පෙරහරක නටන අයට උපහාස කරන්න එපා

මේ පෙරහර සමයයි. මෙරට තිබෙන සියලූම ඓතිහාසික පෙරහර වෙනුවෙන් ම දීර්ඝ කාලයක් පුරාවට නර්තනයෙන් සහභාගී වන ඔහු ශෂී ඉමේෂ් ය. අලංකාර මොනර නැටුමෙන් සහ කොහොඹ කළය නර්තනයෙන් රූබරව හැඩවන ශෂී නර්තනයට ඉතා දක්ෂ මෙන්ම නර්තනය පිළිබඳව අපූරු ඉතිහාසයක් ඇති කෙනෙක්. 

ශෂිගේ මේ දවස්වල වැඩ කොහොමද? 

හරිම කාර්යබහුලයි. පෙරහරවල නර්තනයේ යෙදෙන නිසා පසුගිය දින කිහිපයම ඒ වෙනුවෙන් කාලය යොදවන්න සිදුවුණා. 
ඔබේ නර්තන ජීවිතයේ ආරම්භය ගැන මතක් කරමු. 
පෙර පාසල් යන කාලේ ගෑනු ළමයි නටනවා දැකලා මම අම්මට ඇවිත් කිව්වා මට එයාලත් එක්ක නටන්න ආසයි කියලා. අම්මා කිව්වා ඔයා ගැහැනු ළමයෙක් නෙවෙයිනෙ නටන්න කියලා. ඒත් මම අම්මට ගෙදර නැටුමක් කරල පෙන්නුවාම අම්මා ගුරුතුමියත් එක්ක කතා කරල ගැහැනු ළමයි එක්ක මට පූජා නැටුමක් කරන්න අවස්ථාව ලබලා දුන්නා පෙර පාසලේ විවිවිධ ප‍්‍රසංගයේදි. මගේ නර්තන හැකියාව දැකලා එදා හැමෝම පුදුම වුණා. එදා ඉඳන් මම නටනවා. ඒ නිසා චිත‍්‍රානී ගුරු මවත් මගේ මවත් මේ මොහොතේ ගෞරවයෙන් සිහිපත් කරනවා. 

ඔබ වෙනස් කෙනෙක්ද? ඔබව සමාජයට නිරාවරණය කරන්න කැමති මොන විදියටද?

ඔව්, මම වෙනස් කෙනෙක්. ශරීරයෙන් පිරිමි ළමයෙකු ලෙස වැඩුණත් ඇතුළාන්තයෙන් මම  කාන්තාවකගේ සිතුම්පැතුම් දරන කෙනෙක්. 

ඔබේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යය මොකක්ද? 

මම මාවම සොයා යෑම. ඒ තුළ මෙම නර්තන ක්ෂේත‍්‍රය තෝරා ගැනීම සුවිශේෂියි. මම සාමාන්‍ය පෙළ දක්වා පමණයි අධ්‍යාපනය හැදෑරුවේ. නර්තන ගුරුවරයෙක් වෙන්න තිබුණු ආසාව එයින් බොඳව ගියත් අදවන විට මම තෘප්තිමත්, නර්තනයෙන් සහ අපේ නර්තන කණ්ඩායමෙන්. නර්තනයට තිබුණු දැඩි කැමැත්ත නිසා හොඳ ගමනක් ඒ ක්ෂේත‍්‍රයෙන් යන්න හැකියාව ලැබී තිබෙනවා. මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය නර්තනය.

සමාජයට ඔබට දෙන්න තිබෙන පණිවිඩය කුමක්ද? 

මිනිස්සු වෙනස් කොට හඳුන්වන්න එපා. සියලූදෙනාම මිනිස්සු. මිනිස්සු යන වචනයට, එහි අර්ථයට අර්ථයක් ලබාදෙන්න. හුඟක් මිනිස්සු එය අවබෝධ කරගෙන නැහැ. බොහෝදෙනා දෙවියන්ව විශ්වාස කරනවා. ඔබටත් මෙවැනි දරුවෙක් උපදින්නට පුළුවන්. මම ආස කළේ ගැහැනු ළමයෙක් වගේ ඇඳලා නටන්න, මේක් අප් කරන්න, ඒ ලාලිත්‍යයට, ඒ ඇඳුම්වලට මම හරි ආසයි. මගේ අම්මා තමයි සමහර වෙලාවට මට ඇඳුම් අන්දවන්නෙ. මම අම්මාගෙන් අහනවා ‘‘අම්මෙ, ඔයා ආස නැද්ද මම ගැහැනු ළමයෙක් වගේ ඉන්නවට කියලා. මොකද මගේ අම්මා ට‍්‍රාන්ස් ජෙන්ඩර් කියන වචනයේ තේරුමවත් දන්නේ නෑ. මම එහෙම වුණු අයව පෙන්නලා අහනකොට අම්මා කියනවා ඔව්, හොයන්නවත් බැහැ කියලා. මම ආයෙත් අහනවා අම්මා කැමතිද මම එහෙම වෙනවට කියලා. එතකොට අම්මා කල්පනා කරනවා. 

මව්වරුන් වෙනුවෙන්?

හැම අම්මා කෙනෙක්ම දරුවෙක්ට ආදරෙයි. හැම අම්මා කෙනෙක්ටම දරුවො කියන්නේ සම්පතක්. මගේ අම්මටත් එහෙමයි. ඒත් මාත් එක්ක නටන, මම වගේ තව ළමයි ඉන්නවා. එයාලා ගෙවල්වලින් එළවලා, පන්නලා දාලා. මම අම්මලාට කියනවා මම වගේ දරුවො ඉන්නවා නම් එයාලට කරදර කරන්න එපා, එයාලට බාධා කරන්න එපා. අපි වැරැද්දක් කරන්නේ නෑ. මගේ අම්මා මාව තේරුම් ගත්තා වගේ  අනෙක් අම්මලත් තමන්ගේ දරුවො තේරුම් ගන්න  ඕනෑ.  ලිංගික සුළුතර ප‍්‍රජාවගෙන් මේ රටට, සංස්කෘතියට, සමාජයකට හානියක් වෙන්නේ නෑ. මොකද අපි හැමෝම මනුස්සයෝ. අපි හැමෝටම දුවන්නේ එකම ලේ. අපි පෙරහරක නටන්නෙත් පෙරහර බලන මිනිස්සුන්ට රසාස්වාදයක් ගේන්න. හැමෝම සතුටු කරන්න. ඒ නිසා අපහාස උපහාසයට ලක්කිරීම, එවැනි අය කොන් කිරීම කරන්න එපා සහ සමාජභාවය නිසා පුද්ගලයින් කොන් කිරීම යන්න හාස්‍යයට කරුණක්. සියලූ දෙනාටම  ආදරය ලබාදෙන්න. ආකල්පමය වශයෙන් සමාජයක් විදියට නිවැරදිව ගොඩනැගෙමු.

සටහන - ජයනි ලක්ෂිකා 

 

ඡයාරූප - රුෂිරු කොළඹතන්ත‍්‍රිගෙ

බාලදක්ෂ නිර්මාතෘ බේඩන් පවෙල් සාමිතුමන්ගේ 169 වන ජන්ම දින සැමරුම මහනුවරදී Read Previous

බාලදක්ෂ නිර්මාතෘ බේඩන් පවෙල් සාමිතුමන්ගේ 169 වන ජන්ම දින සැමරුම මහනුවරදී

ඔබත් PRP කරන්න ඉන්නවා නම් මුලින්ම මේක බලන්න Read Next

ඔබත් PRP කරන්න ඉන්නවා නම් මුලින්ම මේක බලන්න

Realted Post

Leave a comment