සුමේධ තාපස විවරණ ගත් වෙසක් පොහොය

වෙසක් පොහෝ දිනය බෞද්ධ ජනතාව ඉතාමත් උනන්දුවෙන් හා උත්කර්ෂවත් අයුරින් සමරයි. ඒ සිදුහත් කුමරුගේ ඉපදීම, බුදුවීම සහ බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් පෑම යන තෙමඟුල සිහිපත් කරමිනි. 

එදා ලුම්බිණි සල් උයනේ දී මහාමායා දේවියගේ කුසින් මෙලොව උපත ලද ඒ කුමරු සිද්ධාර්ථ හෙවත් සිදුහත් නම් විය. අවුරුදු 29 දී ගිහිගෙය හැර යන සිදුහත් කුමරු මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කරමින් බුද්ධත්වයට පත් විය. ඒ ඇසතු බෝ රුක මුල වසර 6ක දුෂ්කර ක්‍රියාවෙන් පසුවයි. එසේ බුද්ධත්වයට පත් බුදුරජාණන් වහන්සේ වසර 45ක් ලෝ සත්ත්වයාගේ සිත සුව පිණිස කටයුතු කළ සේක. අනතුරුව 80 හැවිරිදි වියේ දී කුසිනාරා නුවර මල්ල රජ දරුවන්ගේ සල් උයනේ දී පිරිනිවන් පෑ සේක. 

නමුත් වෙසක් පොහෝ දින මුල් කරගනිමින් තවත් විශේෂ සිදුවීම් බොහෝමයක් සිදුවිය. සුමේධ තාපසයා දීපංකර බුදුන්ගෙන් නියත විවරණ ලැබුවේ ද වෙසක් පොහෝ දිනයේ දී ය. එදා දීපංකර බුදුන්ගෙන් එසේ නියත විවරණ ගත්තේ අප ගෞතම බුදුරජාණන් වහන්සේයි. 

සිද්ධාර්ථ කුමාරයා දුටු සතරපෙරනිමිතිවලින් ව්‍යාධි රුව දුටුවේ ද වෙසක් පොහෝ දිනයක දී ය. එසේ ම බුදුන් වහන්සේ බුද්ධත්වයෙන් දස මසක් ගත වූ කළ කිඹුල්වත්පුරයට වැඩම කළ සේක. එම ගමනේ දී තම ඥාතීන් තුළ පැවති මාන්නය දුරු කරලීම උදෙසා යමා මහ පෙළහර පානු ලැබුවේ ද මෙවන් උතුම් පොහෝ දිනකයි. 

බුදුන් වහන්සේගේ අග්‍ර උපස්ථායක ලෙස කටයුතු කළේ ආනන්ද හිමියන් ය. වසර 120ක ආයු වළදා ආනන්ද මහරහතන් වහන්සේ පිරිනිවනට පත් වූයේ ද වෙසක් පොහෝ දිනයේ දී යි. 

එසේ ම බුදුන් වහන්සේගේ තෙවන ලංකාගමනය ලෙස කැළණියට වැඩම කිරීම, විජය කුමරුගේ ලංකාගමන සිදුවීම, දේවානම්පියතිස්ස රජුගේ දෙවැනි රාජාභිෂේකය පැවැත්වීම, දඹදිව ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ උපත සහ යශෝදරා දේවියගේ උත්පත්තිය සිදුවීම, ශ්‍රී පාද වන්දනා ගමනේ අවසානය වැනි වැදගත් සිදුවීම් රැසක් ම වෙසක් පොහෝ දිනය මුල් කරගනිමින් සිදු විය.

එසේ ම වෙසක් පොහොය මුල් කරගනිමින් සිදු වූ තවත් විශේෂ සිදුවීම් නම්, රුවන්වැලි මහාසෑයේ වැඩ ආරම්භ කිරීම සහ මහා විහාරයේ උපසම්පදා උත්සවය මුල් වරට ආරම්භ වීමයි. ඊට අමතරව අතීතයේ දී සිංහල බෞද්ධ රජදරුවන් අභිෂේක කර තිබෙන්නේ ද වෙසක් පොහොය දිනයේ දී යි. 

සම්බුදු තෙමඟුලට අමතරව මෙවන් අසිරිමත් සිදුවීම් රැසක් ම ඒ උතුම් වෙසක් පොහෝ දිනය මූලික කරගනිමින් සිදු වී ඇත.


සහශ්‍රිකා දයානන්ද

සැම කළට උවැසි විශාකාවගේ කළමනාකරණය Read Previous

සැම කළට උවැසි විශාකාවගේ කළමනාකරණය

Geek Avurudu 2026 උත්කර්ෂවත් අන්දමින් නිමාවෙයි Read Next

Geek Avurudu 2026 උත්කර්ෂවත් අන්දමින් නිමාවෙයි

Realted Post

Leave a comment