හාස්කම් ඇති පුරාවස්තු හමුවූ පුරාණ පුදබිම

මෙය ඔබ දන්නා තැනක නොදන්නා කතාවක්. අනුරාධපුර යුගයට අයත් පුරාවස්තු රැසක් අදටත් එලෙසින් දැක ගැනීමට හැකි ගම්පහ දිස්ත්‍රිකයේ පිහිටි පුරාණ විහාරයක්. පොහෝ දවසක් නොවන දිනයන්හිදී පවා සෙනගින් පිරි ඉතිරී යන පුරාණ පුදබිමක්. මෙහි පැරණිතම සිදුවීම වන්නේ ගෞතම බුදුන්වහන්සේ වැඩම කිරීම පිළිබඳව පුවත. 

මේ කැලණිය රජමහා විහාරයයි. මණිඅක්ඛිත නා රජුන් කරන ඉල්ලීමකට අනුව බුද්ධත්වයට පත්වීමෙන්  වසර 8කට පසු කැළණියට වැඩම කරන  බුදුන්වහන්සේට ධර්මය දේශනා කිරිම සඳහා මණිඅක්ඛිත රජතුමා විසින් සදා තිබූ මැණික් පුටුව නිධන් කොට සැදූ කැළණි ස්ථූපය ගැන මෙරට ශාසන ඉතිහාසයේ බොහෝ තොරතුරු සඳහන් වනවා. 

ඒ ඉතිහාසයෙන් බිදක් 

ලංකාවේ මුල් යුගයේ දී ඉදිවුණු  ස්ථූප අතුරින් එකක් වන කැළණි ස්ථූපය, මණිඅක්ඛිත නා රජතුමාගේ නිර්මාණයක් වූ ධාන්‍යාකාර හැඩයෙන් යුත් මෙම ස්ථූපය පසුව යඨාලතිස්ස රජතුමා විසින් විශාල කර සාදා ඇති අතර ඒ අනුව වර්තමානය වන විට අඩි 90ක් පමණ උසකින් යුක්ත වන කැළණි ස්ථූපයේ වට ප්‍රමාණය අඩි 180ක් පමණ වනවා. 13 වන සියවසේ දී කාලිංග මාඝ විසින් සිදුකළ ආක්‍රමණය නිසා විනාශ විනාශ වුණු මෙම ඓතිහාසික ස්ථූපය යළි ප්‍රතිසංස්කරණ කරනු ලැබුවේ තෙවන විජයබාහු රජතුමා බව පැරණි ඉතිහාස කතාවල සඳහන් වනවා. 

කැළණියේ රජකම් කළ යඨාලතිස්ස රජතුමා කැළණි ස්ථූපය විශාල කර මහල් පහකින් යුත් ප්‍රාසාදයක් ලෙස ඉදිකරනු ලැබූ බව ඉතිහාසයේ පැවසෙනවා. දුටුගැමුණු රාජ්‍ය සමයේ දී කැළණි විහාරය තුළ රහතන් වහන්සේලා 500ක් පමණ වැඩවිසූ බවටත්  
ක්‍රි.ව 227 දී පමණ අනුරාධපුරයේ රජකම් කළ කණිෂ්ඨ තිස්ස නම් රජතුමා මෙහි උපෝසථාගාරයක් ඉදිකරනු ලැබූ බවත් සදහන්. 

අනුරාධපුර යුගය අවසන් වීමත් සමග ආරම්භ වුණු පුලතිසි රාජධානියේ රජකම් කළ මහා පරාක්‍රමබාහු සහ කීර්ති ශ්‍රී නිශ්ශංකමල්ල කැළණි විහාරයේ උන්නතිය වෙනුවෙන් විශාල සේවයක් ඉටු කළ රජවරුන් ලෙසින් නම් වෙනවා. නමුත් පොළොන්නරුව රාජධානිය විනාශ කරමින් කාලිංග මාඝ එල්ල කළ ආක්‍රමණයත් සමගම කැළණි විහාරය පරිහානියට පත් වෙලා තියෙනවා. විනාශ වී ගිය කැළණි විහාරය යළි ගොඩනගනු ලැබුණේ තෙවන විජයබාහු රාජ්‍ය සමයේ දී යි. ඉන් අනතුරුව දෙවන පරාක්‍රමබාහු, හයවන පරාක්‍රමබාහු යන රජවරුන් කැළණි විහාරය දියුණු කිරීම සඳහා ඇප කැප වෙලා.

1575 වසරේ දී පෘතුගීසීන් කැළණි විහාරය කොල්ල කන අතර කැළණි විහාරය තුළ ආගමික වතාවත් කිරීම පවා ඔවුන් තහනම් කර තිබෙනවා. එහිදී පෘතුගීසීන් ලබාදුන් අණෙන් බියට පත්වන ජනතාව කැළණි විහාරය වන්දනාමාන කිරීමෙන් වැළකෙනවා. ඒ නිසා කාලයත් සමග වල් බිහි වී අභාවයට යන කැළණිය යළි ගොඩනගන්නේ මහනුවර රජකම් කළ කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා. මෙරට බුද්ධ ශාසනයට ඉමහත් සේවයක් කළ වැලිවිට ශ්‍රී සරණංකර හිමියන් කැළණි විහාරය යළි ගොඩනැගීමේ සටන ආරම්භ කරමින් වල් බිහි වී නටබුන්ව පැවති විහාරය යළි ප්‍රතිසංස්කරණය කරනවා.

ගෞතම බුදුන්වහන්සේගේ පාද ස්පර්ශය ලැබුණු පින් බිමක් වූ කැළණියට ඇත්තේ මෙවන් වසර දහස් ගණනක් පැරණි ඉතිහාසයක්.  අද දවස වන විට දස දහසක් දෙස් විදෙස් ජනතාවගේ වන්දනාවනට පත්‍ර වන කැලණියේ එදා දවස නටඹුන් දැක ගැනීමට හැකි වනවා. ඒ අතර ගල් කුළුණු, පැන් පහසුකම් සැලසූ ගලින් නිමවූ කටාරම්, සෙල්ලිපි දැක ගැනීමට හැකියි. එවැනිම ඉපැරණි දෙන ගණදෙවි පිළිමයේ හාස්කමින් ගුණ දෙන බව ගම්වාසීන් පවසනවා.  

නොහදුණා ගත් තොරතුරු, ගවේෂණයක කළොත් සොයා ගත හැකි බොහෝ දේ කැලණියේ තවත් සැගවී තියෙනවා. ඉතිං අදටත් දැකිය හැකි කැලණියට ඔබ ගියොත් නොදන්නා කරුණු තව රාශියක් තියෙන්න පුලුවන්. කාලෙට කාලෙට සිදුවන සංසිද්ධීන් හමුවේ විවධ මත, විවේචන මතු වුවත් කැලණියේ පුරාවිද්‍යා වටිනාකම, ඒ බොදු ඉතිහාසය වසා දැමිය නොහැක. ඒ නිසා බුදු පහස ලද පුද බිමක් වන්දනා කරන්න ගොස් අරකයි මේකයි, මේ නයා අර නයා, නොසොයා, දේශ මෝහ දුරු කරගන්නට පහන් වූ සිතින්, වන්දනා කරගෙන සිත පහදා ගැනීම මැනවි. 

ජයාරූප සහ සටහන - අශන්ති වරුණසූරිය

මාතෘභූමියේ නිදහස වෙනුවෙන් දිවිදුන් රවිරුවන්ට පුෂ්පෝපහාර Read Previous

මාතෘභූමියේ නිදහස වෙනුවෙන් දිවිදුන් රවිරුවන්ට පුෂ්පෝපහාර

පොත් ලියන සිරි ලියන් සිරිකතට Read Next

පොත් ලියන සිරි ලියන් සිරිකතට

Realted Post

Leave a comment