ඥානසාර හිමියන්ගෙන් මතු වූ භික්ෂු චීවර ගැටලුවට අලුත් තීරණයක්

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණයට ඉදිරිපත් කිරීමේදී චීවරය ඉවත් කර සාමාන්‍ය සිරකරු ඇඳුමක් ඇන්දවීමේ සිද්ධිය මේ වන විට සමාජයේ දැඩි ආන්දෝලනයකට තුඩු දී තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සියම් මහා නිකායේ මල්වතු සහ අස්ගිරි මහා විහාර පාර්ශ්වයන්හි කාරක සංඝ සභාවල භික්ෂූන් වහන්සේලා ඇතුළු මහා සංඝරත්නයේ පිරිස් සංවේගය පළ කර ඇති අතර, භික්ෂූන් වහන්සේ නමකගේ චීවරය ඉවත් කිරීම සම්බන්ධයෙන් තමන් වහන්සේලා බලවත් කම්පාවට පත්ව සිටින බව ජ්‍යෙෂ්ඨ භික්ෂූන් වහන්සේලා කිහිප නමක් ප්‍රකාශ කර තිබේ.

භික්ෂූන් වහන්සේ නමකගේ චීවරයට ගිහියකු අත තැබීම සම්බන්ධයෙන් ද ඔවුහු සිය විරෝධය පළ කරති.

චීවරය ඉවත් කිරීම බරපතළ සංකේතයක් – රට රකින පරපුර

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කර අධිකරණය හමුවට ඉදිරිපත් කිරීම අතිශය බරපතළ සංකේතාත්මක සිදුවීමක් බව ‘රට රකින පරපුර’ සංවිධානය පවසයි.

එම සංවිධානයේ ලේකම් කාංචන ද සිල්වා මහතා නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බුද්ධ ශාසනයට ප්‍රමුඛස්ථානය ලබාදීම රාජ්‍ය වගකීමක් ලෙස පිළිගෙන ඇති රටක මෙවැනි සිදුවීමක් බරපතළ ප්‍රශ්න මතු කරන බවයි.

භික්ෂූන් වහන්සේලාගේ අදහස් තමන්ගේ මතයට නොගැළපෙන විට උන්වහන්සේලාට අපහාස කිරීම සහ විවේචන හමුවේ අවමන් කිරීම මෙන්ම රාජ්‍ය බලය භාවිත කරමින් භික්ෂු චීවරයට පවා අත තැබීම සාමාන්‍යකරණය වෙමින් පවතින බව ද එම සංවිධානය චෝදනා කරයි.

කෙසේ වෙතත්, ඥානසාර හිමියන් නීතියට ඉහළින් සිටිය යුතු බව තමන් ප්‍රකාශ නොකරන බව අවධාරණය කරන එම සංවිධානය, යම් පුද්ගලයකුට එරෙහිව අධිකරණ තීන්දුවක් ඇත්නම් එය නීත්‍යනුකූලව ක්‍රියාත්මක විය යුතු බව ද සඳහන් කරයි.

එහෙත් නීතිය ක්‍රියාත්මක කිරීමේ නාමයෙන් භික්ෂු චීවරයට නිගරු කිරීමට කිසිදු රාජ්‍ය ආයතනයකට බලයක් නොමැති බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

ඥානසාර හිමියන්ට පොදු සමාව ඉල්ලා අත්සන් ලක්ෂ 50ක පෙත්සමක්

සිරගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති පොදු සමාව ලබාදෙන ලෙස ඉල්ලා අත්සන් ලක්ෂ 50ක් ලබාගැනීමේ පෙත්සමක් ආරම්භ කිරීමට ද කටයුතු කර තිබේ.

පූජ්‍ය තිත්තගල්ලේ ආනන්දසිරි හිමියන් ප්‍රමුඛ සංඝරත්නය විසින් ආරම්භ කර ඇති මෙම වැඩසටහන ඔක්තෝබර් 9 වැනිදා දකුණු පළාත කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කර තිබූ අතර, පසුව එම පෙත්සම ජනාධිපතිවරයා වෙත භාරදීමට නියමිත බව සඳහන් වේ.

එදින උදෑසන මහා සංඝරත්නය දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාලයට ගොස් දේව කන්නලව්වක් සිදුකිරීමෙන් අනතුරුව අත්සන් ලබාගැනීම ආරම්භ කර ඇත.

දෙවිනුවර, මාතර, වැලිගම, හබරාදුව සහ ගාල්ල යන නගරවලදී එදින අත්සන් ලබාගැනීමටත්, ඊළඟ දිනයේදී කොළඹ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් වැඩසටහන පැවැත්වීමටත් සැලසුම් කර තිබූ බව තිත්තගල්ලේ ආනන්දසිරි හිමියෝ ප්‍රකාශ කර තිබේ.

භික්ෂූන් වහන්සේලා සම්බන්ධ බන්ධනාගාර නීති සංශෝධනයට කමිටුවක්

මේ අතර, භික්ෂූන් වහන්සේලා බන්ධනාගාර තුළ රඳවා තබන ආකාරය සහ බන්ධනාගාරයෙන් පිටතට රැගෙන යන අවස්ථාවල අනුගමනය කළ යුතු ක්‍රියාපටිපාටි පිළිබඳ නීති සංශෝධනය කිරීම සඳහා කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කර තිබේ.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ඔක්තෝබර් 8 වැනිදා ජනාධිපති කාර්යාලයේදී මහා සංඝරත්නය සමඟ පැවැති විශේෂ සාකච්ඡාවකදීය.

නීතිපති දෙපාර්තමේන්තුව, අධිකරණ අමාත්‍යාංශය, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය, බෞද්ධ කටයුතු අමාත්‍යාංශය සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇතුළත් කර මෙම කමිටුව පත් කිරීමට නියමිත බව ජනාධිපතිවරයා එහිදී සඳහන් කර ඇත.

සති දෙකක් ඇතුළත අදාළ කරුණු අධ්‍යයනය කර සංශෝධන ඉදිරිපත් කරන ලෙස කමිටුවට දැනුම් දෙන බවත්, භික්ෂූන් වහන්සේලාට අදාළ කොටස් සම්බන්ධයෙන් මහා සංඝරත්නය සමඟ සාකච්ඡා කර අවශ්‍ය වෙනස්කම් සිදුකිරීමට කටයුතු කරන බවත් ඔහු පවසා තිබේ.

එසේම, පවතින නීති ක්‍රියාත්මක වෙමින් තිබියදී තනි පුද්ගලයන් වෙනුවෙන් විශේෂ නියෝග නිකුත් කිරීම වෙනුවට, අවශ්‍ය නම් නීතිය නිසි ක්‍රමවේදයට අනුව සංශෝධනය කළ යුතු බව ද ජනාධිපතිවරයා අවධාරණය කර ඇත.

1877 බන්ධනාගාර ආඥා පනත සහ පවතින රෙගුලාසි

ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීම සම්බන්ධයෙන් මහානායක හිමිවරුන් බන්ධනාගාර කොමසාරිස්වරයා වෙත යොමු කළ ලිපිය සහ ඒ හේතුවෙන් සමාජයේ මතුව ඇති තත්ත්වය පිළිබඳව ද මෙම සාකච්ඡාවේදී අවධානය යොමු වී තිබේ.

එහිදී වර්තමාන බන්ධනාගාර නීති පද්ධතිය පැහැදිලි කළ ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ, බන්ධනාගාර පාලනය සඳහා 1877 වසරේ සම්මත කළ බන්ධනාගාර ආඥා පනත, ඒ යටතේ පනවා ඇති රෙගුලාසි සහ බන්ධනාගාර කොමසාරිස්වරයා විසින් නියම කරනු ලබන නිත්‍ය නියෝග ක්‍රියාත්මක වන බවයි.

එම රෙගුලාසිවලින් වැඩි අවධානයක් යොමු කර ඇත්තේ සාමාන්‍ය සිරකරුවන් සම්බන්ධයෙන් වන අතර, භික්ෂූන් වහන්සේලා පිළිබඳව විශේෂයෙන් සඳහන් වන්නේ සීමිත ප්‍රතිපාදන කිහිපයක පමණක් බව ද ජනාධිපතිවරයා පෙන්වා දී ඇත.

බන්ධනාගාරගත වන පුද්ගලයන් අතර රිමාන්ඩ් භාරයේ සිටින පුද්ගලයන් සහ අධිකරණයෙන් වරදකරු කර දඬුවම් නියම කළ සිරකරුවන් වශයෙන් වෙනස් තත්ත්වයන් පවතින බව ද ඔහු පැහැදිලි කර තිබේ.

ලිහිල් වැඩ සහිත සිරදඬුවම් ලබන සිරකරුවන්ට ඇඳුම් සම්බන්ධයෙන් යම් තේරීමක් කිරීමට ඉඩ සැලසිය හැකි වුවද, බරපතළ වැඩ සහිත සිරදඬුවම් ලබන සිරකරුවන් බන්ධනාගාරයෙන් නියම කරනු ලබන ඇඳුම් භාවිත කළ යුතු බව පවතින රෙගුලාසි අනුව ක්‍රියාත්මක වන බව ජනාධිපතිවරයා සඳහන් කර ඇත.

“නීතිය මගේ කැමැත්ත බවට පත් නොවිය යුතුයි”

බන්ධනාගාර නිලධාරීන් කටයුතු කර ඇත්තේ පවතින නීති හා රෙගුලාසි අනුව බැවින් ඔවුන්ට පමණක් දෝෂාරෝපණය කිරීමෙන් ගැටලුව විසඳිය නොහැකි බව ද ජනාධිපතිවරයා පවසා තිබේ.

කෙසේ වෙතත්, බන්ධනාගාරයෙන් පිටතට රැගෙන එන අවස්ථාවලදී භික්ෂූන් වහන්සේලා මාධ්‍යයට සහ මහජනතාවට නිරාවරණය වන බැවින්, එවැනි අවස්ථාවල අනුගමනය කළ යුතු ක්‍රියාපටිපාටි පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළ යුතු බව ඔහු පෙන්වා දී ඇත.

“නීතිය යනු සදාකාලිකව එකම තැන පවතින දෙයක් නොවෙයි. නීති නිරන්තරයෙන් සංශෝධනය වෙනවා. නීතිය වර්තමානයට උචිත නැත්නම් කළ යුත්තේ නිසි පරිදි නීතිය සංශෝධනය කරගැනීමයි. මගේ කැමැත්ත නීතිය බවට පත් කරගැනීමට මා කැමති නැහැ” යනුවෙන් ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ.

භික්ෂූන් වහන්සේලා බන්ධනාගාරගත වූ විට රඳවා තබන ආකාරය සහ පිටතට රැගෙන යන ආකාරය සම්බන්ධයෙන් නව රීති සකස් කිරීමේ අවශ්‍යතාව ද ඔහු අවධාරණය කර ඇත.

එම වෙනස්කම් එක් භික්ෂූන් වහන්සේ නමක් ඉලක්ක කරගනිමින් නොව, සමස්ත පද්ධතියටම අදාළ වන පරිදි සකස් කළ යුතු බව ද ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.

ඒ අනුව, ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමේ සිද්ධියෙන් මතුව ඇති සංවාදය මේ වන විට ආගමික ගෞරවය, බන්ධනාගාර ක්‍රියාපටිපාටි සහ නීති සංශෝධනය යන කරුණු තුන වටා කේන්ද්‍රගත වී ඇත. ඉදිරියේදී පත් කිරීමට නියමිත කමිටුවේ නිර්දේශ සහ ඒ අනුව සිදුකෙරෙන නීතිමය වෙනස්කම් පිළිබඳව ද දැන් අවධානය යොමු වී තිබේ.

සටහන - අශන්ති වරුණසූරිය

අලියාගේ දත්, හොඬවැල බුද්ධිය පිළිබඳ විස්මිත කතාව Read Previous

අලියාගේ දත්, හොඬවැල බුද්ධිය පිළිබඳ විස්මිත කතාව

සිරිකත මතක් කළ වසර 41කට එහා ගිය මතකයක්… Read Next

සිරිකත මතක් කළ වසර 41කට එහා ගිය මතකයක්…

Realted Post

Leave a comment