“මට මේක පුළුවන්” කියන කාන්තාවක් වෙන්න
විවාහ ජීවිතය තුළ අංගසම්පූර්ණ, පරිපූර්ණ කාන්තාවක් වන්නේ කෙසේද? බොහෝ යුවතියන්ට මෙන්ම විවාහක කාන්තාවන්ටත් වරින් වර මතුවන මේ ප්‍රශ්නයට පිළිතුරක් සොයාගැනීමයි මේ සටහනේ අරමුණ.
ල අධිකම රූපලාවන්‍ය නිෂ්පාදන භාවිත කරමින්, තිබෙන ලස්සනම ඇඳුම් පැළඳුම්වලින් සැරසී බාහිර සුන්දරත්වය ඉස්මතු කරගන්නා කාන්තාවන් අපට සමාජයේ ඕනෑ තරම් දකින්න ලැබෙනවා.
කාන්තාවක් ලස්සනට, පිළිවෙළට සිටිය යුතු නැහැ කියන එක මෙයින් අදහස් වෙන්නේ නැහැ. බාහිර සුන්දරත්වය වැදගත්. නමුත් ඒ සුන්දරත්වය තවත් අර්ථවත් වන්නේ බාහිර පෙනුමට වඩා ඇතුළාන්තයෙන්ද අංගසම්පූර්ණ කාන්තාවක් වීම තුළයි.
විවාහ ජීවිතයට ඇතුළත් වීමට පෙර සිටම තමන් ජීවත් වන පරිසරය පිළිබඳ අවබෝධයක්, එම පරිසරයේ ඇතිවන විවිධ තත්ත්වයන්ට මුහුණදීමට තියුණු බුද්ධියක්, ජීවන කුසලතා, ඉවසීම සහ ස්වාධීනව තීරණ ගැනීමේ හැකියාව වැනි ගුණාංගවලින් තමන්ව සන්නද්ධ කරගැනීම වැදගත්. ඒ නිසාම යථාර්ථයට මුහුණ දෙන දියණියක් ගෙදරින්ම හදමු.
පොළොවේ පය ගසා ජීවත් වන දියණියක්
විශේෂයෙන් දියණියක් කුඩා කාලයේ සිටම මව්පියන් විසින් සූදානම් කළ යුත්තේ පොළොවේ පය ගසා ජීවත් විය හැකි චරිතයක් ලෙසයි. ජීවිතය කියන්නේ සෑමදාම අප සිතන ආකාරයට ගලා යන දෙයක් නොවෙයි. ඕනෑම පරිසරයකට හැඩගැසීමට හැකි වීම, ජීවිතයේ හමුවන ගැටලු හමුවේ නොසැලී සිටීම, අභියෝග හමුවේ හඬා වැලපී ජීවිතයෙන් පලා නොගොස් ඒවාට මුහුණ දීමට අවශ්‍ය මානසික ශක්තිය ගොඩනඟා ගැනීම කුඩා කාලයේ සිටම දරුවෙකුට ලබාදිය යුතු ජීවන පාඩම්.
අධ්‍යාපනයෙන් පරිපූර්ණ වීමත් ඒ සමඟම වැදගත්. නමුත් අධ්‍යාපන සුදුසුකම් තිබුණත් රැකියාවක් නොලැබුණු අවස්ථාවක හෝ ජීවිතයේ අනපේක්ෂිත තත්ත්වයකදී තමන්ගේ හැකියාවකින්, තමන්ගේ දෑතේ ශක්තියෙන් රුපියලක් හෝ උපයා ගැනීමට හැකි කාන්තාවක් වීම අද දවසේ විශේෂයෙන්ම වැදගත්.
ඒ නිසා දියණියක් සැමියා මත පමණක් යැපෙන කාන්තාවක් බවට පත් නොකර, ජීවිතය පිළිබඳ වගකීමක් දැරිය හැකි ස්වාධීන කාන්තාවක් ලෙස සමාජයට හඳුන්වාදීම මව්පියන්ගේ වගකීමක්.
ගැහැනු දරුවාට විතරක් නොවෙයි... පුතාටත් ගෙදර වැඩ උගන්වමු
“ගේ දොර වැඩ දුවලාටයි. උයන පිහන වැඩ බිරිඳටයි” කියන අදහස තිබූ සමාජයක් අපට අතීතයේ තිබුණා. නමුත් අද සමාජය වෙනස්.
අද ගෙදරක වගකීම් බිරිඳගේ හෝ කාන්තාවගේ පමණක් වගකීමක් නොවෙයි. දුවද, පුතාද, බිරිඳද, සැමියාද යන භේදයකින් තොරව හැකි පමණින් එකිනෙකාට උදව් කිරීම පවුලක සමගියට ඉතා වැදගත්.
බිරිඳට, අම්මාට, නංගීට හෝ පවුලේ වෙනත් සාමාජිකයෙකුට පුළුවන් ආකාරයෙන් උදව් කිරීමට පිරිමි දරුවාද හුරු කළ යුතුයි. මේ සිතුවිල්ල කුඩා කාලයේ සිටම ඇති කළ විට පවුල තුළ සමගිය, එකමුතුකම, ආදරය සහ කැපවීම වඩාත් ශක්තිමත් වෙනවා.
එමෙන්ම ගැහැනු දරුවා පමණක් ගෙදර වැඩවලට යොමු නොකර පිරිමි දරුවාත් ඒ සඳහා සහභාගී කරගැනීමෙන් “මම පිරිමියෙක්, මේ වැඩ මට අදාළ නැහැ” කියන මමත්වය මෙන්ම, “මම ගැහැනියක්, මට මේ වැඩ බැහැ” කියන හීනමානයත් ක්‍රමයෙන් ඉවත් කළ හැකියි.
ගෙදර වැඩ යනු ගැහැනුන්ගේ පමණක් වැඩක් නොව, පවුලේ සියලු දෙනාගේම වගකීමක් බව දරුවන්ට කුඩා කාලයේ සිටම කියාදීම වැදගත්. එවැනි ආකල්පයකින් විවාහ ජීවිතයට පිවිසෙන යුවළකට ජීවිතයේ අභියෝග හමුවේ එකිනෙකාට ශක්තියක් වෙමින්, දෙදෙනාගේ ජීවිතය ආරම්භ කළ ආදරය සහ ගෞරවය අවසානය දක්වා රැගෙන යාමට වැඩි හැකියාවක් ලැබෙනවා.
“මහත්තයා එනකම් ඉන්නවා” කියන පුරුද්දෙන් මිදෙන්න
විවාහක කාන්තාවකගේ ස්වාධීනත්වය කියන්නේ රැකියාවක් කිරීම හෝ මුදල් උපයා ගැනීම පමණක් නොවෙයි. එදිනෙදා ජීවිතයේ ඇතිවන සුළු ගැටලු පවා තමන්ට හැකි ආකාරයෙන් විසඳා ගැනීමට ඇති හැකියාවත් එහි කොටසක්. ගෙදර ටැප් එකක් කැඩුණොත් “මහත්තයා එනකම් ඉන්නවා.” කඩේකට යන්න තිබුණත් “මහත්තයා එනකම් බලනවා.” විදුලි බුබුළක් පිච්චුණත් “මහත්තයා ආවම කරගන්නවා.” මේ ආකාරයෙන් සෑම කුඩා කාර්යයකටම සැමියාගේ සහාය බලාපොරොත්තු වීම වෙනුවට, තමන්ට කළ හැකි දේ තමන් විසින්ම කරගැනීමට කාන්තාවක් හුරු විය යුතුයි.
එය සැමියාටත් විශාල සහනයක්.
දවස පුරා වෙහෙස මහන්සි වී රැකියාව අවසන් කර නිවසට පැමිණෙන සැමියාට, නිවසේ සෑම සුළු කාර්යයක්මත් කිරීමට සිදුවීම ඇතැම් විට මානසික පීඩනයක් විය හැකියි. ඒ නිසා තමන්ට කළ හැකි කාර්යයක් තිබෙනවා නම්, “මට මේක පුළුවන්” යන මානසික ශක්තියෙන් එය කරගැනීමට කාන්තාවක් හුරු වීම ඇයගේ පෞරුෂය තවත් ශක්තිමත් කරනවා.
එය පවුලේ වගකීම් බෙදාගැනීමක් මිස සැමියාගේ වගකීම් සියල්ල කාන්තාව භාරගත යුතුය යන අදහසක් නොවෙයි. දෙදෙනාටම හැකි ආකාරයෙන් එකිනෙකාට සහාය වීමයි වැදගත්. අවසානයේදී විවාහ ජීවිතයක් සුන්දර කරන්නේ මිල අධික ආභරණ, ඇඳුම් පැළඳුම් හෝ රූපලාවන්‍ය නිෂ්පාදන පමණක් නොවෙයි.
බුද්ධිය, ඉවසීම, ජීවන කුසලතා, ස්වාධීනත්වය, ආදරය, ගෞරවය, කැපවීම සහ එකිනෙකාට සහාය වීමයි විවාහ ජීවිතයේ සැබෑ සුන්දරත්වය. එවැනි ගුණාංගවලින් සන්නද්ධ වූ කාන්තාවක් තමන්ගේ විවාහ ජීවිතය පමණක් නොව, තමන් වටා සිටින පවුලේ ජීවිතද වඩාත් සුන්දර කළ හැකි ශක්තිමත් කාන්තාවක් බවට පත්වනවා.
සටහන – මහේෂානි මීගහපොල
උපදෙස් – රුසිරු ගලගොඩ, මනෝවිද්‍යා සහකාර කථිකාචාර්ය, හරිත සරසවිය

Leave a comment