අප සිනමාවට පෙම්බැන්දේ ඇගේ රංගනය නිසා

අගමැතිනි හරිනි අමරසූරිය මෙනවිය ප්‍රතිභාපූර්ණ නිළි මාලනී ෆොන්සේකා මිය වෙන්වෙන් තැබූ සංවේදී සටහන.


ශ්‍රී ලාංකේය සිනමා වංශකතාවේ ප්‍රථම හා එකම නිළි රැජින වෙමින් දේශීය සිනමාව සිය රංගන දායකත්වයෙන් පෝෂණය කළ මාලනී ෆොන්සේකා මහත්මියගේ අභාවය සැලවීමෙන් මා මහත් කම්පනයට පත්වීමි.

නිධානය,  සිරිපාල හා රන්මැණිකා, බඹරු ඇවිත්, ආරාධනා, හිඟන කොල්ලා  ඇතුළු  සියයකට අධික ජනාදරයට පත් සිනමා නිර්මාණයන් ස්වකීය නිසඟ රංගන දායකත්වයෙන් පෝෂණය කළ ඇය,  ඒ වෙනුවෙන් මොස්කව් ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේ විශේෂ ජූරි සම්මානයෙන් හා සරසවිය සම්මාන රැසකින්ම පිදුම් ලැබීමට තරම් භාග්‍යවන්ත වූවාය.

ඇය පණ පෙවූ අපූර්ව චරිතයන්ගේ සදාතනික මතකයන් පමණක් නොව, සිනමාව වැනි ඉසියුම් කලා මාධ්‍යයකට දායකවීමේ දී තමන් ඒ වෙනුවෙන් කෙතරම් කැපවිය යුතුද යන්න තම භාවිතයෙන්ම පසක් කළ ඇය, දේශීය සිනමාවේ හෙට දවස පෝෂණය කරන්නට පෙර මං බලා සිටින මතු පරපුර වෙනුවෙන් පාර කියන තාරකාවක් ද වන බව මගේ හැඟීමයි.

ප්‍රතිභාපූර්ණ රංගවේදිනියක ලෙස දශක ගණනාවක් අපගේ සිනමාව අර්ථයෙන්,රසයෙන් හා රූපයෙන් පෝෂණය කළ ඇගේ නික්මයාමෙන් දේශීය සිනමාවේ ඇතිවන හිඩැස නැවත පිරවිය නොහැක්කක් යැයි මට දැනේ.

අපගේ පරපුර හැදීවැඩුණේ ඇගේ සිනමාව ඇසුරෙනි, අප සිනමාවට පෙම්බැන්දේ ඇගේ රංගනය නිසාවෙනි.

මාලනී ෆොන්සේකා රංගවේදිනියනි, ඔබට නිවන් සුව!


ආචාර්ය හරිණි අමරසූරිය,
අග්‍රාමාත්‍ය,
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය.

පොහොසත් රටකට ජනපතිගෙන් පොරොන්දුවක් Read Previous

පොහොසත් රටකට ජනපතිගෙන් පොරොන්දුවක්

Geek Avurudu 2026 උත්කර්ෂවත් අන්දමින් නිමාවෙයි Read Next

Geek Avurudu 2026 උත්කර්ෂවත් අන්දමින් නිමාවෙයි

Realted Post

Leave a comment