අලුත් දෑ තනන දරුවන් බිහිකිරීම රටේ අනාගතය ගොඩනැගීමයි

“ළමා දින ජාතික සතියේ” සිව්වන දිනය වන අද දිනය දරුවන්ගේ නිර්මාණශීලීත්වය, ස්වාධීන චින්තනය සහ විශ්ලේෂණාත්මක හැකියාවන් වර්ධනය කිරීම සඳහා වූ නවෝත්පාදන වැඩසටහන් වෙනුවෙන් වෙන් කර තිබේ.

ඒ අනුව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය, පරිවාස හා ළමාරක්ෂණ සේවා දෙපාර්තමේන්තුව සහ ඇට්ලස් පුද්ගලික සමාගම, ජාතික නව්‍යකරණ නියෝජිතායතනය සමඟ එක්ව සංවිධානය කළ විශේෂ නවෝත්පාදන වැඩසටහනක් අද (28) පෙරවරුවේ කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

මෙම අවස්ථාවට කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය නාමල් සුදර්ශන මහතා, කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ ලේකම්තුමිය, කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ කුලියාපිටිය ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති මේජර් ජෙනරාල් චන්දන සූරියබණ්ඩාර මහතා, වයඹ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂතුමා, කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පතිතුමා, ආරාධිත පාසල්වල ගුරුවරුන් හා සිසු සිසුවියන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් විශාල පිරිසක් සහභාගී වූහ.

“අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනගී” යන කුමාරතුංග මුනිදාසයන්ගේ ප්‍රකට කියමන සිහිපත් කරමින් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, රටක අනාගතය ගොඩනැගෙන්නේ නව අදහස් ඇති, ප්‍රශ්න කිරීමටත්, අත්හදා බැලීමටත්, අසාර්ථකත්වයෙන් ඉගෙන ගැනීමටත් හැකි දරුවන් බිහිකිරීම තුළින් බවයි.

නියෝජ්‍ය අමාත්‍යවරයා සිය අදහස් දැක්වීම ආරම්භ කළේ ලෝකයේ ජනප්‍රිය අයිස් රසකැවිල්ලක් වන Popsicle නිර්මාණය වූ ආකාරය පිළිබඳ කතාවක් ඉදිරිපත් කරමිනි. 1905දී වයස අවුරුදු 11ක් වූ Frank Epperson විසින් පානයක් සකස් කර එහි කලවම් කිරීමේ කූරද සමඟ එය පිටත තැබීමෙන් පසු, එය රාත්‍රියේදී කැටි වී කූර වටා අයිස් ගුලියක් බවට පත්වූ බවත්, එම අහඹු සිදුවීම පිළිබඳ ඔහු තුළ ඇති වූ කුතුහලය පසුව වාණිජ නිෂ්පාදනයක් දක්වා වර්ධනය වූ බවත් සඳහන් කළේය. 
මෙම කතාවේ සැබෑ පාඩම Popsicle නිෂ්පාදනය නොව, දරුවෙකු තුළ ඇති කුතුහලය සහ වෙනස් ආකාරයකින් සිතීමේ හැකියාව බව නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය.

“අපි දරුවන්ට නිතරම කියන්නේ හරි පිළිතුර දෙන්න කියලා. නමුත් නවෝත්පාදනය ආරම්භ වන්නේ ‘තවත් වෙනත් පිළිතුරක් තියෙන්න පුළුවන්ද?’ කියන ප්‍රශ්නයෙන්.”යනුවෙන් ඔහු පැවසීය.

නිර්මාණශීලීත්වය යනු චිත්‍ර ඇඳීම, කවි, කෙටිකතා හෝ නවකතා නිර්මාණය කිරීම පමණක් නොවන බවත්, තමන් අවට ඇති ගැටලුවක් වෙනස් ආකාරයකින් දැක එයට විසඳුමක් සෙවීමද නිර්මාණශීලීත්වයේ කොටසක් බවත් ඔහු පෙන්වා දුන්නේය.

“පාසලේ ජලය මෙතරම් අපතේ යන්නේ ඇයි?”, “වැසි ජලය එකතු කර පාසලේ වගාවට භාවිත කළ නොහැකිද?”, “පාසලේ විදුලි බිල අඩු කරන්නේ කෙසේද?” වැනි ප්‍රශ්න දරුවන් තුළ ඇතිවීමම නවෝත්පාදන චින්තනයේ ආරම්භයක් බවද ඔහු පැහැදිලි කළේය.
එමෙන්ම ස්වාධීන චින්තනය පිළිබඳ අවධානය යොමු කරමින්, “හැමෝම මෙහෙම කරනවා” යන පිළිතුරෙන් නතර නොවී, “ඇයි හැමෝම මෙහෙම කරන්නේ?” යන ප්‍රශ්නය ඇසීමට දරුවන් හුරු කළ යුතු බවද ඔහු පැවසීය.

අදහසක් ඇතිවීමෙන් පමණක් නවෝත්පාදනයක් සම්පූර්ණ නොවන බවත්, එම අදහස ක්‍රියාත්මක වන්නේද, එය වැඩිදියුණු කළ හැක්කේ කෙසේද, එහි වියදම කුමක්ද සහ පරිසරයට ඇති බලපෑම කුමක්ද යන්න විමසා බැලීම සඳහා විශ්ලේෂණාත්මක චින්තනයද දරුවන් තුළ වර්ධනය කළ යුතු බව නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය.

ඒ අනුව නවෝත්පාදනයේ ගමන්මඟ “කුතුහලය නිර්මාණශීලී අදහස ස්වාධීන චින්තනය විශ්ලේෂණය අත්හදා බැලීම නවෝත්පාදනය” ලෙස හඳුනාගත හැකි බවද ඔහු පෙන්වා දුන්නේය.

නියෝජ්‍ය අමාත්‍යවරයා තවදුරටත් පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාවේ දරුවන් තුළද නව නිපැයුම් සහ නිර්මාණශීලී හැකියාවන් වර්ධනය කිරීමට අවශ්‍ය හැකියාව පවතින බවත්, එම හැකියාවන් ප්‍රදර්ශනය කිරීමට හා අත්හදා බැලීමට අවස්ථා නිර්මාණය කිරීම අධ්‍යාපන පද්ධතියේ මෙන්ම වැඩිහිටි සමාජයේද වගකීමක් බවත්ය.

“ “අපි ඔබට ලබා දෙන්නේ සූදානම් කළ ලෝකයක් පමණක් නොවෙයි. ඔබට අලුත් ලෝකයක් නිර්මාණය කිරීමට අවස්ථාවක් ලබාදිය යුතුයි. අද මේ ශාලාවේ පාසල් නිල ඇඳුම ඇඳගෙන ඉන්න දරුවෙකු හෙට ලෝකය වෙනස් කරන නවෝත්පාදකයෙකු විය හැකියි.” යනුවෙන් නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය.

නොමියෙන ඒ සිනහවට වසර 50යි... Read Previous

නොමියෙන ඒ සිනහවට වසර 50යි...

වාන් දොරටු යළි විවෘත කරයි - වැඩි වන වර්ෂාව ගැන අවදානයෙන් ඉන්න Read Next

වාන් දොරටු යළි විවෘත කරයි - වැඩි වන වර්ෂාව ගැන අවදානයෙන් ඉන්න

Realted Post

Leave a comment