වඩුන්නාගල පුදබිම රැකගන්න – සංඝනායක නාහිමියන්ගෙන් ඉල්ලීමක්

උතුරු පළාතේ ඓතිහාසික බෞද්ධ උරුමය පිළිබඳ කතාබහේදී වඩුන්නාගල (වෙඩුක්කුනාරි මලෙයි) පුදබිම මේ වනවිට විශේෂ අවධානයකට ලක්ව ඇති ස්ථානයකි. වව්නියා දිස්ත්‍රික්කයේ නෙදුන්කේනි, ඕලුමඩු ප්‍රදේශයේ පිහිටි මෙම පුරාවිද්‍යාත්මක ස්ථානයට ක්‍රිස්තු පූර්ව යුගය දක්වා දිවෙන ඉතිහාසයක් ඇති බව පුරාවිද්‍යාත්මක සාධක මත පෙන්වා දී තිබේ.

මෙම ස්ථානයේ පුරාවිද්‍යාත්මක වටිනාකම, එහි පවතින නටබුන් සහ වර්තමානයේ මතුව ඇති ගැටලු සම්බන්ධයෙන් උතුරු පළාතේ ප්‍රධාන සංඝනායක, කුරුන්දි රජමහා විහාරාධිපති පූජ්‍ය ගල්ගමුවේ සන්තබෝධි නාහිමියන් සමඟ කළ සාකච්ඡාවක් ඇසුරින් මෙම ලිපිය සකස් කෙරේ.

 ඓතිහාසික සහ පුරාවිද්‍යාත්මක සාධක

වඩුන්නාගල ප්‍රදේශය අතීතයේ “වඩමන් උසුරු රට” හෝ “වර්ධමාන විහාරය” ලෙස හැඳින්වූ බවට සඳහන් මූලාශ්‍ර පවතින බව නාහිමියෝ පවසති.

ලන්දේසි සහ මහනුවර යුගයේ සඳහන්වීම්

18 වැනි සියවසට අදාළ ලේඛනවල වඩුන්නාගල ප්‍රදේශය පිළිබඳ සඳහන්වීම් හමුවන බවත්, “සිරි ලක් කඩයිම් පොත” ලෙස හැඳින්වෙන මූලාශ්‍රයක ද රටවල් 41 අතර “වඩුනාගල් රට” සඳහන් වන බවත් නාහිමියෝ පෙන්වා දෙති.

පුරාවිද්‍යාත්මක ගවේෂණ

1905 වසරේ පුරාවිද්‍යා කොමසාරිස් එච්. සී. පී. බෙල් මහතාගේ වාර්තාවේ මෙම ප්‍රදේශයේ පුරාවිද්‍යාත්මක නටබුන් සහ සෙල්ලිපි පිළිබඳ තොරතුරු සඳහන් වන බව වාර්තා වේ. මහාචාර්ය සෙනරත් පරණවිතාන සහ සී. ඩබ්ලිව්. නිකොලස් යන විද්වතුන් ද මෙහි ඇති බ්‍රාහ්මී සෙල්ලිපි පිළිබඳව සටහන් කර ඇති බව සඳහන් වේ.

ස්ථානයේ පූර්ව බ්‍රාහ්මී අක්ෂර සහිත කටාරම් කෙටූ ලෙන් අටක්, පර්වත මුදුනේ ස්ථූප දෙකක නටබුන්, සිරිපතුල් ගල්, බුදු පිළිම කොටස්, පියගැට පෙළ සහ ආරාමික නටබුන් ඇතුළු පුරාවිද්‍යාත්මක සාධක පවතින බව ද සඳහන් වේ.

1973 වසරේ සිතියම්ගත කිරීමකදී ද මෙම ස්ථානය “Monastery in Ruins” ලෙස සටහන් කර තිබූ බව නාහිමියෝ පෙන්වා දෙති.

මෑත කාලීනව මතුව ඇති ගැටලු

නාහිමියන් පවසන පරිදි, 2010–2013 කාලසීමාවේ සිදුකළ ඇතැම් පුරාවිද්‍යාත්මක හා පාරිසරික ගවේෂණවලදී ප්‍රදේශයේ පවතින නටබුන් පිළිබඳ තොරතුරු සටහන් කර තිබූ අතර, එම අවස්ථාවේ නව ඉදිකිරීම් සම්බන්ධයෙන් සඳහන්වීම් නොතිබූ බව කියැවේ.

2018–2019 කාලය තුළ පුරාවිද්‍යා බලධාරීන්ගේ අවසරයකින් තොරව ඇතැම් ආගමික සංකේත ස්ථාපනය කර ඇත.

2020 වසරේදී තාවකාලික මඩුවක් ඉදිකිරීම සහ පර්වත ප්‍රදේශයේ ගිනි දැල්වීම හේතුවෙන් පුරාවිද්‍යාත්මක ස්ථානයට හානි සිදුව තිබේ.

2023 වසරේදී ස්ථූප පාදම ආශ්‍රිත ප්‍රදේශයේ කැණීම් සිදුකර පැරණි ගඩොල් ඉවත් කිරීම සහ එම ස්ථානයේ නව ආගමික සංකේත ස්ථාපනය කිරීමට උත්සාහ කළ බවට ද චෝදනා එල්ල වී ඇත.

2024 වසරේ මහා ශිවරාත්‍රී උත්සව සමයේදී පුරාවිද්‍යාත්මක නටබුන් ආසන්නයේ ගිනි දැල්වීම ඇතුළු ක්‍රියා හේතුවෙන් ස්ථානයට හානි සිදුවූ බවට ද නාහිමියෝ පවසති.

ශ්‍රේෂ්ඨාධිකරණ පෙත්සම සහ නාමපුවරු පිළිබඳ ගැටලුව

2023 වසරේදී පූජ්‍ය ගලිගමුවේ ශාන්තබෝධි නාහිමියන් ඇතුළු පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළ බව නාහිමියෝ සඳහන් කරති.

ඔවුන්ගේ පැහැදිලි කිරීම අනුව, ඕනෑම ආගමික පිරිසකට වන්දනාමාන කිරීමේ අයිතියට බාධා නොකරමින්, පුරාවිද්‍යාත්මක ස්ථානයට හානි නොකිරීම සහ එහි පුරාවස්තු ආරක්ෂා කිරීම පිළිබඳ අවධානය යොමු විය යුතු බව මෙම නීතිමය ක්‍රියාවලියේදී අවධාරණය වී ඇත.

එමෙන්ම, නෙදුන්කේනි සහ ඕලුමඩු ප්‍රදේශවල සිට වඩුනාගල වෙත යන මාර්ගවල ස්ථානය හඳුන්වා දීම සඳහා සවි කර ඇති ඇතැම් නාමපුවරු සම්බන්ධයෙන් ද විරෝධතා ඉදිරිපත් කර ඇති බව නාහිමියෝ පවසති. එම නාමපුවරු මගින් ස්ථානය හඳුන්වා දෙන ආකාරය පිළිබඳව නිවැරදි කිරීමක් අවශ්‍ය බව ඔවුන්ගේ අදහසයි.

පුරාවස්තු ආරක්ෂා කිරීම සඳහා ස්ථිර මුරකාවල් හෝ ආරක්ෂක වැඩපිළිවෙළක් ඇති කිරීමේ අවශ්‍යතාව ද අවස්ථා කිහිපයකදී පෙන්වා දී ඇති බව නාහිමියෝ සඳහන් කරති.

ඓතිහාසික උරුමය ආරක්ෂා කිරීමේ අවශ්‍යතාව

වඩුන්නාගල ඇතුළු උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල පවතින පුරාවිද්‍යාත්මක ස්ථාන ආරක්ෂා කිරීමේදී ඒවායේ ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක වටිනාකම මත පදනම්ව කටයුතු කිරීම වැදගත් බව පූජ්‍ය ගලිගමුවේ ශාන්තබෝධි නාහිමියෝ පවසති.

විවිධ ආගමික හා ජනවාර්ගික පසුබිම්වල ජනතාව ජීවත් වන ප්‍රදේශවල ඓතිහාසික ස්ථාන සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී නීතියට ගරු කිරීම, පුරාවිද්‍යාත්මක සාධක ආරක්ෂා කිරීම සහ සියලු පාර්ශ්ව අතර සාමකාමී සංවාදයක් පවත්වාගෙන යාම වැදගත් බව ද උන්වහන්සේ පෙන්වා දෙති.

ඒ අනුව, කිසිදු දේශපාලන හෝ ජාති භේදයකින් තොරව ඓතිහාසික උරුමයන් ආරක්ෂා කිරීම සඳහා සහයෝගය ලබාදෙන ලෙසත්, සැප්තැම්බර් 26 වැනිදාට යෙදෙන බිනර පෝදා පින්කමට සහභාගි වන ලෙසත්, වඩුනාගල පුදබිම ඇතුළු පුරාවිද්‍යාත්මක ස්ථාන ආරක්ෂා කිරීම වෙනුවෙන් සාමකාමීව හඬ නැගීමට එක්වන ලෙසත් පූජ්‍ය ගලිගමුවේ ශාන්තබෝධි නාහිමියෝ ජනතාවගෙන් ඉල්ලා සිටිති.

අශන්ති වරුණසූරිය

Diabetasol සන්නාම තානාපති කලාශූරී චන්න විජේවර්ධන Read Previous

Diabetasol සන්නාම තානාපති කලාශූරී චන්න විජේවර්ධන

ඓතිහාසික රුවන්වැලි මහා සෑ පින් බිමෙන් රටටම විසිරෙන නොනිවෙන පුණ්‍ය මෙහෙය Read Next

ඓතිහාසික රුවන්වැලි මහා සෑ පින් බිමෙන් රටටම විසිරෙන නොනිවෙන පුණ්‍ය මෙහෙය

Realted Post

Leave a comment