍රිත හේතූන් මත මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 570,000 ක් පමණ වන අතර, එය 2004 වසරේ පැවති උපරිම මරණ සංඛ්‍යාවට සාපේක්ෂව සියයට 73 ක පැහැදිලි අඩුවීමකි.


සටහන : අංජු බණ්ඩාර

ලොව HIV වැඩිම රටවල් අතරට ශ්‍රී ලංකාවත් Read Previous

ලොව HIV වැඩිම රටවල් අතරට ශ්‍රී ලංකාවත්

යුද්ධය අවසන් කරන්න මෝදි ළග අපූරු අදහස් Read Next

යුද්ධය අවසන් කරන්න මෝදි ළග අපූරු අදහස්

Realted Post

Leave a comment