‘‘කාන්තා ආත්මයක් ලැබීම දෙවියන්ගෙන් ලැබුණු දායාදයක්’’ - SACHIN CHATHURANGA

මේ දිනවල  රොකී  ටෙලි නාට්‍යයෙන් ඔබේ ආලින්දයට එන ඔහු සචින් චතුරංග. ඔහු  ගායකයෙක් මෙන්ම  නිවේදකයෙක් ද වෙනවා. සංගීත කණ්ඩායමක් සමග එකතු වී  කලා කටයුතුවලට  සහභාගීවෙන ඔහු පාර දිගේ  ටෙලි නාට්‍යයේ  අභිගේ  චරිතයෙන්  ප්‍රේක්ෂකයන්ගේ ආදරේ දිනාගත්තා. මේ කඩවසම් තරුණයා සමගයි මේ සුහද කතාබහ.

  • මේ දවස්වල මොකද වෙන්නේ

රොකී  ටෙලි නාට්‍යයට සම්බන්ධ වී සිටිනවා.  ඒ වගේම තවත් ටෙලි නාට්‍යයක රූගත කිරීම අවසන් වුණා. තවද  අපේ සංගීත කණ්ඩායමේ වැඩ කටයුතු සහ තවත් අලුත් ගීතයක  වැඩ කරමින් සිටිනවා.

  • කලා ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණේ කොහොමද?

මම වේදිකාවෙන් කලා ක්ෂේත්‍රයට ආවෙ. මගේ ගුරුවරයා තිස්ස ගුණවර්ධන මහතා. මගේ අයියා කලාවට සම්බන්ධ පුද්ගලයෙක්. ඔහුගේ රංගනයට සම්මාන ලැබී තිබෙනවා. ඔහු දසුන් . පාසල් කාලයේ සිටම රංගන ශිල්පියෙක් වීමට  ආසාවක් තිබුණා. මට  කුඩා කාලයේදීම  කලාවට සම්බන්ධ වීමට  අවස්ථාවක්  ලැබෙනවා. 

  • දැන් වේදිකාව අත්හැරලද?

දැනටත්  වේදිකාවට මම කැමතියි. නමුත් දැන් තිබෙන කාර්යබහුලත්වයත්  සමග  ඒ සඳහා  කාලයක් නැතිවී තිබෙනවා. රංගන ශිල්පියකුට  අත්‍යවශ්‍යම මාධ්‍යයක්  වේදිකාව. ඉදිරියේදී  වේදිකා නාට්‍යයකට  සම්බන්ධ වෙන්න  බලාපොරොත්තුවක් තිබෙනවා.

  • ඔබ ප්‍රේක්ෂකයාට වඩාත් ළං වුණේ  කුමන චරිතයෙන්ද?

පාර දිගේ ටෙලි නාට්‍යයේ   අභියාගේ චරිතෙන්.  ප්‍රේක්ෂකයෝ  ගොඩාක් ඒ චරිතයට ආදරය කළා.  ඒ වගේම  රොකී ටෙලි නාට්‍යයේ  මම දායකත්වය ලබාදෙන චරිතයට  ප්‍රේක්ෂකයෝ බණිමින් ආදරය කරනවා. 

  • ඔබ  වෘත්තීමය  රංගන ශිල්පියෙක්ද?

ඔව්.

  • කලාවට හැර ඔබ තව මොනවටද දක්ෂ? 

වාහන  ව්‍යාපාරය සඳහා දක්ෂතාවක් තිබෙනවා. ඉදිරියේදී  මේ ව්‍යාපාරය  ආරම්භ කිරීමට  බලාපොරොත්තුවක් තිබෙනවා.

  • ඔබ රංගන ශිල්පියෙක් නොවී සිටියා නම්

එහෙනම් මේ වන විට  පයිලට් කෙනෙක් වෙලා.  ඒ දවස්වල  ගණිතය විෂයට  ගොඩක් දක්ෂයි. යම් කිසි කාලයකදී එක්තරා  සිදුවීමක් නිසා  මට ගණිතය විෂය එපා වුණා.  එම නිසා  ගණිතය විෂයට  නිසියාකාරව ලකුණු ලබාගන්න නොහැකි වුණා. ඒ හේතුවෙන් පයිලට් සිහිනය බොඳවුණා.

  • ඔබ විලාසිතා වලට කැමතියි  නේද?

ඔව්. අපේ ප්‍රතිරූපය තවත් අලංකාර කර පෙන්වන්න  විලාසිතා අවශ්‍ය වෙනවා. කාලෙන් කාලෙට  එන විලාසිතා කරන්න  මම ගොඩක් කැමතියි.  මගේ පුරුද්දක් තිබෙනවා  එක සැරයක්  අඳින ඇඳුමක් ආපහු අඳින්නෙ නැහැ. ඒ වගේම  බොලිවුඩ්  රංගන ශිල්පීන්ව අනුගමනය කරන්න කැමතියි.

  • සචින්ට  රසිකාවියන්ගෙන් ලැබෙන  ප්‍රතිචාර කොහොමද

ගොඩාක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. කලාකරුවෙක්  තමන්ගේ නිර්මාණයක් තුළින් තෘප්තියක්  ලබනවා නම්  ඒ ප්‍රේක්ෂකයන් නිසයි.  රංගන ශිල්පියෙක් විදිහට  රසිකාවියන්ගෙන්  ආදරය, ගෞරවය  ලැබෙනවා. මගේ රංගනය  හොඳයි  කියා සමහර අය  සමාජ මාධ්‍ය හරහා  මට පණිවිඩ  එවනවා.

  • ආදරවන්තයෙක්ද ?

ඔව්.

  • ඇයගෙන්  ඔබගේ කලා කටයුතුවලට ලැබෙන සහයෝගය කොහොමද

ගොඩාක් ලොකු සහයෝගයක් ලැබෙනවා. ඇය  මගේ වෘත්තිය ගැන අවබෝධයකින් සිටින්නේ.  ඉදිරියේදීත්  ඇයගෙන්  මේ ආකාරයටම  මට සහයෝගය ලැබෙයි කියා සිතෙනවා.

  • විවාහය ගැන ඔබගේ අදහස කුමක්ද

විවාහය කියන්නේ  ගැළපෙන්නෙ නැති දෙදෙනෙක් එකතු කිරීමයි.  විවාහය  සමබරව  තබාගෙන යන්න  අපට අවබෝධයක් තිබෙන්න ඕනේ.   එහෙම ගියොත්  සාර්ථක  පවුල් ජීවිතයක් ගතකරන්න  පුළුවන්.  හරි කෙනා ලැබුණොත් හොඳයි.  වැරදි කෙනා ලැබුණත් හොඳයි. අපි දැනගන්න ඕනේ  ජීවිතය  ගළපගෙන ගෙනියන්න. 

  • ඔබ කාන්තාව දකින්නේ කොහොමද

කාන්තාවක්  වීමට ලැබීම  පෙර ආත්මයේ කරපු පිනක්.  පිරිමි පාර්ශ්වයට වඩා  කාන්තා පාර්ශ්වයට  ආකර්ෂණය වැඩියි.  සාමාජයේ  නිවැරදිව  ජීවත්වුවහොත්  කාන්තාවකට  හැමදෙනාගෙන්ම  ගෞරවය  ලබාගන්න පුළුවන්.  කාන්තා ආත්මයක් යනු  දෙවියන්ගෙන් ලැබුණු  දායාදයක්. එය  නිසියාකාරව පරිස්සම් කරගෙන ජීවත් වෙන්න. 

  • සමාජයෙන් නිතර කාන්තාවන්ට සිදුවන කරදරවලට හේතුව ඔබ දනි විදිහට කුමක් ද?

සමාජය. සමාජයේ  පුද්ගලයන්ගේ   නිසියාකාර දැනුමක් නොමැතිවීම.  පාසල් කාලයේ පටන්  ගුරුවරුන්ගෙන් පවා  අපේ වර්ගයා බෝ කිරීමේ දැනුම  දරුවන්ට ලැබෙන්නේ නැහැ.  කිසිම දෙයක්  සඟවන්නේ නැතුව  දරුවන්ට  කියා දෙනවනම්  මේ ප්‍රශ්න ඇති වන්නේ නැහැ.

  • ඉදිරියේදී මොනවද කරන්න හිතාගෙන ඉන්නේ

2025  වර්ෂය  ජීවිතයේ තීරණාත්මක වසරක්. වෙනස්ම විදිහෙ වැඩ කොටසක්  කිරීමට බලාපොරොත්තුවෙන් සිටිනවා. ලබන වසරේ   කලාවෙන්  ලොකු වෙනසක් කරන්න බලාපොරොත්තුවෙන් සිටිනවා. ඉදිරියේදී  මගේ ඥාති සහෝදරයත්  සමග  ගායනා කළ ගීතයක්  එළිදැක්වීමට නියමිතයි. ඒ වගේම  චිත්‍රපටි  කිහිපයකට  අවස්ථාව ලැබී තිබෙනවා.

 

Geek Avurudu 2026 උත්කර්ෂවත් අන්දමින් නිමාවෙයි Read Previous

Geek Avurudu 2026 උත්කර්ෂවත් අන්දමින් නිමාවෙයි

ශ්‍රී ලාංකේය කම්කරු ඉතිහාසය යනු දශක ගණනාවක් පුරා අයිතිවාසිකම් දිනාගැනීම වෙනුවෙන් ලේ, කඳුළ සහ දහඩිය හෙළූ අභිමානවත් අරගලයක කතාවකි. Read Next

ශ්‍රී ලාංකේය කම්කරු ඉතිහාසය යනු දශක ගණනාවක් පුරා අයිතිවාසිකම් දිනාගැනීම වෙනුවෙන් ලේ, කඳුළ සහ දහඩිය හෙළූ අභිමානවත් අරගලයක කතාවකි.

Realted Post

Leave a comment