කාන්තාව සතර බ්‍රහ්ම විවරණ වලින් යුක්ත විය යුතුයි

ලංකාවට බුදු දහම දායාද වී බොහෝ කල් ගෙවී ගොස්ය. අදවන් දිනයක සිදු වූ ඒ මහඟු දායාදය නොවන්නට අදටත් ගස් ගල් වන්දනාවේ නිරත පිරිසක් ඉතිරි වන්නට තිබුණි.

එසේ නොවී තිලෝගුරු ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ නිමල දහමින් සුපෝෂණය වන්නට මෙරට ජනයාට වරම් හිමිවිය.ඒ අදවන් පොසොන් පොහෝ දිනයක ය.ඒ නිසාවෙන් සිරිකත Online අපි මෙවර පොසොන් උදාවට බද්දේගම මීමැඩුම සුභාෂිතාරාමයේ ආරාමාධිපතිනී නෙළුවේ උප්පලවන්නා මෙහෙණින් වහන්සේ සමඟ සිදු කළ සාකච්ඡාවයි මේ.

 

පොසොන් පොහොය කාන්තාවට වැඳගත් වන්නේ ඇයි?

මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩමවීම තමයි මෙයට මූලිකම හේතුව වන්නේ. ධර්මාශෝක රජුගේ සහ දෙවනපෑතිස් රජුගේ මිත්‍රත්වයේ ප්‍රතිඵලයක් විදියට ධර්මාශෝක රජතුමා විසින් තම පුතා වුණ මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරවනවා. ලංකාවේ මුලින්ම සෝවාන් ඵලයට පත්වුණේ ද කාන්තාවක්. ඒ දෙවන පෑතිස් රජුගේ සහෝදරයාගේ බිරිඳ වුණ අනුලා බිසවයි. ඒත් එක්කම මාර්ගඵල ලැබුණත් කාන්තාවට පැවිදි වීමේ අවස්ථාව මිහිඳු මහා රහතන් වහන්සේට ලබාදීමට නොහැකි වුණා. ඒ නිසාවෙන් සංඝමිත්තා තෙරණිය ලංකාවට වැඩම කළා. ඉන්පසුව අනුලා බිසව ප්‍රධාන කාන්තාවන් 500ක් පැවැදිව උපසම්පදා වී භික්ෂුණී ශාසනය ආරම්භ වුණා. බුද්ධ ශාසනය ලංකාවට ලැබුන දවස වශයෙන් වගේම කාන්තාවට වැදගත් වන්නා වූ දුමින්දාගමනය සිදුවීමට පදනම් වූ දවස ලෙස ද පොසොන් පොහොය සුවිශේෂී වෙනවා.

 

කාන්තාව ජීවිතය දරා ගත යුත්තේ කෙසේද ?

මේ වෙනකොට කාන්තා හිංසනය වැඩිවෙලා තියෙනවා. නිසි අධ්‍යාපනයක් වගේම දහම් අධ්‍යාපනයක් නොලැබීම මේකට හේතුවක් .දරුවොත් එක්ක අපිව මුණගැහෙන්න බොහෝ දෙනෙක් පැමිණෙනවා.ඒ ඉවසල ඉවසල බැරිම තැන. කාන්තාව කියන්නෙ අහිංසක කෙනෙක්. දරුණු අයත් නැතුවම නෙමෙයි.අපි ඉතිං කතාව අහනවා. එයාලට අවශ්‍ය හිත නිවාගන්න.

 

ප්‍රශ්න වලට මුහුණ දෙන්න නම් කාන්තාවක් තුළ තිබිය යුතු ගුණාංග මොනවද ?

අධ්‍යාපනයෙ නොමැතිකම සෑම ප්‍රශ්නයකටම හේතුවෙලා තියෙනවා. ඒ වගේම පවුල්වල ප්‍රශ්නත් මේකට හේතුවක්.දරුවන් හැදෙන නිසා හදනවා. නිසි අධ්‍යාපනයක් ලබා දෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ.දෙමව්පියන්ටත් අධ්‍යාපනයක් නොමැති නිසා දරුවන්ට අවවාදයක් ලබාදීමේ හැකියාවක් නැහැ.සමහර අවස්ථාවලදී කාන්තාව පිරිමි කෙනාව ගණන් ගන්නෙ නැහැ. මම ගොඩක් වෙලාවට දැකලා තියෙන දෙයක් තමයි එහෙම අවස්ථාවලදී පිරිමි කෙනා මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙනවා.

 

කාන්තාවකට නිරන්තරයෙන් කේන්ති යාම සුදුසු දෙයක් ද?

කේන්ති ගැනීම කියන්නේ මෝඩකම. බුදු දහමට අනුව බුද්ධ චරිතය බුදුන් වහන්සේගේ හැසිරීම් දකිද්දී අපිට හැදෙන්න පුළුවන් .බුදුහාමුදුරුවෝ කොතනකවත් ඔරවල රවලා බලලා නැහැ. බුදුන් වහන්සේ මහා කාරුණිකයි.කේන්ති යන්න හේතු තියෙනවා. කාන්තාව නිතරම ඉවසීම පුරුදු කළ යුතුයි. කේන්ති යනවා නම් එතැනින් ඉවත් වීම තමයි වඩාත්ම සුදුසු.

 

හොඳ භාර්යාවක් නම් කෙසේ විය යුතු ද ?

ඉවසීම තිබිය යුතුමයි. ඉවසීම නැති වුණොත් වැනසීම තමයි වෙන්නේ . ධෛර්යය, එකමුතුකම වගේම උනන්දුව විශේෂයෙන්ම තිබිය යුතුයි. ගැහැනු පිරිමි කියලා භේදයක් නැහැ ඒ දේවල් තියෙනවා නම් ජයග්‍රහණය කළ නොහැකි දෙයක් නැහැ. තව දෙයක් තමයි කාන්තාවක් නැහැ බැහැ කියන වචන භාවිත නොකළ යුතුයි.

 

ප්‍රේම සම්බන්ධතාවයන් නිසා බොහෝ තරුණියන් ජීවිතය වරද්දා ගන්නවා එසේ නොවන්නට කළ යුත්තේ කුමක්ද?

නූගත්කම, නිවෙසින් ලැබෙන නිදහස,පවුලෙන් ලැබෙන වැරදි ආදර්ශය මෙවැනි දේවල් වලට හේතු වෙලා තියෙනවා. ඒ නිසාවෙන් හොඳම දේ ඉගෙන ගන්න කාලයේදී ඉගෙනීමට මුල්තැන දීමයි. ජංගම දුරකථන කියන දේ ලොකු විනාශයක් වෙලා තියෙනවා. අම්මල තාත්තල සියලු දෙනාම එකතුවෙලා චිත්‍රපට ටෙලිනාට්‍ය නරඹනවා. ඒක නිසා දෙමව්පියන්ටවත් දරුවන්ට උපදෙසක් දෙන්න පුළුවන් කමක් නැහැ. ටියුෂන් පන්තිත් මේකට හේතු වෙලා තියෙනවා. මංගල්‍ය උත්සවයට වඩා කිරි මංගල්‍ය ජයට ගැනීමට පෙළඹීම දරුවන් අනවශ්‍ය ප්‍රේම සම්බන්ධතා වලට පැටලීමට හේතුවක් විදියට දකින්න පුළුවන්. සමහරු කියනවා ඇහිලා තියෙනවා මංගල උත්සවය ගන්න පුළුවන් වෙයිද දන්නෑ ඒක නිසා කිරි මගුල ගමු කියල.ඒකෙන් අදහස් වෙන්නේ පැනලා යනවා කියන එක. ඒ නිසාවෙන් ඒ දේවල් අවශ්‍ය වෙන්නේ නැහැ.

 

වර්තමාන තරුණියන්ට ලබාදෙන්නට තිබෙන්නේ මොන වගේ උපදෙසක් ද?

දරුවන් බිහි කරනවා නම් බිහි කරන්නන් වාලේ බිහි කරන්න එපා. මවක් වෙන්න නම් මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා යන සතර බ්‍රහ්ම විවරණ වලින් යුක්ත වෙන්න.

 

ගාථාවක් තියෙනවා ඔබ අසා ඇති

"අචරිත්‍වා බ්‍රහ්මචරියං

අලද්ධා යොබ්බනෙ ධනං

ඡිණ්ණකොඤ්චාව ඣායන්ති ඛීණ මච්ඡෙව පල්ලලේ."

 

ඉගෙන ගන්න කාලයේ හරියට ඉගෙන ගත්තේ නැත්නම්, යෞවන වයස වෙනකොට හරියට මුදල් උපය ගත්තෙ නැත්නම් මේ ගාථවෙ වගේ අන්තිමට සිද්ධවෙන්නේ දිය හිඳිලා ගිය විලක් ලඟ ඉන්න මහලු කොකෙක් වගේ හූල්ලන්න. ඒක නිසාවෙන් ස්ථානෝචිත ප්‍රඥාවෙන්, බුද්ධියෙන් කටයුතු කිරීම කාන්තාවකට වඩාත් සුදුසු වේ.


සටහන - නෙත්මි තෂාරා

Diamond Excellence Awards 2025 Read Previous

Diamond Excellence Awards 2025

වසරේ සිංහල සමාජ මාධ්‍ය ජාලයට හිමි විශිෂ්ඨතා සම්මානය ලංකාදීප Online සමාජ මාධ්‍ය ජාලයට Read Next

වසරේ සිංහල සමාජ මාධ්‍ය ජාලයට හිමි විශිෂ්ඨතා සම්මානය ලංකාදීප Online සමාජ මාධ්‍ය ජාලයට

Realted Post

Leave a comment