අඟහරු මත තනි වන ඇලිසා

ඇමරිකානු ජාතික ඇලිසා කාර්සන් උපත ලබන්නේ 2001 මාර්තු 10වන දිනය. ඒ අනුව 2026 ජනවාරි වන විට ඇයට වයස අවුරුදු 24කි. 2026 මාර්තු 10වන දින ඇයට වයස අවුරුදු 25කි. ඇය අභ්‍යවකාශය ගැන උනන්දුවෙන් යුතු, සමාජ මාධ්‍ය තුළ කැපී පෙනෙන චරිතයකි. STEM උපදේශකවරියක් සහ ගගනගාමියෙක් වීමට අභිලාෂයෙන් සිටින තරුණියකි. ඇය තම ඉලක්ක වෙත සුදුසුකම් සපුරාලමින් සිටී. අඟහරු වෙත අනාගත මිනිස් මෙහෙයුමකට සහභාගී වීමේ ඇගේ ජීවිත කාලය පුරාම ඇති සිහිනය නිසා ඇය ලොව පුරා ප්‍රසිද්ධියට පත්ව ඇත.

ඇයව ‘බ්ලූබෙරි’ (Blueberry) යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලබයි. ඇලිසාගේ ඇමතුම් ලකුණ එය වේ. ‘බ්ලූබෙරි’ යන නම ඇයට පටබැඳෙන්නේ කුඩා අවධියේ අභ්‍යවකාශ කඳවුරේ සිටි කාලයේ සිටය. ඇගේ දෙවන කඳවුරු සංචාරයේදී ඇයට අත්සන සහිත නිල් පැහැති පියාසැරි ඇඳුමක් ඇඳීමට අවශ්‍ය වූ නමුත්, ඇගේ ප්‍රමාණයෙන් එකක් සොයාගත නොහැකි විය. ඒ වෙනුවට ඇය තද නිල් පැහැති ඇඳුමක් ඇඳ සිටි අතර, අනෙකුත් කැඩෙට් නිලධාරීන් ඇය බ්ලූබෙරි ගෙඩියක් මෙන් පෙනෙන බවට විහිළු කර තිබේ. ඒ නම ස්ථිර වූ අතර, ඇය දැන් එය ඇගේ සමාජ මාධ්‍ය සන්නාමකරණයේ (උදා: ඇගේ ඉන්ස්ටග්‍රෑම් සහ ‘NASABlueberry’ වෙබ්අඩවිය) බහුලව භාවිත කරයි.
බොහෝ කුඩා දරුවන් තමාගේ අනාගත සිහින ගැන හෙළි කරයි. ඒවායෙන් සමහර සැලසුම් අත්පත් කරගන්නා ඔවුනට සමහර සිහින මගහැරී යයි. ඇලිසා යනු එයින් පළමු කාණ්ඩයේ සිටි, ධනාත්මක චින්තනයක් ඇති දරුවෙකි. අභ්‍යවකාශය සඳහා මුල් ආශාව ඇගේ හිතේ පැළපදියම් වූයේ ළමා සංදර්ශනයක ආභාසය නිසාය. එවකට ඇයට වයස අවුරුදු 3කි. ගගනගාමියෙකු වීමට තීරණය කළ ඇයට ඇගේ සිහිනය දිගේ ඇවිද යෑමට පවුලේ සාමාජිකයන්ගෙන් ලැබුණේ නොමඳ සහයකි.
අභ්‍යවකාශ පුහුණු අත්දැකීම් සහ අභ්‍යවකාශ කඳවුරු වැඩසටහන් රාශියකට සහභාගී වූ ඇය ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව සහ තුර්කිය ඇතුළුව සියලුම නිල වැඩසටහන් සම්පූර්ණ කළ එකම පුද්ගලයා ලෙස වාර්තා වේ. තවද ඇය ඉන්දියා ‘CSR PoSSUM’ (උප කක්ෂීය විද්‍යා පුහුණුව) ඇතුළු උසස් අභ්‍යවකාශ විද්‍යා වැඩසටහන් සම්පූර්ණ කරන ලදී. නියමු බලපත්‍රය හිමි ළාබාලතම තැනැත්තිය වන ඇය ව්‍යවහාරික අභ්‍යවකාශ විද්‍යාව, ස්කූබා සහ තවත් බොහෝ සහතිකද ලබා ඇත. ෆ්ලොරිඩා තාක්ෂණ ආයතනයෙන් තාරකා ජීව විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී උපාධියක්, අඟහරු ග්‍රහයා මත ජීවය සම්බන්ධ ප්‍රශ්න සම්බන්ධයෙන් කටයුතු කරමින් ආකැන්සාස් විශ්ව විද්‍යාලයෙන් ජීව විද්‍යාව හා අභ්‍යවකාශ විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියක් මෙන්ම, උසස් පර්යේෂණ රැසක් හදාරා ඇත. කර්තෘ ප්‍රකාශන වශයෙන් An Astronaut, Ready for Liftoff: Becoming an Astronaut of the Mars Generation යන කෘතීන් ඇය ප්‍රකාශයට පත්කර ඇත.
එතැනින්ද නොනැවතුණු ඇය වාර්තා චිත්‍රපට (උදා: ද මාර්ස් ජෙනරේෂන්), රූපවාහිනී වැඩසටහන්, ලෝක ප්‍රසිද්ධ සන්නාම සඳහා වෙළෙඳ දැන්වීම්වලට සහ TEDx දේශන සඳහා පෙනී සිට ඇත. ගැහැනු ළමයින් සහ තරුණයන් STEM ක්ෂේත්‍රයේ වෘත්තීන් හැදෑරීමට දිරිමත් කිරීම සඳහා ඇය ඇගේ වේදිකාව භාවිත කරයි. ඇලිසාට ජනප්‍රිය Instagram ගිණුමක් සහ විශාල Twitter (X) අනුගාමිකයන් සංඛ්‍යාවක් සිටී.
ඇය 2017, 2019, 2020, 2022 යන මෑතකාලීන වර්ෂවලදී සම්මාන දිනාගත් ළාබාලතම දිරිය තරුණිය වේ. ඉංග්‍රීසි, ප්‍රංශ, ස්පාඤ්ඤ සහ මැන්ඩරින් යන භාෂා කතා කරනා ඇලීසා 2020 ජූලි වන විට රටවල් 26කට සංචාරය කර ඇත.
කෙසේ වුවද වැදගත්ම දෙය වනුයේ, අඟහරු ග්‍රහයා වෙත යාමට පුහුණුවක් ලෙස හෝ ‘නාසා හි පුහුණුවේ සිටින ළාබාලතම ගගනගාමියා’ ලෙස මාධ්‍යවල පුළුල් ලෙස විස්තර කර ඇතත්, ඇලිසා කාර්සන් නිල නාසා ගගනගාමියෙකු හෝ විධිමත් ලෙස නාසාහි ගගනගාමී පුහුණු වැඩසටහනේ සාමාජිකාවක් නම් නොවීමය. ඇය සමග නිල සම්බන්ධයක් නොමැති බව නාසා ආයතනය තහවුරු කර ඇත. 
එමෙන්ම ගගනගාමියෙක් වීමට මේ යැයි කියා නිල වයස් සීමාවක් නොමැත. ‘හේලි ආර්සෙනෝ, ඔලිවර් ඩේමන්’ වැනි සුවිශේෂී පුද්ගලයන් අතළොස්සක් හැරුණුකොට ගගනගාමියෙක් සඳහා සාර්ථක අයදුම්කරුවන්ගේ වයස වන්නේ අවුරුදු 26ත් 40 සීමාවන්ය. සාමාන්‍යයෙන් වයස අවුරුදු 34 සීමාවය. තම සිහිනය වෙත වේගයෙන් පියනඟනා NASABlueberry තවමත් වයස 25ක තරුණියකි. කෙදිනක හෝ ඇය ඇගේ සිහිනය සැබෑ කරගනු ඇත. නමුදු වත්මනේ ඇය සමග විධිමත් සම්බන්ධතාවයක් නොමැති බවත්, ඇයව කිසිදු අඟහරු හෝ ආටෙමිස් කාර්ය මණ්ඩලයකට පවරා නොමැති බවත් නාසා ආයතනය පැහැදිලිවම පවසා තිබේ. එමෙන්ම ස්ථිර කාර්ය මණ්ඩලයක් සහිත අඟහරු වෙත නාසා මෙහෙයුමක් දැනට නැත. කාර්ය මණ්ඩල සාමාජිකයන් අඟහරු මත ස්ථිරව රැඳී සිටින එක්-මාර්ග චාරිකා (One-way) ගැන කිසිඳු සඳහනක්ද නැත.
අඟහරු මෙහෙයුමක් පවතින්නේ නම්, එම මෙහෙයුමකට යාමට කැමැත්තෙන් සිටින බව ඇලිසා පවසා ඇත. ඇය කුඩා කල සිටම පවසා ඇත්තේ ඇගේ සිහිනය අඟහරු වෙත ගොස්, නැවත පෘථිවියට පැමිණ පසුව ගුරුවරියක් වී ඉගැන්වීම හෝ ජනාධිපතිවරියක වී සේවය කිරීම බවයි. ඇය ‘%ටීන් වෝග්’ ඇතුළු සම්මුඛ සාකච්ඡා කිහිපයකදී මෙම අදහස බෙදාගෙන ඇත. 
මෙම ප්‍රකාශයෙන් පසුව, ‘නාසා ආයතනය ඇයව සදා නොඑන්නටම රතු ග්‍රහයා වෙත යැවීමට තෝරා ගත්තේය’ ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර කරමින් ඇත.
නාසා හි දිගුකාලීන ඉලක්ක අතරට අඟහරු වෙත මිනිසුන් යැවීම ඇතුළත් වේ (සමහර විට 2030 ගණන්වලදී ). නමුත් සියලුම මිනිස් අභ්‍යවකාශ පියාසැරි කණ්ඩායම් සැලසුම් කර ඇත්තේ ගගනගාමීන් නැවත පෘථිවියට පැමිණෙන වට-සංචාර මෙහෙයුම් ලෙසය. නාසා ආයතනය තවමත් ඒකමාර්ග අඟහරු මෙහෙයුම් සැලසුම් කරන්නේ නැත.
බ්ලූබෙරි යනු ඉහත කී දස්කම් දක්වමින් තම සිහිනය වෙත පිය නඟනා සුන්දර යුවතියක් බව මිසක සමාජ මාධ්‍ය ජාල ඔස්සේ අතිශයෝක්තියෙන් උත්කර්ෂයට නංවනා අඟහරු තුළ සදා තනිවන්නට නියමිත තැනැත්තිය නොවන බව අවසන් වශයෙන් සඳහන් කළ යුතුය.

  • නාසා වෙබ් සංස්කාරිකා
  • පියුමි ජයකලණි වික්‍රමආරච්චි

 

අඟහරු මත තනි වන ඇලිසා Read Previous

අඟහරු මත තනි වන ඇලිසා

සිනහා  බෝ වේවා Read Next

සිනහා බෝ වේවා

Realted Post

Leave a comment