ස්ත්‍රියක් වී ඉපදීම පින් කරගන්න බාධාවක් නොවෙයි...

භාරත සමාජය තුළ බ්‍රාහ්මණ මත අනුව ගැහැනු දරුවකුගේ උපත දැක්කේ පවුලකට මහා අවාසනාවන්ත දෙයක් හැටියට.    බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට පහළ වෙන්න කලින්  බ්‍රාහ්මණ කුලවත් වංශවත් පවුල්වල දියණියක් ඉපදුනොත් උපන් ගෙයිම මරා දානවා . මේ දේවල්  බ්‍රාහ්මණ සමාජයේ ලියවිලා තියෙනවා.  පූර්ව වෛදික යුගයේදි කාන්තාවට තිබූ ගරුත්වය, නිදහස බ්‍රාහ්මණ යුගය වෙන විට සම්පූර්ණයෙන්ම අහිමි කර තිබුණා. කාන්තාව සිය ජීවිත කාලය පුරාවටම පුරුෂයාට යටත්විය යුතු වුණා.   කුඩා කාලයේ සිය පියා යටතේ, විවාහ වූ පසු සිය සැමියා යටතේ, වයස්ගත වූ පසු පිරිමි දරුවෙකුගේ යටතේත් ජීවත් විය යුතු වුණා. යම් හෙයකින් විවාහක කාන්තාවක් ජීවත්ව සිටියදී සිය ස්වාමි පුරුෂයා මියගියහොත් ඇයටත් සැමියාගේ සිරුර ගිනිගෙන දැවෙන සෑයට පැන දිවිනසා ගන්නට සිදු වුණා.


 කාන්තාවට ඒ වගේ දුක්ඛදායක තත්ත්වයක්,  ඒ වගේ සමාජ පසුබිමක් තිබුණු කාලෙක තමයි අප මහා කාරුණික බෝසතාණන් වහන්සේ මේ ලෝකයට පහළ වෙන්නේ. භාග්‍යවතුන් වහන්සේ අප වැනි කාන්තාවන්ට අනුකම්පා කළා.  උන්වහන්සේ පහළ වීමත් එක්ක තමයි  දියණියකට, කාන්තාවකට ඇයට හිමි ප්‍රාණය ලැබුණේ.


කොසොල් රජුට ලැබුණු සුබ පණිවිඩය


මේ ගැන හොඳට පැහැදිලි වන කාරණාවක් තිබුණා දවසක් බෝසතාණන් වහන්සේ මුණගැසෙන්න එනවා කොසොල් රජතුමා  බෝසතාණන් වහන්සේ සමග කොසොල් රජතුමා කතා කර කර ඉන්න වෙලාවේ ඇමතිවරයෙක් ඇවිල්ලා කොසොල් රජතුමාගේ කනට කරලා පණිවිඩයක් කියනවා. ඒ කියපු  පණිවිඩයත් එක්ක කොසොල් රජතුමා හරිම කලබල වෙනවා. ඒ වගේම මුහුණෙන් බොහෝ ශෝකාකූල ස්වරූපයක් පෙනෙන්න ගන්නවා. භාග්‍යගවතුන් වහන්සේ කෙසොල් රජුගෙන්  අහනවා


‘‘රජතුමනි...මොකද රාජ්‍යයට හොර හතුරු බියක් පැමිණිලද?
ඒ රජතුමා කියනවා
‘‘අනේ නෑ භග්‍යවතුන් වහන්ස මගේ අගබිසව මල්ලිකා දේවිය  දරුවෙක් ප්‍රසූත කරලා ඇය බිහි කරලා තියෙන්නේ දියණියක්. "
‘‘ඉතින් ඇයි රජතුමා එවන් සුබ පණිවිඩයක් ඉදිරියේ ශෝකාකූල වන්නේ’’ භාග්‍යවතුන් වහන්සේ පවසා සිටියා.
   " මම බලාපොරොත්තු වුණේ පුත්‍ර රත්නයක්. ඒත් ඇය ප්‍රසූත කළේ   දියණියක්. ඒ ගැන මට දුකක් ඇතිවුණා  භාග්‍යවතුන් වහන්ස’’
කියලා කොසොල් රජතුමා පැවසුවා . ඒ වෙලාවේ මුළු මහත් සමාජයටම   ඉතාම වටිනා පණිවිඩයක් අපේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා.


" රජතුමනි දරුවා දියණියක් වුණත් ඇය ප්‍රඥාවන්තයි නම් තැනට සුදුසු නුවණින් යුක්තයි නම් , පිරිමි දරුවෙකුට වඩා දෙයක්  දියණියකට කරන්න පුළුවන් කියන දේ රජතුමාට අපේ භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරමින් දේශනා කළා. ඇත්තටම දියණියක් පවුලකට ලැබෙනවාය කියන්නේ ඒ පවුලට වාසනාවක්. දියණියකගේ උපත පවුලකට ලොකු සුන්දරත්වයක් ගෙන දෙනවා,  හොඳට බලන්න දියණියක් ඉන්න  පවුලේ සුන්දරත්වය රඳා පවතින්නේ ඒ දියණිය මත. දෙවැනි අම්මා ඇයයි. 

දුවෙක් කියන්නේ ගෙදරක දෙවෙනි අම්මාය කියල හඳුන්වන්නේ ඇයි? අපි දන්නවා අපේ අම්මාට අසනීප වුණොත් ඒ ගෙදර බර ගන්න ගෑනු දරුවෙක් ඉන්නවා කියන්නේ ඒක ලොකු සම්පතක්. ගෙදර කෑම බීම සකස් කරන තැන ඉඳලා ගෙදර අතුපතු ගානවා , ලස්සනට තියාගන්නවා  මේ හැමදේම කරන්නේ දියණියකගේ අතින්. එතකොට ගැහැනු උපතක් ගෙදරක සිද්ධ වෙනවා කියන්නේ  ඒක ඉතාමත්ම වාසනාවන්ත උප්පත්තියක් . ගෙදර පුතෙකුගෙන් ඉටුවන කාර්යයන්ට වඩා ගෙදර ඇතුළෙ වගකීම් දරන්න පුළුවන් එකම ශක්තිවන්ත කෙනා තමයි තමන්ගේ දියණිය.  දියණියකගේ උපත කියන්නේ පවුලකට ශ්‍රියා කාන්තාවගේ පැමිණීම හා සමානයි.


ඇයගේ වෙනස හඳුනාගන්න


දියණියකගේ ආකල්ප සිතුම් පැතුම් ක්‍රියාකාරීත්වය මේ හැමදේම වෙනස් පුතෙකුට වඩා. ඇය බොහෝ විට ගොඩාක් ආදරය , ආරක්ෂාව , සෙනෙහස , කරුණාව බලාපොරොත්තු වෙනවා. දියණියගේ සිතුවිලි හරි ඉක්මනට වෙනස් වෙනවා. හරි චංචල ස්වභාවයක් තියෙනවා පිරිමි දරුවෙකුට වඩා ඇය ක්ෂණික තීරණ වලට යන්න පුළුවන් . ඒ නිසා දුවක් ඉන්න අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් ගොඩක් කල්පනාකාරී වෙන්න ඕනෑ.
ඇය රකින්න පිරිමියාට පුළුවන් පිරිමි නිසා ජීවිතයේ එපාවුණු කාන්තාවෝ කෙතරම්  ඉන්නවද? සමහර කාන්තාවන්ගේ ලස්සන එළියට පේනවට සමහර පුරුෂයෝ කැමති නැහැ. මත්පැන්, මත්ද්‍රව්‍ය භාවිත කර බිරිඳට අනේක විධ හිංසා කරනවා. 

කොළයක අත්සන  ගහලා ගෙදර ගෙනාවට පස්සේ බිරිඳගේ හැඟීම් ආසාවල් තුට්ටුවට මායිම් කරන්නෙ නැති සමහර  පිරිමි ඉන්නවා. අපේ සමාජයේ  දුක හංගෙන හිනාවෙන ගැහැනු වැඩියි. ඒ නිසා අම්මේ, ඔබ කවදාහරි පුතෙක් හදනවා නම්, නැත්නම් ඔබට පුතෙක් ඉන්නවා නම් කවදාවත් ගැහැනියකට අතක් උස්සන්න පුතෙක් හදන්න එපා.  හැම පුතෙකුටම ගැහැනියකගේ  තිබෙන වටිනාකම කියලා දෙන්න . එහෙම පුතෙක් ඔබට හදන්න පුළුවන් නම් නැන්දම්මා ලේලි ගැටුම් කවදාවත් ඇති වෙන්නෙ නැහැ.  අම්මාව ආදරෙන් බලාගන්න, බිරිඳ ආදරෙන් බලාගන්න තමන්ගේ පුතාට කියලා දෙන්න.


පෙර පිං නැතිවද?


ස්ත්‍රියක් වී ඉපදීමෙන් උරුමවන දුක් පහක් ස්ත්‍රියට තියෙනවා . මේ දුක් විඳින නිසාම බොහෝදෙනා හිතනවා ස්ත්‍රියක් වී උපදින්නේ පෙර කරපු අකුසල් නිසා කියලා. මේ ප්‍රශ්නය  අපේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ මෙහෙම,


‘‘මහණෙනි මනුස්ස ජීවිතයක් ලැබෙන්නේ ඉතා කලාතුරකින් . එතකොට මනුස්ස ලෝකයේ ස්ත්‍රියක් විදිහට හෝ පුරුෂයකු විදිහට ඉපදෙන්නේ ඉතාම කලාතුරකින්. ඒක හරියට කණ කැස්බෑවා විය සිදුරෙන් අහස බලන්නටත් වඩා දුර්ලභයි. ඒ නිසා මනුස්ස ජීවිතේ කියන්නේ සුගතියක්. ඒ මනුස්ස ජීවිතේ ස්ත්‍රියක් විදියට හෝ පුරුෂයෙක් විදිහට කෙනෙක් එන්නේ පිනට. අපි මනුස්ස ජීවිතයට ඇවිල්ල මේ මොහොතේ යමක් ගෙවමින් ඉන්නවා.’’


බුදුරජාණන් වහන්සේ වදාළා ස්ත්‍රියක් විදිහට මනුෂ්‍ය ලෝකයට එනකොට පුරුෂයකුට නැති විශේෂ දුක් පහක් ස්ත්‍රියකට තියෙනවා කියලා. ඒ ගැන වදාළේ ආවේණික දුක්ඛ සූත්‍රයේ.


පුරුෂයින්ට නැති ස්ත්‍රියකට තිබෙන පළවෙනි දුක තමයි. ඇය තරුණ වයසට එනකොට ආදරණීය මව පියා සහෝදර සහෝදරයන් අත්හැරලා වෙනම කුලයකට වෙනම පවුලකට පතිකුලයට යන්න සිදුවීම.  ඒ වගේම පුරුෂයෙකුට නැති ස්ත්‍රියකට තිබෙන දෙවන දුක තමයි මාසයකට වතාවක් ශාරීරික වශයෙන් යම් දුකක් විඳින්නට සිදුවීම. ඊළඟ දුක තමයි ස්ත්‍රිය දරු පැටියෙක් කුසේ දරාගෙන සති 36ක් කප්පරක් අසහසුතා දරාගෙන සිටිම. ඊළඟ දුක ප්‍රසූත වේදනාව. අනෙක් දුක ස්ත්‍රියක් පුරුෂයා යටතේ හිඳිය යුතුවීමයි.


මේවා  තමයි ස්ත්‍රියට ආවේණික දුක් . මේවාට අමතරව මනුෂ්‍ය ජීවිතයක් ලැබූ සියලු දෙනාටම තියෙන දුක ස්ත්‍රියටත් තියෙනවා පුරුෂයාටත් තියෙනවා . ඒ දුක් අතරේ තමයි අපට අපේ ජීවිතය ගත කරන්න වෙලා තියෙන්නෙ . ඒ නිසා අප තේරුම් ගත යුතු කාරණය තමයි මනුස්ස ජීවිතයක් ලැබුවේ පිනටයි කියන එක. ස්ත්‍රියක්වී ඉපදීම පින් කරගන්න බාධාවක් නොවෙයි.

 

අදහස් දැක්වීම - කැස්බෑවේ සුදර්ශනා මෙහෙණින් වහන්සේ

 


 නදීශා අතුකෝරළ

මාතෘත්වයේ සුන්දරත්වය Read Previous

මාතෘත්වයේ සුන්දරත්වය

තුන්කොන් කාන්තා එක්දින  ක්‍රිකට් තරගාවලියේ ජය ඉන්දියාවට... Read Next

තුන්කොන් කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ ජය ඉන්දියාවට...

Realted Post

Leave a comment