කෝටිපතියෙක් වෙන්න රටින් යන්නම ඕනෙද?

“මේ රටේ ඉඳලා නම් දැන් වැඩක් නෑ. අපි මේ රටින් යන්නම ඕනේ.”

ජීවිතයේ යම් අවස්ථාවකදී මේ සිතුවිල්ල ඔබේ සිතටත් ඇවිත් ඇති. සමහරවිට එක වරක් දෙවරක් නොවෙයි, අනන්ත වාරයක් ඔබට එහෙම හිතිලා ඇති.

රටේ පවතින ආර්ථික තත්ත්වය, රැකියා අවස්ථා, ජීවන වියදම හෝ අනාගතය පිළිබඳ ඇතිවන අවිනිශ්චිතතාව නිසා විදේශගත වීම තමන්ගේ සියලු ප්‍රශ්නවලට විසඳුමක් ලෙස පෙනෙන්න පුළුවන්.

නමුත් ඇත්තටම කතාව එතැනින් අවසන් වෙන්නේ නැහැ. අපේ රටේ ඉඳලාම සාර්ථක වී කෝටිපතියන් බවට පත්වූ ව්‍යාපාරිකයන් ඕනෑ තරම් සිටිනවා. එසේ නම්, ඔවුන් සාර්ථක වුණේ කොහොමද?

ව්‍යාපාර පුහුණු උපදේශක නුදිත රණවක මහතා පෙන්වා දෙන්නේ, රට මාරු කිරීමට පෙර අපි ජීවත් වන පරිසරය සහ අප තුළ ඇති හැකියාවන් හඳුනා ගැනීම ඉතා වැදගත් බවයි.

රටින් යන්න හිතෙන්නේ ඇයි?

“අපේ රටෙන් යන්න ඕනේ” කියලා අපට සිතෙන්නේ බොහෝවිට අපේ ජීවිතයට යම් ප්‍රශ්නයක් පැමිණි නිසයි. නමුත් වෙනත් රටකට ගියා කියලා අපේ සියලු ප්‍රශ්න විසඳෙනවා කියලා සිතීම නිවැරදි නැහැ.

විශේෂයෙන්ම වයස අවුරුදු 35 පමණ පසු වෙනත් රටකට යන්න තීරණය කරන කෙනෙක් තේරුම් ගත යුතු වැදගත් කරුණක් තිබෙනවා. ඒ තමයි, නව රටකදී ජීවිතය නැවතත් අලුතින් ආරම්භ කිරීමට සිදුවීම.

නව පරිසරයකට, නව සමාජයකට, නව වෙළෙඳපොළකට සහ නව ජීවන රටාවකට හැඩගැසීමට සිදුවෙනවා. ඒ නිසා රටින් පිටවීමම සාර්ථකත්වයේ එකම මාර්ගය කියලා සිතනවාට වඩා, අපි සිටින තැන තිබෙන අවස්ථා හඳුනාගැනීම වැදගත්.

එහෙනම් මේ රටේ ඉඳලා ඔවුන් සාර්ථක වුණේ කොහොමද? අපේ රටේ සාර්ථක වූ ව්‍යාපාරිකයන්ටත් අපට තිබෙන මේ රටමයි. මේ භූමිය, මේ මිනිසුන්, මේ ආර්ථික තත්ත්වය සහ මේ වෙළෙඳපොළ ඔවුන්ටත් පොදුයි.

එසේ නම්, ඔවුන් සාර්ථක වීමට හේතුව කුමක්ද?

ඒ සාර්ථකත්වය පිටුපස තිබෙන වැදගත්ම කරුණක් වන්නේ තමන්ව හඳුනා ගැනීම සහ තමන් සිටින ස්ථානය හඳුනා ගැනීමයි. ඔබ ඔබව හඳුනාගත් විට ඔබට කළ හැකි දේ, ඔබේ හැකියාවන් සහ ඔබට වර්ධනය කරගත යුතු දේ තේරුම් ගන්න පුළුවන්. ඒ වගේම ඔබ ජීවත් වන පරිසරය සහ එහි තිබෙන වෙළෙඳපොළ හොඳින් හඳුනාගත්තොත්, මිනිසුන්ට අවශ්‍ය දේ තේරුම් ගන්න පුළුවන්.

මිනිසුන්ට අවශ්‍ය දේ හඳුනාගන්න

සාර්ථක ව්‍යාපාරයක් ආරම්භ කිරීමට පෙර ඔබගෙන් අහන්න ඕනේ සරල ප්‍රශ්නයක් තියෙනවා.

“මිනිසුන්ට අවශ්‍ය මොනවාද?”

ඒ ප්‍රශ්නයට හොඳ පිළිතුරක් සොයාගත හැකි නම්, ව්‍යාපාරික අවස්ථාවක් නිර්මාණය කරගන්න පුළුවන්. වෙළෙඳපොළ ඉල්ලන භාණ්ඩයක් නිෂ්පාදනය කරන්න පුළුවන්. එහෙම නැත්නම් මිනිසුන්ගේ ගැටලුවකට විසඳුමක් ලබා දෙන සේවාවක් ආරම්භ කරන්න පුළුවන්.

මිනිසුන්ගේ අවශ්‍යතාව හඳුනාගෙන, ඔවුන්ට සැබෑ වටිනාකමක් ලබාදෙන නිෂ්පාදනයක් හෝ සේවාවක් ලබාදීමයි සාර්ථක ව්‍යාපාරයක මූලික පදනම. අනුකරණය කළාට සාර්ථකත්වය ලැබෙන්නේ නැහැ

තවත් කෙනෙක් කරන ව්‍යාපාරයක් දැකලා, “මේක මටත් කරන්න පුළුවන්” කියලා හිතලා ඒ ව්‍යාපාරය එලෙසම ආරම්භ කිරීම සාර්ථකත්වයට සහතිකයක් නොවෙයි.

ඔබ වෙනත් රටකදී දැකපු දෙයක්, වෙනත් ප්‍රදේශයක සාර්ථක වූ ව්‍යාපාරයක් හෝ අන්තර්ජාලයෙන් දැකපු අදහසක් ඒ ආකාරයෙන්ම මෙරටට ගෙන ඒමට පෙර මෙරට වෙළෙඳපොළ පිළිබඳව අවබෝධයක් තිබිය යුතුයි.

ව්‍යාපාරයක් කියන්නේ අදහසක් පමණක් නොවෙයි. එය වෙළෙඳපොළ සමඟ ගැළපිය යුතු දෙයක්. ඔබට කැමති දේ සහ වෙළෙඳපොළට අවශ්‍ය දේ එකිනෙකට ගැළපෙන තැන සොයාගන්න පුළුවන් නම්, එතැනින් ශක්තිමත් ව්‍යාපාරයක් ගොඩනගන්න අවස්ථාව ලැබෙනවා.

ලංකාව තවමත් අවස්ථා තිබෙන වෙළෙඳපොළක්

ලංකාවේ ඉතා කෙටි කාලයක් තුළ සාර්ථක වී විශාල ව්‍යාපාර ගොඩනගාගත් ව්‍යාපාරිකයන් ගැන සොයා බැලුවොත්, ඒ සඳහා උදාහරණ ඕනෑ තරම් හමුවෙනවා. ඒ සඳහා අන්තර්ජාලය, YouTube, Facebook වැනි මාධ්‍ය ඔස්සේ තොරතුරු සොයා බලන්න පුළුවන්.

නමුත් ඔබට ඒ තරම් දුර යන්නත් අවශ්‍ය නැහැ.

දවසක කොළඹ නගරයේ සිට හයිලෙවල් පාර ඔස්සේ ගමන් කර බලන්න. පාර දෙපස තිබෙන ගොඩනැගිලි, ව්‍යාපාරික ස්ථාන, වෙළෙඳසැල් සහ සේවා ආයතන දිහා අවධානයෙන් බලන්න. ඔබ දිනපතා දකින, අසන සහ අත්විඳින මේ ව්‍යාපාර සියල්ල පිටුපස තියෙන්නේ කිසියම් අවශ්‍යතාවක් හඳුනාගත් කෙනෙක්.

ඒ නිසා ලංකාවේ අවස්ථා නැහැ කියනවාට වඩා, අපි අවස්ථා දකින්නේ නැතිද කියලා සිතීම වැදගත්. කෝටිපතියෙක් වීම සඳහා අනිවාර්යයෙන්ම රටින් පිටවිය යුතු නැහැ. අවශ්‍ය වන්නේ ඔබ සිටින වෙළෙඳපොළ හොඳින් අවබෝධ කරගෙන, මිනිසුන්ට අවශ්‍ය දේ හඳුනාගෙන, ඒ සඳහා වටිනා විසඳුමක් ලබාදීමයි.

සාර්ථකත්වයේ කෙටිම මාර්ගය සමහරවිට තියෙන්නේ අපි යන්න හිතන රටේ නොවෙයි. අපි දැනටමත් ඉන්න තැනමයි. අපි කළ යුත්තේ රට වෙනස් කිරීමට පෙර, අපේ දැක්ම වෙනස් කර අවස්ථා හඳුනාගැනීමයි.

Janashakthi Financeහි ප්‍රධාන මූල්‍ය නිලධාරිනි පුටුව ඉවෝන් බ්‍රෝහියර් Read Previous

Janashakthi Financeහි ප්‍රධාන මූල්‍ය නිලධාරිනි පුටුව ඉවෝන් බ්‍රෝහියර්

I Will Always Love You ඩොලී පාර්ටන් Read Next

I Will Always Love You ඩොලී පාර්ටන්

Realted Post

Leave a comment