නළුවෙක් වුණාට මං ගුරුවරයෙක් - කසුන් තාරක

වේදිකාවෙන් රංගන ජීවිතයට අත්පොත් තබන ඔහු කෙටි කාලයකින් පුංචි තිරයේ කාගෙත් ආදරයට සහ අවධානය දිනාගන්නවා. කොඩිගහ යට, සහ අක්ෂි, ටෙලි නිර්මාණ ඔස්සේ මේ දවස්වල නිතර දකින්න ලැබෙන ඔහු කඩවසම් රංගන ශිල්පියෙක් පමණක් නොව ගුරුවරයෙක්. කසුන් තාරක  නම් ඔහු සමගයි මේ කතාබහ. 

කොහොමද කලාවට එකතු වෙන්නේ?
කලාව එන්නේ පවුලෙන්ම කියලා තමයි මට හිතෙන්නේ. හේතුව අපේ සීයා ඒ කාලේ ප්‍රසිද්ධ කවි කාරයෙක්. පවුලේ අය ඉතින් පොඩි පොඩි කලා කටයුතුවල නිරත වුණා. මම හිතන්නේ රංගනයට පිවිසෙන්න ඒ ඇසුර බලපාන්න ඇති. එතැනින් පටන් ගත් ගමන තමයි මේ. විශ්වවිද්‍යාලයට ආවට පස්සේ මට ප්‍රසන්න මහගමගේ, ප්‍රසන්නජිත් අබේසූරිය, ඉන්දික ලියනගේ, රුවන්ති ඩී. චිකේරා වගේ ප්‍රවීණයන් සමග රංගනය හදාරන්න අවස්ථාව ලැබුණා.

කොහොමද මේ දවස්වල ලැබෙන ප්‍රතිචාර?
හොඳයි. හොඳ වගේම නරකත් තියෙනවා. ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වෙනස් ප්‍රතිචාර ලැබෙනවා. ටිකෙන් ටික රසික ආදරය වැඩිවෙන බව දැනෙනවා. ඒ හැමෝටම ආදරෙයි.

ළඟදි නේද විවාහ වුණේ? කොහොමද අලුත් ජීවිතේ?
ඇය බිමල්කා දන්දෙණිය. ඇයත් ඉස්සර රංගන ශිල්පිනියක්. එයාගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. ඉතින් විවාහ ජීවිතේ සතුටින්.

කොහොමද ඇය හමුවෙන්නේ?
ඇය මුණ ගැසෙන්නේ උසස් පෙළ හදාරන කාලේ. නාට්‍ය හා රංග කලාව ක්ලාස් එකේ තිබුණු විශේෂාංගයක නටපු සින්දුවකදී. ඇස් දිහා බලාගෙන නටන්න අවස්ථාවක් තිබුණා. ඒ බලපු බැලිල්ල නතර වුණේ මෙතනින් තමයි

ඇයි නළුවෙක් වෙන්න හිතුවේ? 
මම ආස කළා විශාල ප්‍රේක්ෂක පිරිසක් ඉදිරියේ ලොකු අත්පොළසන් නාදයක් ලබන්න. පස්සේ තමයි තේරුණේ රංගනය කියන්නෙ අත්පොළසන් නාදයකට එහා ගිය ලොකු විෂය පථයක් කියලා. ඉතින් මට ඒක ඉගෙනගන්න ආසා හිතුණා. ඒ වගේම ඒ අත්පොළසන් නාදයටත්, ආදරයටත් නළුවෙක් වග වෙන්නත් ඕනෑ. 

වේදිකාවත් හුරු පුරුදු තැනක්?
වේදිකාව හුරු පුරුදු තැනක් වුනත් අදටත් වේදිකාවට ගොඩ වුණාම චකිතයක් තියෙනවා. මොකද වේදිකාව කියන්නේ වෙනස්වෙන සජීවි මාධ්‍යයක්. ඒක හරියට මැච් එකක් වගේ. පිච් එක හරියට අඳුනගන්න ඕනෑ වගේ වැඩක්. හරියට බැට් කරන්න අපි දක්ෂවෙන්න ඕනෑ.

ගුරුවරයෙක් සහ නළුවෙක් විදියට පාසල් දරුවන්ගෙන් ලබන ආදරය?
මම නාට්‍ය හා රංගකලාව විෂය උගන්වන පාසල් ගුරුවරයෙක්. පාසලෙන් ලැබෙන ප්‍රතිචාර ගත්තාම විශේෂයෙන් කියන්න ඕනෑ විදුහල්පති මේජර් ග්‍රේසන් පෙරේරා මහතා සහ කාර්ය මණ්ඩලයෙන් ලැබෙන සහයෝගය. ඔවුන්ගේ ආදරය ප්‍රතිචාර නිරන්තරයෙන් ලැබෙනවා. දරුවන්ගේ ආදරය ගුරුවරයෙක් විදියටයි, නළුවෙක් විදියටයි දෙවිදියටම ලබනවා. සමහර විට ඔවුන් මට චරිතවල නම්වලින් කතා කරනවා. මම හිතන්නේ ගුරු වෘත්තියේ නියැළෙන හැම නළුවෙක්ම මේ ආදරණීය අත්දැකීම විඳිනවා ඇති.

සටහන නයනා උදයංගනී  

 

     
    
      

ඔබත් PRP කරන්න ඉන්නවා නම් මුලින්ම මේක බලන්න Read Previous

ඔබත් PRP කරන්න ඉන්නවා නම් මුලින්ම මේක බලන්න

ජාත්‍යන්තර කාන්තා දියේදී The Best Nurse of The year Read Next

ජාත්‍යන්තර කාන්තා දියේදී The Best Nurse of The year

Realted Post

Leave a comment