චරිතේ ලොකුද පොඩිද අදාළ නෑ උපරිමයෙන්ම රඟපානවා

 

මෑත කාලයේ කලා ක්ෂේත්‍රයේ නිතර මුණ ගැහෙන අලුත් මුහුණු අතර කෙටි කාලයක් තුළ ටෙලි නාට්‍ය ගණනාවකට රංගනයෙන් දායක වෙමින් කලාවේ විවිධ ඉසව් සොයා යමින් ප්‍රේක්ෂක ආදරය, ආකර්ෂණය දිනාගත් රුවැත්තියක් මෙවර සිරිකත කවරය හැඩ කරනවා.


මේ දිනවල ටෙලි නිර්මාණවලින් හමුවන ඇය ආලෝකා ධනංජනීි. 


 කොහොමද මේ දවස්වල වැඩ කටයුතු? 
පසුගිය කාලේ රටේ මතුවෙලා තිබුණු අර්බුදකාරී වාතාවරණය එක්ක රූපගත කිරීම් පවා නතර වෙලා තිබුණා. තෙල් ප්‍රශ්නය ගොඩක් දරුණුවට බලපෑවා. නතර වෙලා තිබුණු ටෙලි නාට්‍ය දැන් පටන් අරගෙන  තියෙනවා. ලබන මාසේ පටන් ගන්න තවත් අලුත් ටෙලි නාට්‍යයකට ආරාධනා ලැබිලා තියෙනවා. 

 


 රංගනයට ලැබෙන ප්‍රතිචාර කොහොමද? 
ඉහළ ප්‍රතිචාරයක් ලැබෙනවා. මම දායක වෙලා තියෙන චරිත එකිනෙකට වෙනස් නිසා ලැබෙන ප්‍රතිචාරත් චරිතයෙන් චරිතයට වෙනස්. කොළඹ ඉතාලිය නාට්‍යයේ ඊෂාගේ චරිතයට නම් ගොඩක්ම ලැබෙන්නේ බැණුම් තමයි. ඊෂා කියන්නේ කටසැර චරිතයක්.

 


 ආලෝකාට නිළියක් වෙන්න පාර කැපුණෙ කොහොමද? 
පුංචි කාලේ ඉඳලා මම රඟපාන්න හරිම ආසයි. හැබැයි මට ඕනැ වුණේ ප්‍රවෘත්ති නිවේදිකාවක් වෙන්න. කොහොම හරි මට නිළියක් වෙන්න මග පෑදුණා. එතන ඉඳලා ඒ හීනය දිගේ තමයි ටික ටික ඉගෙනගෙන මේ ගමන ආවේ.
මම මේ ගමන පටන් ගත්තේ පුංචි තැනකින්. මට ලැබෙන්නේ පොඩි චරිතයක්ද මට ඕන වුණේ ඒක උපරිමයෙන්ම කරන්න. මගේ දක්ෂතා දැකලා විවිධ නිර්මාණකරුවෝ ඔවුන්ගේ නිර්මාණ සඳහා මාව තෝරගනිද්දි කිසිම වෙලාවක ඒකාකාරී චරිත මට දීලා නැහැ. නවකයෙක් විදිහට ආවට බොහෝ සුවිශේෂී අවස්ථා මට චරිත ඇතුළෙ ලැබිලා තියෙනවා. මාණික්කාවත, ගරුඩ මුහුර්තය මට ලැබුණු ඒ වගේ සුවිශේෂී අවස්ථා.

 


 ඔබේ කලාගමනට අඩිතාලම වැටෙන්නේ සිරස නාලිකාවෙන් නේද? 
ඇත්තටම ඔව්. සිරසේ ෆිල්ම් ස්ටාර් කියලා රියැලිටි තරගයක් තිබුණා. ඒ තරගයට අයදුම් කරන්න කියලා ටීවී එකේ දැන්වීමක් ගියා. ඊට පහුවෙනිදාම මම ෆිල්ම් ස්ටාර් තරගයට අයදුම් කළා. නැටුම්වලට සහ රංගනයට ආස නිසා තමයි ඒකට ඇප්ලිකේෂන් දැම්මේ. ඒකෙන් පස්සේ මුලින්ම සිරස නාළිකාවෙම වෙළඳ දැන්වීමකට පෙනී ඉන්න අවස්ථාව ලැබුණා. ඊට පස්සේ වැඩ ලැබුණෙම නැහැ. ඒ කාලේ අපිට වැඩ දෙන්න කවුරුත් හිටියෙ නෑනේ. තිර පරීක්ෂණවලට සෑහෙන්න ගියා. මුලින්ම කළේ පොඩි චරිත. මට මහා ලොකු චරිත එකපාරට හම්බවුණේ නැහැ. මට ලැබෙන පොඩි චරිත වුණත් මම වුවමනාවෙන් කරපු නිසා ගොඩක් අධ්‍යක්ෂවරු මට හොඳ චරිතවලට අවස්ථා දීලා තියෙනවා. 
මගේ හිතට දැනුණු චරිතයක් තමයි ගරුඬ මුහුර්තය නිර්මාණයේ බිළිඳිගේ චරිතය. ඒ චරිතය වෙනුවෙන් මම මගේ බාහිර ස්වරූපය පවා වෙනස් කරගන්න මහන්සි වුණා.

 


 මාණික්කාවත ආලෝකාට වෙනස් හැඩයක් ගෙන දුන් තවත් නිර්මාණයක්. කොහොමද ඒ අවස්ථාව ලැබෙන්නේ? 
සුදත් රෝහණ වගේ අධ්‍යක්ෂවරයකුගේ නිර්මාණයකට දායක වෙන්න මට ලොකු ආසාවක් තිබුණා. ඒ අවස්ථාව මේ තරම් ඉක්මනට ලැබේවි කියලා හිතුවේ නැහැ. මුලින්ම මාණික්කාවත නරඹද්දි මටත් ඒකේ රඟපාන්න තිබුණා නම් කියල හිතුන වාර අනන්තයි. ඒ අතරේ තමයි ඉදිරියට එන චරිතයකට මට ආරාධනා කළේ. විශේෂයෙන් ඒ අවස්ථාව මට ලබලා දුන්න ජගත් චමිල සහ චමින්ද අයියලාට ස්තුති කරනවා. සුදත් රෝහණ මහතාවත් ගෞරවයෙන් සිහිපත් කරනවා. 

 


 ආලෝකා වැඩිපුරම ප්‍රිය කරන්නේ ග්‍රාමීය චරිතවලටද? 
ඇත්තටම මම කැමති නැහැ ගොඩක් මේකප් දාගෙන ඉන්න චරිතවලට.

 

 


 අලුත් නිළියන්ට තියෙන ටික්ටොක් පිස්සුව ආලෝකාට නැද්ද? 
අපෝ නෑ. ඇත්තටම මම ටික්ටොක් සමාජ මාධ්‍යයේ නැහැ.

 


 පවුලේ තොරතුරු ටිකකුත් කියමු 
මගේ ගම මාවනැල්ලේ. මම පාසල් ගියේ බැද්දෙවෙල මැදි විදුහලට. පවුලේ ඉන්නේ අම්මායි, තාත්තයි, අක්කයි, මමයි. අම්මා සේවය කරන්නේ විදේශ රටක. මුලදි නම් මම කලාවට එනවට තාත්තා කැමති වුණේම නැහැ. තාත්තා කැමති වුණේ මම ගුරු වෘත්තියට පිවිසෙනවට. අම්මාත් ලංකාවේ නැති නිසා තාත්තා තමයි මගේ හෙවනැල්ල වගේ මගේ පස්සෙන් හිටියේ.

 


 පහුගිය දවස්වල ආලෝකා විවාහ ගිවිසගත්තා කියලා ආරංචියි? 
ඔව් මම විවාහ ගිවිස ගත්තා. ඔහුත් කලා ක්ෂේත්‍රයටම සම්බන්ධ කෙනෙක්. නැටුම් ශිල්පියෙක්. ඔහු නාමල්. මේක දිග ආදර කතාවක අවසානයක්.  

නදීශා අතුකෝරළ
ඡායාරූප සජීව ලක්ෂාන්


 

ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමාල් රාජපක්ෂ මහතාගෙන් කාන්තා දිනයට පණිවිඩයක්. Read Previous

ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමාල් රාජපක්ෂ මහතාගෙන් කාන්තා දිනයට පණිවිඩයක්.

අම්මලා හරි ආසයි දුව ක්‍රවුන් එකක් ගන්නවාට. එත් තරඟවලට යවන්න බයයි. Read Next

අම්මලා හරි ආසයි දුව ක්‍රවුන් එකක් ගන්නවාට. එත් තරඟවලට යවන්න බයයි.

Realted Post

Leave a comment