කාන්තාවන්ගේ හෙට දවස, ආර්ථික ස්වාධීනත්වය තුළින් ලබන නිදහස

කාන්තාවකගේ හැටේ සීමාව යනු ජීවිතයේ අවසානය නොව, තමන් වෙනුවෙන්ම වෙන්වුණු නිදහස් නවාතැනක ආරම්භයයි. එහෙත් ඒ නිදහස සැබෑ සුවයක් වන්නට නම්, අනුන් දෙස දෑස් දල්වා නොසිටින 'ආර්ථික ශක්තියක්' ඔබට තිබිය යුතුමයි. හෙට දවසේ සැඳෑ හිරු රැස් මැද  සිනාසෙන්නට නම්, අද ඔබ දැමිය යුතු ශක්තිමත් මුල්‍ය පදනම පිළිබඳවයි මේ කෙටි සටහන..

අද සමාජයේ කාන්තාවකගේ සාමාන්‍ය ආයු කාලය අවුරුදු 80කුත් මාස 6ක් පමණ වේ. එය පිරිමින්ගේ ආයු කාලයට වඩා වැඩිය. මෙයින් පෙනී යන්නේ කාන්තාවන් තමන්ගේ මහලු විය ගැන වඩාත් අවධානයෙන් පසුවිය යුතු බවයි. අනාගත ආර්ථික පීඩනය හමුවේ දරුවන්ගෙන්ම යැපීම සැමවිටම ප්‍රායෝගික නොවිය හැක. එබැවින් වයස 60න් පසු  නිදහසේ ජීවත් වීමට නම් ශක්තිමත් මූල්‍ය පදනමක් තිබීම අත්‍යවශ්‍යය.

ජීවිතයේ අවධි 

අපගේ ජීවිතය වසර 20ක කාල පරාස හතරකට බෙදාගත හැකිය. මුල් වසර 20 දෙමාපියන් මත යැපෙන කාලයයි. නමුත් වයස 21 සිට 40 දක්වා සහ 41 සිට 60 දක්වා කාලය ඔබ සක්‍රීයව ආදායම් උපයන රන්වන් අවධීන් වේ. ඔබ ගෘහණියක් වුවද, රැකියාවක නිරත වුවද මේ කාලය තුළ විශ්‍රාම සැලසුම් සකස් කිරීම ආරම්භ කළ යුතුය. විශේෂයෙන්ම ගෘහණියක් නම්, හදිසියේ හෝ ස්වාමිපුරුෂයා අහිමි වුවහොත් පැන නගින ආර්ථික අර්බුදයට මුහුණ දීමට ස්වාධීන ආදායම් මාර්ගයක් ගැන සිතීම වැදගත්ය.

සැලසුම් කිරීම අරඹන්නේ කෙසේද?

මූල්‍ය සැලසුම්කරණය සංකීර්ණ දෙයක් නොවේ. ඔබ කළ යුත්තේ:
ඔබේ වර්තමාන මාසික ආදායම සහ වියදම ගණනය කිරීම.
ඔබ විශ්‍රාම ගැනීමට බලාපොරොත්තු වන වයස තීරණය කිරීම.
එම වයසෙන් පසු ඔබේ ජීවන රටාව පවත්වා ගැනීමට අවශ්‍ය වන අනාගත වියදම අනුමාන කිරීම.
උදාහරණයක් ලෙස, ඔබ දැන් 45 වියේ පසුවන, රුපියල් 200,000ක ආදායමක් ලබන අයෙක් නම්, තවත් වසර 10කින් (වයස 55දී) විශ්‍රාම යාමට අවශ්‍ය මූලික අරමුදල අද සිටම ක්‍රමිකව ගොඩනැගිය යුතුය.
ආයෝජනය කළ හැකි ප්‍රධාන මාර්ග
විශ්‍රාම කාලයේදී අතමිට සරු වීමට නම් පහත ක්‍රමවේද කෙරෙහි අවධානය යොමු කළ හැකියි.

රක්ෂණය: 

වයසත් සමඟ සෞඛ්‍ය අවදානම් වැඩි වන බැවින්, හැකි ඉක්මනින් සෞඛ්‍ය රක්ෂණයක් ලබා ගැනීම නුවණට හුරුය. එමෙන්ම විශ්‍රාම කාලයේදී ස්ථාවර ආදායමක් ලැබෙන පරිදි ජීවිත රක්ෂණ සැලසුමකට දායක වන්න.
දේපළ සහ කුලී ආදායම්: නගරබද ප්‍රදේශයකින් ඉඩමක් ලබාගෙන වාණිජ ගොඩනැගිල්ලක් ඉදිකර කුලියට දීම හරහා මාසිකව ස්ථාවර ආදායමක් ලබා ගත හැක. එහිදී නඩත්තු කටයුතු සඳහා කුලී ආදායමෙන් කොටසක් වෙන් කිරීමට අමතක නොකරන්න.
විවිධාංගීකරණය කළ ආයෝජන: ඔබේ සියලු මුදල් එකම තැනක නොතබා බැංකු ස්ථාවර තැන්පතු, රන් ආභරණ සහ විශ්වාසවන්ත සමාගම්වල කොටස් වෙළඳපොළ ආයෝජන ලෙස බෙදා වෙන් කරන්න.

දරුවන්ට දිය හැකි වටිනාම තෑග්ග

දෙමාපියන් මූල්‍යමය වශයෙන් ස්වාධීන වීම දරුවන්ට දිය හැකි උතුම්ම දායකත්වයකි. ඔබ දරුවන් මත බරක් නොවී සිටින විට, පවුලේ සබඳතා සහ ගෞරවය තව තවත් තහවුරු වේ. එය ඔබට මානසික නිදහස මෙන්ම සුවදායක විශ්‍රාම ජීවිතයකට මග පාදයි.
අදම ඔබේ ආදායම් වියදම් ලේඛනයක් සකසා, අනාගතය වෙනුවෙන් කුඩා පියවරක් හෝ තබන්න. පූර්ව සූදානම යනු බියෙන් තොර සැඳෑ සමයක රහසයි.

සටහන : විශ්වනී හසලා

උපදෙස් : මානව හැකියා සංවර්ධන සහ ව්‍යාපාර පුහුණු උපදේශක , ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය නුදිත රණවක

Geek Avurudu 2026 උත්කර්ෂවත් අන්දමින් නිමාවෙයි Read Previous

Geek Avurudu 2026 උත්කර්ෂවත් අන්දමින් නිමාවෙයි

දැක්කම හිහ ඇදිලා යන එයාගේ විලාසිතාව බලන්නකෝ Read Next

දැක්කම හිහ ඇදිලා යන එයාගේ විලාසිතාව බලන්නකෝ

Realted Post

Leave a comment