අදත් මිලියන ගණනක් කුසගින්නේ. අහාර නාස්තිය අවම කර ගැනීම අපේ වගකීමක්
අපේ මේසයට දිනපතා ආහාර වේලක් ලැබෙන විට, ලෝකයේ තවත් කොතැනක හෝ දරුවකු කුසගින්නේ සිටින බව අපට බොහෝ විට අමතක වෙනවා. ඇතැම් නිවෙස්වල ආහාර ඉවත දමද්දී, තවත් පවුල්වලට දරුවන්ගේ කුස පිරවීමට අවශ්ය ආහාර ටිකවත් සොයාගැනීම අභියෝගයක් වී තිබෙනවා.
මේ යථාර්ථය ලෝකයට සිහිපත් කරන දිනයයි ඔක්තෝබර් 16 වැනිදාට යෙදෙන ලෝක ආහාර දිනය. ලෝකයේ කිසිවකුත් කුසගින්නේ නොසිටින, සෑම පුද්ගලයකුටම සෞඛ්ය සම්පන්න ජීවිතයක් ගත කිරීමට අවශ්ය පෝෂ්යදායී ආහාර ලැබෙන අනාගතයක් ගොඩනැඟීම මෙම දිනයේ ප්රධාන අරමුණයි.
ලෝක ආහාර දිනයේ ආරම්භය
එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) විසින් 1979 වසරේදී ලෝක ආහාර දිනය ප්රකාශයට පත් කරනු ලැබුවා. ඔක්තෝබර් 16 වැනිදා තෝරාගත්තේ 1945 වසරේ එදින එම සංවිධානය ආරම්භ කිරීම සිහිපත් කිරීමටයි.
එදා සිට අද දක්වාම ලෝක ආහාර දිනය ඔස්සේ කුසගින්න, මන්දපෝෂණය සහ ආහාර සුරක්ෂිතතාව පිළිබඳව ජනතාව දැනුවත් කිරීමටත්, ඒ සඳහා ක්රියාමාර්ග ගැනීමටත් ලොව පුරා වැඩසටහන් පැවැත්වෙනවා.
අදත් මිලියන ගණනක් කුසගින්නේ
ලෝකයේ ආහාර නිෂ්පාදනය සහ තාක්ෂණය දියුණු වී තිබුණත්, කුසගින්න තවමත් අවසන් වී නැහැ. එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 2025 වාර්තාවට අනුව, 2024 වසරේදී ලොව පුරා මිලියන 700කට ආසන්න ජනතාවක් කුසගින්නෙන් පීඩා විඳ තිබෙනවා. තවත් බිලියන 2.3කට ආසන්න පිරිසකට ප්රමාණවත් සහ පෝෂ්යදායී ආහාර නිතිපතා ලබාගැනීමේ ගැටලු තිබෙනවා.
මෙය හුදෙක් ආහාර හිඟයක් පිළිබඳ ප්රශ්නයක් නොවෙයි. ආහාර මිල ඉහළ යාම, අඩු ආදායම්, යුද ගැටුම් සහ ස්වාභාවික විපත් නිසා බොහෝ පවුල්වලට අවශ්ය ආහාර මිලදී ගැනීමට නොහැකි වී තිබෙනවා. විශේෂයෙන්ම දරුවන්ට නිසි පෝෂණය නොලැබීම ඔවුන්ගේ ශාරීරික වර්ධනයට, ඉගෙනීමට සහ අනාගත සෞඛ්යයට බලපානවා.
ආහාර තිබුණත් සැමටම ලැබෙන්නේ නැහැ
ලෝකයේ ආහාර නිෂ්පාදනය සිදු වුවත්, එය අවශ්ය සියලු දෙනාට සාධාරණව බෙදී යන්නේ නැහැ. ඇතැම් ප්රදේශවල ආහාර අතිරික්තයක් පවතින අතර තවත් ප්රදේශවල ජනතාවට මූලික ආහාර අවශ්යතා පවා සපුරාගැනීමට නොහැකි තත්ත්වයක් තිබෙනවා. ආහාර සුරක්ෂිතතාව යනු කුස පිරවීම පමණක් නොවෙයි. ශරීරයට අවශ්ය පෝෂණය ලබාදෙන, ආරක්ෂිත ආහාර ප්රමාණවත් ලෙස සහ නිතිපතා ලබාගැනීමට හැකි වීමත් එයට ඇතුළත් වෙනවා.
ඒ නිසා ආහාර නිෂ්පාදනය වැඩි කිරීම මෙන්ම ගොවීන්ට සහාය වීම, ආහාර ගබඩා කිරීමේ පහසුකම් දියුණු කිරීම සහ ආහාර බෙදාහැරීමේ ක්රම ශක්තිමත් කිරීමත් අත්යවශ්යයි.
දේශගුණික විපර්යාසත් ආහාර අර්බුදයට බලපානවා
නියඟ, ගංවතුර, අධික උෂ්ණත්වය සහ වැසි රටාවන් වෙනස් වීම කෘෂිකර්මාන්තයට දැඩි බලපෑම් එල්ල කරනවා. වගා හානි සිදුවීමෙන් අස්වැන්න අඩුවන අතර ආහාර මිල ඉහළ යාමටත් එය හේතු විය හැකියි. එමෙන්ම යුද ගැටුම් සහ ආර්ථික අර්බුද නිසා ආහාර නිෂ්පාදනය, ප්රවාහනය සහ බෙදාහැරීම ද බාධාවට පත්වෙනවා. මේ නිසා අනාගත පරම්පරාවටත් ප්රමාණවත් ආහාර ලබාදීමට නම් පරිසරයට හානි අවම කරන කෘෂිකාර්මික ක්රම අනුගමනය කිරීම සහ ජලය, පස ඇතුළු ස්වාභාවික සම්පත් ආරක්ෂා කිරීම වැදගත්.
ආහාර නාස්තිය අවම කිරීම අපේ වගකීමක්
ලෝක ආහාර දිනයේදී අප අවධානය යොමු කළ යුතු තවත් වැදගත් කරුණක් වන්නේ ආහාර නාස්තියයි. අවශ්ය ප්රමාණයට වඩා ආහාර පිළියෙල කිරීම, මිලදී ගත් ආහාර නිසි ලෙස ගබඩා නොකිරීම සහ කල් ඉකුත් වීමට පෙර භාවිත නොකිරීම නිසා විශාල ආහාර ප්රමාණයක් අපතේ යනවා.
අපට කළ හැකි දේ සරලයි.
- අවශ්ය ප්රමාණයට පමණක් ආහාර පිළියෙල කිරීම.
- මිලදී ගැනීමට පෙර නිවසේ තිබෙන ආහාර පරීක්ෂා කිරීම.
- ආහාර නිසි ලෙස ගබඩා කර නියමිත කාලය තුළ භාවිත කිරීම.
- ආරක්ෂිතව පරිභෝජනය කළ හැකි ඉතිරි ආහාර නාස්ති නොකිරීම.
- හැකි අවස්ථාවලදී අවශ්යතා ඇති පුද්ගලයන් සමඟ ආහාර බෙදාගැනීම.
මේ කුඩා පුරුදු මඟින් අපතේ යන ආහාර ප්රමාණය අඩු කරගැනීමට හැකියි.
වෙනසක් ඇති කිරීම අපෙන්ම ආරම්භ කරමු
කුසගින්න තුරන් කිරීම එක් දිනකින් කළ හැකි දෙයක් නොවෙයි. ඒ සඳහා රජයන්, ජාත්යන්තර සංවිධාන, ගොවීන්, ව්යාපාරිකයන් සහ සාමාන්ය ජනතාව එකට කටයුතු කළ යුතුයි. ඒ වගේම දේශීය ගොවීන්ට සහාය වීම, ගෙවතු වගාවට උනන්දු වීම, පෝෂණය පිළිබඳ දැනුවත් වීම සහ ආහාර නාස්තිය අවම කිරීම තුළින් අපටත් මේ වෙනසට දායක විය හැකියි.
ආහාර යනු අපගේ ජීවිතය පවත්වාගෙන යාමට අවශ්ය මූලික අවශ්යතාවක්. එය කිහිප දෙනකුට පමණක් සීමා නොවී, සෑම මිනිසකුටම ගෞරවයෙන් සහ සුරක්ෂිතව ලබාගත හැකි අයිතියක් බවට පත් කිරීම අප සැමගේ වගකීමයි. ලෝක ආහාර දිනය අපට සිහිපත් කරන්නේ එක් දෙයක් පමණයි: අපේ පිඟානට ආහාර ලැබීම ගැන සතුටු වන අතරම, තවත් කෙනකුගේ පිඟාන හිස් නොවීමටත් අපි අපේ දායකත්වය ලබාදිය යුතුයි.
අශන්ති වරුණසූරිය

Leave a comment