ආලින්දයේ සිනමාවට එක්වූ විශ්වීය ආදරයේ මිහිරිතම සත්සර සිහිනය: ’’ඇත්තමයි මං ඔයාට ආදරෙයි’’

මෙරට ටෙලි නාට්‍ය ප්‍රේක්ෂකාගාරය සිය රූපක පරිකල්පනයෙන් වසඟයට ගත් ධනුෂ්ක රත්නායක, නැවතත් ආලින්දයේ ප්‍රේක්ෂකයා සොයා පැමිණ තිබේ. "මෞනයාගය" හරහා අධ්‍යක්ෂවරයෙකු ලෙස සිය ගමන ඇරඹූ ඔහු, ඉන් අනතුරුව "චෙස්", "හේලී", "දාම්", "කියා දෙන්න ආදරේ තරම්", "සිත ළඟ හිනහුනා", "මන්දාරම් කතාවේ" සහ "SEE YOU" වැනි අතිශය ජනප්‍රිය නිර්මාණ රැසක් දායාද කළ ප්‍රවීණයෙකි. ඔහුගේ අලුත්ම ආදර සලකුණ වන්නේ "ඇත්තමයි මං ඔයාට ආදරෙයි" ටෙලි නිර්මාණයයි.

පසුගිය 11 වන දින සිට සෑම සතියේ දිනකම රාත්‍රී 9 ට හිරු රූපවාහිනී නාලිකාව ඔස්සේ විකාශනය වන මෙම නිර්මාණය, ආරම්භයේදීම ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර දිනාගැනීමට සමත් වී ඇත. මෙය හුදෙක් ආදර කතාවක්ම පමණක් නොව, සංගීතය, සටන්, නැටුම්, ගැයුම් සහ කුතුහලය පිරි ආකර්ෂණීය කතා පුවතක් වටා ගෙතුණු සිනමාත්මක අත්දැකීමකි. දිවයිනේ අතිශය රමණීය දර්ශන තලයන්හි රූපගත කර ඇති මෙම ටෙලි නාට්‍යය, ප්‍රේක්ෂකයාට නවමු දෘශ්‍ය අත්දැකීමක් ලබා දෙයි.

මෙම නිර්මාණය හරහා දක්ෂ යොවුන් රංගන ශිල්පියෙකු ලෙස සාරත බණ්ඩාර පුංචි තිරයට හඳුන්වා දෙන අතර, ප්‍රතිභාපූර්ණ සංගීත අධ්‍යක්ෂවරයෙකු ලෙස ඩිල්ෂාන් එල් සිල්වා ක්ෂේත්‍රයට පියවර තබයි. ප්‍රධාන භූමිකාව රඟපාන සාරත බණ්ඩාර සමඟින් සුහන්දි වෝසදි, නිමේෂ් එදිරිසිංහ, ශෙනායා වැන්හොෆ් ඇතුළු යොවුන් පරපුරේ නළු නිළියන් රැසක් මෙන්ම ගයාන් වික්‍රමතිලක, හිමාලි සයුරංගි, කිංග් රත්නම් සහ සංජීව දිසානායක වැනි ප්‍රවීණ තරු රැසකගේ රංගනයෙන් මෙම ටෙලි නාට්‍යය වර්ණවත් වේ.

"ඇත්තමයි මං ඔයාට ආදරෙයි" නිර්මාණයේ පසුබිම් ශිල්පීන් ද විශිෂ්ට දායකත්වයක් ලබා දී ඇත. අශෝක් ෆිල්ම්ස් වෙනුවෙන් අශෝක් ජයකොඩි නිෂ්පාදනය කළ මෙහි තිර රචනය ලක්ෂාන් වත්තුහේවාගෙනි. නිමල් කරුණාතිලක සහ ඉරුෂ්ක බෝගොඩගේ කැමරාකරණයත්, තිවංක දිල්ශාන් සහ දිල්කි උරේෂාගේ මියුරු ගායනයත් මෙයට අපූරු ජීවයක් එක් කරයි. තරුණ හදවත් වල ආදර විලාපය සත්සරයකට පෙරළන මෙම "සංගීතමය ටෙලි මාලාව" මේ දිනවල රාත්‍රී 9 ට ඔබේ නිවසේ ආලින්දයට සිනමාත්මක ආලෝකයක් රැගෙන එනු නොඅනුමානය.

I Will Always Love You ඩොලී පාර්ටන් Read Previous

I Will Always Love You ඩොලී පාර්ටන්

Janashakthi Financeහි ප්‍රධාන මූල්‍ය නිලධාරිනි පුටුව ඉවෝන් බ්‍රෝහියර් Read Next

Janashakthi Financeහි ප්‍රධාන මූල්‍ය නිලධාරිනි පුටුව ඉවෝන් බ්‍රෝහියර්

Realted Post

Leave a comment