ජීවිතේ අමාරුම තීරණය ගත්තේ දරුවා වෙනුවෙන්

 

හසිනි සැමුවෙල් කියන්නේ කාලයක් බොහෝදෙනා අතර වැඩි කතාබහට ලක්වුණු නිරූපණ ක්ෂේත්‍රයේ නැතුවම බැරිවුණු ජනප්‍රිය නිරූපණ ශිල්පිනියක්. ප්‍රසිද්ධ රැප් ගායකයෙකු වන ෆිල්ටි සමග විවාහ වූ ඇය විවාහයත් එක්කම නිහඬ වුණත් ගොසිප් මැවීමෙන් නම් අඩුවක් වුණේ නැහැ.


මේ වෙද්දී පුංචි පුතෙකු සමග තනියම දිවි ගෙවන හසිනි නැවතත් සුපුරුදු නිරූපණ කටයුතු එක්ක නිතර දකින්නට ලැබෙනවා. මේ ඇය සමග කළ සොඳුරු කතාබහකි මේ.

 


 ඉතිං කොහොමද ජීවිතේ? 
මේ දවස්වල නම් ටිකක් කාර්යබහුලයි. කොහොම වුණත් සතුටින් ජීවිතේ ගෙවනවා.

 


 හසිනි කරළියට එන්නේ බොහොම කාලෙකට පස්සේ. ඇත්තටම මොකද වුණේ? 
මම විවාහයත් එක්ක නිරූපණ ක්ෂේත්‍රයේ වැඩ කරන එක නතර කළේ නෑ. පුතා ලැබුණට පස්සෙත් ටික කාලයක් මට වැඩවලින් ඈත්වෙන්න සිද්ධ වුණා. පුතා වෙනුවෙන් මම ඒ කැපකිරීම කළා. හැබැයි මම නිරූපණ ක්ෂේත්‍රයෙන් අයින් වුණේ නෑ.

 


 කොහොමද පුතා එක්ක ගෙවන ජීවිතේ? 
මම විවාහයෙන් අයින් වෙනකොට පුතාට අවුරුද්දක්වත් නෑ. මම විශ්වාස කරන විදියට ජීවිතේ කියන්නේ අභියෝගයක්. ජීවිතේ එක තැනකදී ජීවිතේ ගන්න අමාරුම තීරණය ගන්න වුණේ මගේ දරුවාට හොඳ අනාගතයක් දෙන්න ඕනෑ නිසයි. තනිවීම ගැන දුකක් නැත්තේ නැහැ. හිත හදාගත්තේ බොහොම අමාරුවෙන්. නමුත් ජීවිතේ හැමදේම වෙන්නේ හොඳට කියලා හිත හදාගෙන ඉන්නවා. මේ ලෝකේ කිසිම ගැහැනියක් වෙන්වෙන්න කැමැති නැහැ. දරුවෝ, සැමියා එක්ක සතුටින් පවුල් ජීවිතයක් ගත කරන්න තමයි ඕනෑම ගැහැනියක් කැමති. මාත් ඒ හීනේම දැකපු කෙනෙක්. පුතා එක්ක ගෙවන ජීවිතේ දැන් මම සතුටින් ගෙවනවා. මම දැන් ජීවත් වෙන්නේ මගේ මවුපියන් එක්ක.

 


 හසිනිගේ නිරූපණ ගමනේ ආරම්භය ගැන කතා කළොත් 
මම මුලින්ම රඟපෑවේ බැංකුවක් සඳහා කළ වෙළඳ දැන්වීමක. ඉන්පසු නිරූපණ පැත්තට එන්න කැමැත්තක් ඇති වුණා. 2017 මිස් ටුවරිසම් පැජෙන්ට් එක හරහා නිරූපණ ක්ෂේත්‍රයට එනවා. ඒ පැජෙන්ට් එකේ second runner up මච වුණා. ජයග්‍රහණය කළේ නැහැ කියලා මම අතඇරියේ නැහැ. ජාත්‍යන්තර නිරූපණ තරගයකට යන්න ඕනෑ කියන අරමුණේම හිටියා.

ඊට පස්සේ මම මිස් ඒෂියා පැසිපික් තරගයට අයදුම් කළා. එතැනදී මම ජයග්‍රහණය කළා. ඊට පස්සේ පිලිපීනයේ මැනිලාවලදී මිස් ඒෂියා පැසිපිස් ඉන්ටර්නැෂනල් තරගය ලංකාව නියෝජනය කළා. එතැනදී මට පුළුවන් වුණා ශ්‍රී ලංකාව වෙනුවෙන් මිනි ටයිටප් එකක් දිනාගන්න. ඒ තරගයෙන් පස්සේ ලංකාවට ආවාම මට නිරූපණය සහ වෙළඳ දැන්වීම් පැත්තෙන් හුඟක් ආරාධනා ලැබුණා.

 

 

 


 මෑතක සම්බන්ධ වුණ අලුත් වැඩකටයුතු තියෙනවාද? 
නිරූපණ කටයුතු, මියුසික් වීඩියෝ නිරූපණ, වෙළඳ දැන්වීම් කරනවා. රඟපෑමටත් අවස්ථා නම් ලැබිලා තියෙනවා. නිරූපණය සහ රංගනය කියන්නේ දැවැන්ත විෂයන් දෙකක්. නිරූපිකාවක් වුණු පළියට හැමෝටම රඟපාන්න බෑ. මට රංගනයට අවස්ථා ලැබුණාට මම ඒ අවස්ථා තවම උරගා බලලා නැහැ. හොඳ නිර්මාණයක් ලැබුණොත් සලකලා බලනවා. මගේ ලොකුම අරමුණ මිසිස් පැජන්ට් එකක් නියෝජනය කිරීමයි.

 


 හසිනි නැවත ආදරයක්, විවාහයක් බලාපොරොත්තු වෙනවාද? 
අම්මෝ හිතන්නෙවත් නැහැ. ඇත්තටම විවාහය, ආදරය කියන ඒ බැඳීමට මම බයයි. එක පාරක් වැටුණු වලේ ආයේ පාරක් මට වැටෙන්න බෑ. මගේ එකම බලාපොරොත්තුව දැන් පුතාව යහපත් පුරවැසියෙක් කරන එක. මට දැන් මගේ ජීවිතේ වටින එකම දේ මගේ පුතා.

 


 හසිනි ගැන ඇයි මේ තරම් ගොසිප්? 
මුල් කාලේදි මට පුදුම විදියට බොරු ගොසිප් හැදුණා. ඒ ගොඩක් ගොසිප් හැදුවේ මගේ ළඟින්ම හිටපු අය. සමහර ගොසිප් හදලා තිබුණේ මගෙන් පළිගන්න. මුල් කාලේ ඒ දේවල් විඳ දරා ගත්තේ බොහොම වේදනාවෙන්. ඒ හැමදේටම මම නිහඬ වෙලා හිටියා. හැබැයි එදා හිටපු හසිනි සැමුවෙල් නෙමෙයි අද ඉන්නේ. අද මම ශක්තිමත් ගැහැනියක්. ඇත්ත කතා කරන්න මම බය නැහැ.

 


 නිරූපණ ක්ෂේත්‍රය තෝරා ගැනීම ගැන අද මොකද හිතන්නේ? 
මම ජීවිතේ ගත්ත හොඳම තීරණය තමයි නිරූපණ ක්ෂේත්‍රයට අඩිය තැබීම. මම මේ ක්ෂේත්‍රයට එන්නේ අවුරුදු 17 න්. ක්ෂේත්‍රය ගැන ලොකු දැනුමක් නැති නිසා මට වැරදුණු තැන් සෑහෙන්න තියෙනවා. මට වැරදුණු එකම තැන මට හරි යාළුවෝ කවුද කියලා තෝරාගන්න බැරිවීම. 

 


 මේ ක්ෂේත්‍රයට එනවාට ගෙදරින් ලැබුණු ප්‍රතිචාරය කොහොමද? 
අම්මයි, තාත්තයි පොඩ්ඩක්වත් කැමැති වුණේ නැහැ. මගේ තාත්තා කැමැති වුණේ මම ගණිත අංශයෙන් ඉගෙනගෙන ඉංජිනේරු අංශයේ රැකියාවක් කරනවාට. මම මේ ක්ෂේත්‍රයට ඇවිත් පියාඹන්න කලින් අම්මලා තාත්තලා මගේ තටු කැපුවා. මට හරි දුකයි. ඒවා මතක් වෙද්දි. මගේ මවුපියන්ගේ ඔළුවේ තිබුණේ නිරූපණය කියන්නේ හරි වැරදි දෙයක් විදිහට. මම ක්ෂේත්‍රයට ආපු දවසේ ඉඳලා මාව පීඩනය පත් කළා ගෙදරින්. සමහර වෙලාවට ඒ පීඩනය දරාගන්න බැරි වුණා. ගෙදරින් ඒ විදිහට මට නොකළා නම් නරක යා`ඵවෝ මට හම්බ නොවෙන්න තිබුණා. මම කියන්නේ කිසිම දරුවෙකුට එහෙම කරන්න එපා. දක්ෂතාව තියෙන පැත්තට යන්න පාර හදලා දෙන්න.

 

 


 හසිනි මේ වෙනකොට වෘත්තීය වශයෙන් කරන්නේ ‘නිරූපණය විතරද? 
නැහැ. නිරූපණ කටයුතුවලට අමතරව මගේම කියලා ව්‍යාපාර කටයුතු කීපයක් කරගෙන යනවා. ඒ නිසා පුතත් එක්ක ජීවත් වෙන්න ආර්ථිකමය ගැටලුවක් මට නැහැ.
ජීවිතේ මට ලැබුණු හොඳම තෑග්ග මගේ පුතා. මගේ ජීවිතේ නැතිවුණු දේවල්වලට වඩා ඇති වුණු දේවල් වැඩියි.

නදීශා අතුකෝරාල
ඡායාරූප සජීව ලක්ෂාන්


 

ජාත්‍යන්තර කාන්තා දියේදී The Best Nurse of The year Read Previous

ජාත්‍යන්තර කාන්තා දියේදී The Best Nurse of The year

ජාත්‍යන්තර කාන්තා දියේදී The Best Nurse of The year Read Next

ජාත්‍යන්තර කාන්තා දියේදී The Best Nurse of The year

Realted Post

Leave a comment