මහනුවර ඇසළ පෙරහැරට තෙගුණයකින් වැඩි කළ ආරක්ෂාව

මහනුවර ඓතිහාසික ඇසළ මහා පෙරහැරේ තෙවන කුඹල් පෙරහැර අද (20) රාත්‍රී 6.53ට උතුරු දිශාභිමුඛව වීථි සංචාරය ආරම්භ කිරීමට නියමිතය. පෙරහැර දළදා වීදිය, ඩී.එස්. සේනානායක වීදිය, කොළඹ වීදිය සහ ඊ.එල්. සේනානායක වීදිය ඔස්සේ ගමන් කර රජ වීදියෙන් ඉහළට පැමිණ ශ්‍රී දළදා මාළිගාවට ගෙවදීමට නියමිත බව පෙරහැර සංවිධායකයෝ සඳහන් කරති.

තෙවන කුඹල් පෙරහැර නැරඹීම සඳහා දෙස් විදෙස් විශාල ජනකායක් මහනුවර නගරයට පැමිණෙමින් සිටින අතර, ජනතාවගේ ආරක්ෂාව මෙන්ම පෙරහැරේ ගමන් ගන්නා අලි ඇතුන්ගේ ආරක්ෂාවද සැලකිල්ලට ගනිමින් මෙවර විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබේ.

මහනුවර ඇසළ පෙරහැර වීථි සංචාරය කරන අවස්ථාවේදී අධික ශබ්ද නගන නළා, අධික ආලෝක ධාරා විහිදුවන සෙන්සර් විදුලි පහන් සහ ජංගම දුරකතනවල කැමරා ෆ්ලෑෂ් ආලෝක භාවිත නොකරන ලෙස පොලීසිය සහ පෙරහැර ආරක්ෂක අංශ ජනතාවගෙන් ඉල්ලා සිටී.

විශේෂයෙන්ම පෙරහැර ගමන් කරන අවස්ථාවලදී පෙරහැර මාර්ගය හරහා අනාරක්ෂිතව ගමන් කිරීමෙන් වළකින ලෙසත්, පෙරහැරේ ගමන් කරන අලි ඇතුන් වෙත මාර්ගයේදී ආහාර හෝ පලතුරු ලබාදීම සම්පූර්ණයෙන්ම තහනම් බවත් පොලීසිය අවධාරණය කරයි.

එමෙන්ම පෙරහැරේ ගමන් කරන නර්තන ශිල්පීන්ට උසුළු විසුළු කිරීම, විසිල් ගැසීම හෝ ඔවුන්ගේ අවධානයට බාධා වන ආකාරයෙන් හැසිරීමෙන් වළකින ලෙසද පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටී. රාත්‍රී කාලයේ අලි ඇතුන් වෙත සෙන්සර් ලයිට් හෝ වෙනත් තීව්‍ර විදුලි ආලෝක ධාරා එල්ල කරන පුද්ගලයන් සම්බන්ධයෙන් දැඩි පියවර ගැනීමටද ආරක්ෂක අංශ කටයුතු කරනු ඇත.

ආරක්ෂාවට විශේෂ වැඩපිළිවෙළක්

පෙරහැරේ ආරක්ෂාව සඳහා පොලීසියට අමතරව සිවිල් ඇඳුමින් සැරසුණු ත්‍රිවිධ හමුදා සාමාජිකයන්, යුද හමුදා කොමාන්ඩෝ භට කණ්ඩායම් සහ පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් නිල ඇඳුමින් මෙන්ම සිවිල් ඇඳුමින්ද රාජකාරියට යොදවා තිබේ.

මෙම විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළ මහනුවර ඇසළ පෙරහැර නිමාවන තෙක්ම ක්‍රියාත්මක කිරීමට නියමිත බව මහනුවර පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

අලි ඇතුන්ගේ හදිසි සෞඛ්‍ය අවශ්‍යතා සඳහා නිර්වින්දන ඒකක කිහිපයකින් සමන්විත විශේෂ පශු වෛද්‍ය කණ්ඩායම්ද පෙරහැර ගමන් මාර්ගයේ ස්ථාන කිහිපයක මෙන්ම මහනුවර නගරයේ තෝරාගත් ස්ථාන කිහිපයක ස්ථානගත කර තිබේ.

ජනරාජාට වසර 25කට පසු යළිත් විශේෂ අවස්ථාවක්

මේ අතර ඊයේ (19) පැවැති දෙවන කුඹල් පෙරහැරේදී වසර 25කට පසුව ඓතිහාසික පෙරහැරේ සධාතුක කරඬුව වැඩම කරවීමේ ගෞරවය ජනරාජා මංගල හස්තියාට හිමිවීමද මෙවර ඇසළ පෙරහැරේ විශේෂ සිදුවීමක් විය.

දෑලේ ඇතුන් ලෙස මියන්රාජා සහ සිංහරාජා යන හස්තීන් සමඟ ජනරාජා මංගල හස්තියා පෙරහැරේ ගමන් කළේ මහනුවර ඇසළ පෙරහැරේ අතීත මතකයන් යළි අවදි කරමිනි.

1987 වසරේ එවකට ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා විසින් හිටපු දියවඩන නිළමේ නෙරංජන් විජයරත්න මහතාගේ ඉල්ලීම පරිදි ශ්‍රී දළදා මාළිගාවට පූජා කළ ජනරාජා හස්තියාට මෙලෙස වසර විසිපහකට පසුව යළි සධාතුක කරඬුව වැඩම කිරීමේ අවස්ථාව හිමිවීම පෙරහැර ඉතිහාසයේ සුවිශේෂී අවස්ථාවක් ලෙස සැලකේ.

මහනුවරට එක්වන දෙස් විදෙස් ජනකාය

ඇසළ පෙරහැර නැරඹීම සඳහා මෙවරද මහනුවරට විශාල ජනකායක් එක්ව සිටින අතර, විදෙස් සංචාරකයන්ගේ සහභාගීත්වයද කැපී පෙනෙන මට්ටමක පවතී.

පෙරහැර නැරඹීම සඳහා වෙන්කර ඇති ආසන සඳහා අධික මුදල් ගෙවීමෙන් වැළකී, ඇතැම් විදෙස් සංචාරකයන් පදික වේදිකාවල බිම වාඩි වී ශ්‍රී ලංකාවේ මෙම සුවිශේෂී සංස්කෘතික මංගල්‍යය නැරඹීමට එක්ව සිටින අයුරුද දැකගත හැකි විය.

ඊයේ දෙවන කුඹල් පෙරහැර පැවැත්වීමට පෙරද මහනුවර නගරය ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබූ අතර, පොලිස් විශේෂ කාර්ය බළකාය සහ යුද හමුදා කොමාන්ඩෝ බළකායේ නිලධාරීන්ද ආරක්ෂාව සඳහා යොදවා තිබිණි.

දෙවන කුඹල් පෙරහැරේදී වැඩිම ජනතාවක් එක්රැස් වූයේ ශ්‍රී දළදා මාළිගාව ආසන්න ප්‍රදේශයේ සිට වැව රවුම ඔස්සේ රැජිණ හෝටලය ආසන්න ප්‍රදේශය දක්වා බවද ආරක්ෂක අංශ සඳහන් කළේය.

මහනුවර ඇසළ පෙරහැරේ පළමු කුඹල් පෙරහැර ආරම්භ කරමින් ශ්‍රී දළදා මාළිගාවේ සිට පෙරහැර කරඬුව වැඩම කළ ඉන්දිරාජා මංගල හස්තියා සඳගලට පා තබමින් ගමන් කළ අයුරුද පෙරහැරේ අසිරිමත් අවස්ථාවක් බවට පත්විය.

අද පැවැත්වෙන තෙවන කුඹල් පෙරහැර සමඟින් මහනුවර නගරයේ ජනගඟ තවදුරටත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර, පෙරහැරේ අසිරිය විඳින අතරතුර ආරක්ෂක අංශ ලබාදී ඇති උපදෙස් පිළිපදිමින් සංවරව හා වගකීමෙන් කටයුතු කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී.

ජේ.ඒ.එල්. ජයසිංහ

එල්නිනෝවලට මුහුණ දෙන්න වැඩක් Read Previous

එල්නිනෝවලට මුහුණ දෙන්න වැඩක්

ගෑනු පිරිමි මල් පලතුරු Read Next

ගෑනු පිරිමි මල් පලතුරු

Realted Post

Leave a comment