අතට කීයක් ආවත් වියදම් වෙනවා ද ?

25,000ක් ආවත් වියදම්, ලක්ෂයක් ආවත් වියදම්ද? සල්ලි ඉතිරි නොවෙන්නේ ඇයි?

“අතට රුපියල් 25,000ක් ආවත් වියදම් වෙනවා. ලක්ෂයක් ආවත් වියදම් වෙනවා. කොහොමත් ඉතිරි කරන්න බැහැ...”

මේ කියමන අද බොහෝ දෙනෙකුගේ ජීවිතවලට හුරුපුරුදු එකක්. ආදායම කොතරම් වැඩි වුණත් මාසය අවසානයේ ඉතිරි වන්නේ මුදලක් නොව, තවත් වියදම් කිහිපයක් පමණක් නම් එයට හේතුව ආදායම අඩු වීම පමණක් නොවිය හැකියි.

මුදල් උපයන ආකාරය ගැන මෙන්ම, උපයාගත් මුදල් පාලනය කරමින් ඉතිරි කිරීම සහ ආයෝජනය කිරීම පිළිබඳවද නිසි අවබෝධයක් තිබිය යුතුය.

ආදායම වැඩි වෙද්දී වියදමත් වැඩි වෙනවාද?

ආදායම වැඩි වූ විට බොහෝ දෙනෙකුට සිදුවන්නේ තම ජීවන රටාවද ඒ සමඟම ඉහළ නැංවීමයි.

සරලව කිවහොත්, මීට පෙර රුපියල් 100,000ක ආදායමකින් ජීවත් වූ පුද්ගලයෙකුට තවත් රුපියල් 25,000ක මුදලක් ලැබුණු විට, එම අමතර මුදල ඉතිරි කරනවා වෙනුවට එයට සරිලන අලුත් වියදම් නිර්මාණය කරගැනීමට ඉඩ තිබේ.

ආදායම වැඩි වන විට ජීවන රටාවද ඒ සමඟ වැඩි වීම “Lifestyle Creep” ලෙස හඳුන්වයි.

එහිදී මුදල වැඩි වුණත්, ඉතිරිය වැඩි වන්නේ නැත. ආදායම වැඩි වූ තරමට වියදම්ද වැඩි වීම නිසා අවසානයේ අතේ ඉතිරි වන මුදල පෙර තිබූ ප්‍රමාණයටම සීමා විය හැකියි.

“කීයක් ආවත් වියදම් වෙනවා” කියන්නේ ඇයි?

“මට කොච්චර මුදලක් ලැබුණත් වියදම් වෙනවා” යනුවෙන් කෙනෙකු පවසන්නේ නම්, එය ඇතැම්විට ආදායමේ ප්‍රශ්නයකට වඩා තම ජීවන රටාව සහ වියදම් පාලනය කරගැනීම සම්බන්ධ ගැටලුවක් විය හැකියි.

මුදල කොපමණ වුවත් එයට ගැළපෙන ලෙස වියදම් සකස් කරගැනීම වෙනුවට, තමන්ට සැබවින්ම අවශ්‍ය වියදම් මොනවාදැයි හඳුනාගැනීම වැදගත්ය.

ආදායම වැඩි වූ විට සියලුම මුදල් වියදම් කිරීමට අවශ්‍ය නැත. තමන්ගේ අවශ්‍යතා වෙනුවෙන් අවශ්‍ය මුදලක් වෙන් කර, ඉතිරිය ඉතිරි කිරීමට හෝ ආයෝජනය කිරීමට යොමු කිරීමෙන් මුදල් සම්බන්ධයෙන් වඩාත් හොඳ පාලනයක් ඇති කරගත හැකියි.

“Strategic Spending” කියන්නේ මොකක්ද?

ඉහළ ආදායමක් ලබන ඇතැම් පුද්ගලයන් පිළිබඳව නිරීක්ෂණය කළ විට පෙනී යන කරුණක් වන්නේ ඔවුන්ට ලැබෙන සම්පූර්ණ මුදලම වියදම් නොකරන බවයි.

ඔවුන් තමන්ට අවශ්‍ය මුදල පමණක් වියදම් කරමින්, ඉතිරි මුදල වෙනත් අරමුණු සඳහා යොදා ගනී.

මෙය “Strategic Spending” හෙවත් උපායමාර්ගික වියදම් කිරීමක් ලෙස හැඳින්විය හැකියි.

එහි මූලික අදහස වන්නේ,

අතට එන මුදලට වියදම් සකස් කිරීම වෙනුවට, අවශ්‍ය වියදම් හඳුනාගෙන ඒ අනුව මුදල් වෙන් කිරීමයි.

ඉතිරි කිරීමත්, ආයෝජනයත් එකට

මුදල් කළමනාකරණයේදී සියලුම මුදල් වියදම් කිරීම හෝ සියලුම මුදල් ඉතිරි කිරීම පමණක් ප්‍රමාණවත් නොවේ.

තමන්ගේ ජීවන රටාව පවත්වාගෙන යාමට අවශ්‍ය මුදලක් වෙන් කිරීමෙන් පසු, ඉතිරි මුදලින් කොටසක් ඉතිරි කිරීමටත්, තවත් කොටසක් අනාගතය වෙනුවෙන් ආයෝජනය කිරීමටත් හැකි නම් වඩාත් හොඳ මූල්‍ය පාලනයක් ඇති කරගත හැකියි.

ඒ සඳහා පළමුවෙන්ම අවශ්‍ය වන්නේ මුදල් පිළිබඳ නිවැරදි අවබෝධයක් ඇති කරගැනීමයි.

මුදල් උපයන ආකාරය දැන සිටීම පමණක් ප්‍රමාණවත් නොවේ. උපයාගත් මුදල් තබාගන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද සහ අනාගතය සඳහා වර්ධනය කරන්නේ කෙසේද යන්න පිළිබඳවත් අවබෝධයක් තිබිය යුතුය.

“මට ඉතිරි කරන්න බැහැ” කියන එක වෙනස් කරමු

ආදායම කොපමණ වුවත් ඉතිරි කිරීමට නොහැකි යැයි සිතීම වෙනුවට, තමන්ගේ වියදම් රටාව පිළිබඳව නැවත සිතා බැලීම වැදගත්ය.

ආදායම වැඩි වන සෑම අවස්ථාවකම ජීවන රටාවද ඒ තරමටම ඉහළ නැංවීම වෙනුවට, ආදායමෙන් කොටසක් අනිවාර්යයෙන්ම ඉතිරි කිරීමට සහ ආයෝජනය කිරීමට වෙන් කළ හැකියි.

එවිට අතට ලැබෙන මුදල කොපමණ වුවත් එය සම්පූර්ණයෙන්ම වියදම් වී අවසන් වන තත්ත්වයෙන් මිදීමට හැකියාව ලැබේ.

අවසානයේ වැදගත් වන්නේ “කීයක් ලැබෙනවාද?” යන්න පමණක් නොව, “ලැබෙන මුදල කළමනාකරණය කරන්නේ කොහොමද?” යන්නයි.

මුදල් පාලනය කිරීමේ පුරුද්ද ඇති කරගත් විට, ආදායම වැඩි වන සෑම අවස්ථාවකම වියදම වැඩි කරගැනීම වෙනුවට, තමන්ගේ අනාගතය සඳහා ඉතිරියක් ගොඩනගා ගැනීමට හැකි වේ.

 

අදහස් දැක්දීම - ව්‍යවසායිකා ,ලේඛිකා,  ආචාර්ය සෞන්දර්යා යෝගේශ්වරන්.

 

අශන්ති වරුණසූරිය

 

ගොළුබෙලි සත්කාරය හැමෝටම සුදුසුද? ඔබට ගැළපෙනවාද? Read Previous

ගොළුබෙලි සත්කාරය හැමෝටම සුදුසුද? ඔබට ගැළපෙනවාද?

ගොළුබෙලි සත්කාරය හැමෝටම සුදුසුද? ඔබට ගැළපෙනවාද? Read Next

ගොළුබෙලි සත්කාරය හැමෝටම සුදුසුද? ඔබට ගැළපෙනවාද?

Realted Post

Leave a comment