නිකිණි පුර පසළොස්වක පොහෝ දිනය සහ ශාසනික මෙන්ම සංස්කෘතික වැදගත්කම

නිකිණි පුර පසළොස්වක පොහෝ දිනය යනු බෞද්ධයන් වන අපට ඉතා වැදගත්, ශාසනික සිදුවීම් රැසක් එකතු වූ උතුම් පුන් පොහෝ දිනකි. බුදුබණ දහම මෙන්ම අපේ ගැමි සංස්කෘතිය හා බැඳුණු සුවිශේෂී ඉතිහාසයක් ද මෙම පොහොය සතු වේ.


ධර්ම දූත සේවය හා පසුවස් සමාදන් වීම

වර්ෂා සමයේදී භික්ෂුන් වහන්සේලාට පිඬුසිඟා වඩිමින් ධර්ම ප්‍රචාරක කටයුතුවල නියැළීම අපහසු වූ හෙයින්, විහාරස්ථානවල රැඳීසිටිමින් වස් සමාදන් වීම ඇසළ පුරපසළොස්වක පොහෝ දින සිදු විය.

පසුවස් සමාදන් වීම: පෙර වස් එළැඹීමට නොහැකි වූ භික්ෂුන් වහන්සේලාට පසුවස් එළැඹීම පිණිස නිකිණි පොහොය නම් කර ඇති අතර, මෙදින වස් ආරාධනා කිරීම සිදු කෙරේ.

විශේෂ අවසරය: වස් කාලය තුළ පන්සලෙන් පිටතට වැඩම කිරීම සීමා වුවද, යළි වස් වැසීමට පැමිණෙන බව පවසා සතියකට නොවැඩි කාලයකට පන්සලෙන් පිටව යාමට භික්ෂුන් වහන්සේට අවසර හිමිවූයේ ද නිකිණි පෝය දිනකදීය.

 

ශාසනික ඉතිහාසයේ සුවිශේෂී සිදුවීම්

1. ප්‍රථම ධර්ම සංගායනාව: බුද්ධ පරිනිර්වාණයෙන් තෙමසකට පසු, මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ මූලිකත්වයෙන් රජගහනුවර සප්තපර්ණි ගුහාව අසලදී රහතන් වහන්සේලා 500 නමකගේ සහභාගිත්වයෙන් ප්‍රථම ධර්ම සංගායනාව ආරම්භ විය.
2. ආනන්ද මාහිමියන් රහත් වීම: ධර්ම භාණ්ඩාගාරික ආනන්ද මහ රහතන් වහන්සේ රහත් භාවයට පත්වූයේ ද අද වන් නිකිණි පොහෝ දිනකය.
3. අරියවංශ දේශනාව: බෞද්ධ ඉතිහාසයේ අරියවංශ දේශනාව (අංගුත්තර නිකායේ සතර වන නිපාතයේ එන සූත්‍රය) පැවැත්වීම ආරම්භ වූයේ ද නිකිණි පෝය දිනකය.
4. සේරුවිල මංගල චෛත්‍යය: බුදුරජාණන් වහන්සේගේ ලලාට ධාතුන් වහන්සේ තැන්පත් කරමින් සේරුවිල මංගල චෛත්‍ය රාජයාණන් වහන්සේ ඉදිකිරීම ආරම්භ වූයේ ද අද වන් පොහෝ දිනකය.

ගැමි සංස්කෘතිය හා නිකිණි පොහොය

දරමිටි පෝය: ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ රැකබලා ගැනීම සඳහා නිකිණි මාසයේ ඉඩෝරයත් සමඟ පැමිණෙන වන අලි උවදුරු මැඩපැවැත්වීමට ගම්වාසීන් දරමිටි රැගෙනවිත් රාත්‍රිය පුරා ගිනි දල්වා බෝධීන් වහන්සේ ආරක්ෂා කළහ. මෙය පරපුරෙන් පරපුරට පැමිණි නිසා දරමිටි පෝය ලෙස හැඳින්වේ.

හේන් ගිනිලන පෝය: ගොවි ජනතාව වගා බිම් සකස් කරගැනීම සඳහා හේන් ගිනි තැබීම ආරම්භ කරන්නේද නිකිණි පෝය උදාවත් සමඟය.

මහනුවර ඇසළ පෙරහැර: ඓතිහාසික මහනුවර ඇසළ මහ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි මහ පෙරහැර නිකිණි පොහොය මූලික කරගනිමින් පැවැත්වීම විශේෂත්වයකි.

බෞද්ධයන් ලෙස අප මෙම උතුම් පුන් පොහෝ දිනයේ දාන, සීල, භාවනා ආදී ආගමික වතාවත්වල නිරත වෙමින්, ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගනිමින් සංසාර දුක කෙළවර කර අමා මහ නිවන් අවබෝධ කරගනිමු

සටහන - කසුනි විජේසිංහ

මෙහෙම කළොත් කොන්ඩේ ප්‍රශ්න ටික ඉවරයි Read Previous

මෙහෙම කළොත් කොන්ඩේ ප්‍රශ්න ටික ඉවරයි

මහනුවර ඇසළ පෙරහැරේ අවසන් රන්දෝලි පෙරහර අද Read Next

මහනුවර ඇසළ පෙරහැරේ අවසන් රන්දෝලි පෙරහර අද

Realted Post

Leave a comment