Rebecca ගෙ මුල්ම අත්දැකීම

වේදිකාව, පුංචි තිරය, සිනමාව යන මේ සියලු භූමිකාවල  දක්ෂයකුවීම ලෙහෙසි පහසු කාර්යයක් නොවේ. මේ වන විටත් රංගන ශිල්පිනියක් ලෙස ක්ෂේත්‍රයේ සාර්ථක ගමනක ඇය යෙදී සිටින්නී ය. විශේෂයෙන් සීමාවකට කොටු නොවුණු එකිනෙකට වෙනස් චරිත ඔස්සේ තමන්ගේ රංගන හැකියාව පෙන්වමින් ප්‍රේක්ෂක ආදරය දිනාගනිමින් සිටින මේ රුවැත්තිය රෙබේකා දිල්රුක්ෂි ය. ඇය සමගයි සිරිකත මේ කතාබහ.

  • කොහොමද මේ දවස්වල කලා කටයුතු?

අලුත් වැඩ කිහිපයකටම සම්බන්ධවෙලා ඉන්නවා. ප්‍රියන්ත ප්‍රනාන්දුගෙ වැඩක්. මේ දවස්වල කුරුණෑගල රූපගතකිරීම් සිදුවෙනවා. ඒක අලුත් වැඩක්. අනුෂ්ක රසාංජනගෙත් තවත් අලුත් වැඩක් යනවා. ඒකටත් සම්බන්ධවෙලා ඉන්නවා. ඒ අතරේ තවම කතාබහ වෙමින් තිබෙන වැඩ කිහිපයකුත් තිබෙනවා. ප්‍රධාන චරිතයක් විදියට මම පළමුවතාවට රංගනයෙන් දායකවුණු සිනමාපටය සිහින සමීකරණ. ඒ චිත්‍රපටයත් මෙම 17 වැනිදා සිට  නරඹන්න පුළුවන්. 

  • කලාවට එකතු වෙන්නේ වේදිකාවෙන්ද?

පාසල් යන කාලේ ඉඳලම වේදිකා නාට්‍ය කළා. පාසල් අධ්‍යාපනයෙන් පස්සේ විශ්වවිද්‍යාලයට එනවා. එහිදීත් මම රංගනය විෂයක් විදියට හදාරනවා. විශ්වවිද්‍යාලයෙන් තමයි මම රංගනය කියන එක මොකද්ද කියලා හරියටම ඉගෙන ගත්තෙ. ඒ අතරත් වේදිකා නාට්‍යවලට සම්බන්ධ වුණා. ඉතින් ටෙලිනාට්‍යවලට එන්න කලින් රංගන ක්ෂේත්‍රයේ මුල්ම අත්දැකීම් තියෙන්නේ වේදිකාවත් එක්ක.  

  • රඟපාන්න ඕනෑම චරිතයක් තෝරාගන්නවද? සීමා මායිම් තියෙනවද?

ඇත්තටම පිටපතක් කියවද්දි මට දැනෙනවනම් මේ චරිතේ මට කරන්න පුළුවන් කියලා විශ්වාසයක් ඇතිවෙනවනම් මම ඒ චරිතේ භාරගන්නවා. යම් චරිතයක් කරන්න යම් අපහසුතාවක් දැනෙනවා නම් මම ඒ චරිතය බාරගන්නෙ නැහැ කවදාවත්. නමුත් මට මෙතෙක් කාලෙකට එහෙම අපහසුයි කියලා අයින් කරපු චරිතයක් නැහැ. දැනට ලැබිලා තියන හැම චරිතයකටම මම හරි කැමතියි.

  • මෙතෙක් රංගනයෙන් දායක වූ නිර්මාණ අතරින් ඔබ වඩාත් ප්‍රේක්ෂකයන්ගේ කතාබහ අතරට ගිය නිර්මාණය මොකද්ද?

ඕනෑම නිර්මාණයකදී අපි හුඟක් මහන්සි වෙනවා. ඒ වෙනුවෙන් කැපවෙනවා. නමුත් මං ප්‍රේක්ෂක අවධානයට නතු වුණේ වෙනස් විදියකට. ඒ යූටියුබ් සීරියස් එකක් හරහා. ජෝ. දිසානායක අධ්‍යක්ෂණය කරපු, අනුෂ්ක රසාංජනද සිල්වා පිටපත් රචනය කරපු There is a body යූ ටියුබ් කතාමාලාව තමයි ඒ. මීට කලින් වැඩ කරලා තිබුණත් මෙහෙම කෙනෙක් ඉන්නවා නේද කියලා මිනිස්සු මාව හඳුනාගත්තේ මේ කතාවෙන්. ඇත්තටම මේකේ කොටස් පහයි තියෙන්නේ. මිලියන එකක් පහුකරලා විව්ස් ගිහින් තියනවා යූටියුබ් එකේ මේ නිර්මාණයට. මේ නිර්මාණය හරහා තමයි ප්‍රේක්ෂකයෝ හුඟදෙනෙක් මාව හඳුනාගන්නේ.

  • රංගන ශිල්පිනියක් විදියට ඔබ වැඩිපුරම දක්ෂයි කියලා දැනෙන්නේ මොනවගේ චරිතවලටද?


 ඒ ගැන තවමත් මට අදහසක් නැහැ. මම හැමදාම කරන්නේ රඟපාමින් අත්දැකීම් ලැබීම. මොකද රංගනය පහසු විෂයක් නොවෙයිනේ. ඒක හරිම අමාරු විෂයක්. අපිට හැමදාම දෙයක් ඉගෙන ගන්න තියෙනවා. රංගනය කියන්නෙම හැමදාම අප්ඩේට් වෙන විෂයක්. මට මෙතෙක් ලැබිලා තිබෙන චරිතවලදි ඒ චරිතේ බොහොම පුංචි චරිතයක් වුණත් මගේ උපරිම හැකියාව ඒ වෙනුවෙන් යොදවලා මම ඒක කරලා තියනවා කියලා විශ්වාස කරනවා.

  • කොහොමද සිහින සමීකරණවලට ලැබෙන ප්‍රතිචාර ?

ඇත්තටම මේ වැඩේ හරිම විශේෂයි. මොකද මේක සසික හේරත් අයියගේ පළමුවැනි වැඩේ. පිටපත් රචකයාගෙත් පළමුවැනි වැඩේ. මගෙත් පළමු සිනමා අත්දැකීම. සසික අයියා තමයි මාව විශ්වාස කරලා මට මේ වැඩේ දෙන්නේ. ඔහු මටත් වඩා මාව විශ්වාස කළා. ඇත්තටම ඔහුට මේ වැඩේට ඕනැ කළේ ප්‍රසිද්ධ කියන අයට වඩා දක්ෂ විදියට සාධාරණයක් ඉටුකරයි කියලා හිතෙන චරිත. එහෙම තමයි ඔහු තේරීම් කළේ. මම හිතනවා උපරිමය කළා කියලා.  ඉදිරියේදී තමයි ප්‍රේක්ෂක ප්‍රතිචාර හොඳින්ම දැනගන්න වෙන්නේ.

ජනප්‍රිය කාන්තා පුවත්පත් කතෘට හිමි සම්මානයෙන් සිරිකත පුවත්පතේ කතෘ පිදුම් ලබයි Read Previous

ජනප්‍රිය කාන්තා පුවත්පත් කතෘට හිමි සම්මානයෙන් සිරිකත පුවත්පතේ කතෘ පිදුම් ලබයි

වසරේ සිංහල සමාජ මාධ්‍ය ජාලයට හිමි විශිෂ්ඨතා සම්මානය ලංකාදීප Online සමාජ මාධ්‍ය ජාලයට Read Next

වසරේ සිංහල සමාජ මාධ්‍ය ජාලයට හිමි විශිෂ්ඨතා සම්මානය ලංකාදීප Online සමාජ මාධ්‍ය ජාලයට

Realted Post

Leave a comment