මුලින්ම කිස් එකක් දීලා බැනුම් අහපු “කොච්චි”

 

කොච්චි කිව්ව ගමන් නොදන්න කෙනෙක් නැති තරමට ඒ නමට ජනප්‍රිය වෙලා. අයගේ ඇත්ත නමට වඩා ඇයව බොහෝ දෙනෙක් දන්නේ ඒ නමින්.  සිරිකත Online  මේ කතාබහ ඒ නමේ හිමිකාරිය ජනප්‍රිය නිවේදිකා  තිළිණි පූර්ණිමා සමඟ. 

 


ඉතිං කොච්චි කොහොමද මේ දවස්වල?
අලුත් අවුරුද්දත් ළග ළගම එන නිසා වැඩ නම් ටිකක් වැඩි වෙලා. සංගීත ප්‍රසංග වගේම වැඩසටහන් කිහිපයකටත් දායක වෙන්න බලාපොරොත්තුවෙන් මගේ රෙස්ටුරන්ට් එකේ වැඩවලටත් ඉඩක් දෙන ගමන් කාලය කළමනාකරණ කරගෙන ඉස්සරහට යනවා.
 

පුංචි කාලේ කොච්චි මොනවගේ කෙනෙක්ද?
මම පුංචි කාලේ ගොඩක් දඟයි. පවුලේ එකම දරුවා නිසා ආදරය ගොඩක් හොයපු කෙනෙක් මම. අහිංසක චරිතයක්.

නිවේදිකාවක් වීම කොච්චිගෙ පුංචි කාලේ  ඉඳලම තිබ්බ හීනයක් ද?
පුංචිකාලේ  ඉදන් මම හීන දැක්කෙ ඉංජිනේරුවරියක් වෙන්න. පේරාදෙණිය කැම්පස් එකටත් කවදහරි යන්න මගේ ලොකු ආසවක් තිබුණා.  ඒ අදහසින් උසස් පෙළට ගණිත  අංශයෙන් පෙනී හිටියෙත්. 
 

කොහොමද ක්ෂේත්‍රයට එන්නෙ?
මම 2 වසරෙ ඉඳලා රගපලා තියෙනවා. හැබැයි මගේ ඇතුළෙ ඉන්න නිවේදිකාව එළියට එන්නෙ 05 වසරෙදි. ඒ ස්වාධීන රූපවාහිනී සේවයේ ළහිරු මඩලට සම්බන්ධ වීමත් එක්ක. මට පාසල තුළදි නම් නිවේදිකාවක් විදියට කටයුතු කරන්න ඉඩක් ලැබෙන්නෙ නැහැ. පස්සෙ මම රන් එෆ් එම් නාළිකවට අයදුම් කරා. ඒ විදියට තමයි වෘත්තීමය වශයෙන් ක්ෂේත්‍රයට එන්නේ.

 

තිළිණි කොහොමද කොච්චි වෙන්නේ?
ඩිජේ නේම් එකක් කියන්නෙ විශේෂයෙන්ම ගුවන්විදුලි නිවේදකයින්ට වටින දෙයක්. මම වැඩ කරපු නාළිකා හැම එකකම වගේ මට ඩිජේ නේම් එකක් තිබුණා. කොච්චි කියන්නෙත් එහෙම ලැබුණ නමක්. මම සියත ගුවන්විදුලි නාළිකාවට සම්බන්ධ වෙද්දි අරවින්ද ලොකුගේ අයිය කිව්වා නම වෙනස් කරමු කියල. සාපේක්ෂව මගේ  හඩේ ත්‍රිවුතාවය වැඩි නිසා, කොච්චි කියන නම යෝජනා වුණා. ඒ විදියට තමයි තිළිණි කොච්චි වුණේ.
 

හැමතිස්සෙම හිනාවෙලා ඉන්න විශේෂ හේතුවක් තියෙනව ද?
එහෙම විශේෂ හේතුවක් නම් නැහැ. මම කොච්චර පීඩනෙන් හිටියත් දුකින් හිටියත් හිනාවෙන්න අමතක කරන්නෙ නැහැ. ඒක මම හිතල කරන දෙයක් නෙමේ. සමහර දවස් තියෙනව මයික් එක ඉස්සරහ ඉඳන් අඬලා ටික වෙලාවකින් කඳුළු පිහදාගෙන හිනාවෙලා කතා කරන.
 

ඇත්ත ජිව්තේ තිළිණි කියන්නෙත් කොච්චිම ද?
ඇත්තටම  මට කොච්චි කියන නම ඇතුලේ ලොකු දෙයක් කරන්න අවශ්‍ය වුණේ නැහැ. මොකද ඒක ඇතුළෙ හිටියෙ තනිකරම මම නිසා.

 

කොච්චි වීම නිසා ඔබට ලැබුණ දේවල්?
මගේ ජීවිතේ ලැබුණු ලොකුම තෑග්ග තමයි කොච්චි කියන නම. මම ගොඩක් අය අතරට ගියේ ඒ නම නිසා. අදටත් ගොඩක් අය මට කතා කරන්නෙ ඒ නමින්. හොඳ වගේම නරකත් අහල තියෙනවා . ගුවන් විදුලියේ ප්‍රථම වතාවට කිස් එකක් දෙන්න ඉදිරිපත් වුණ නිවේදිකාව මම. ඒකට ගොඩක් අය මට බැනල තිබුණා. අපි කෙනෙක්ව කිස් කරන්නෙ ඒ කෙනාව අපිට සමීප නිසා. ඒ සමීප බවට මිනිස්සු බනින්නේ ඇයි කියන්න මම දන්නෙ නැහැ.

 

අන් අයගෙන් ඔබ විශේෂ වෙන්න මොකද කරන්නේ?
හැම තැනටම එකම කෙනා ඔෆිස් එක ගත්තත් සමාජෙ ගත්තත් ගෙදර ඉන්න තිළිණි ම තමයි එතනත් ඉන්නෙ. නිවේදනය කරද්දිත් මම එහෙමයි. කෙනෙක්ට දැනෙන්න තමයි මම කතා කරන්නෙ. ඒක මම මගේ විශේෂයක් විදියට දකිනවා .

 

ඉදිරියේදී  කොච්චි කියන නමට කුමක්වෙයිද?
මම දැන් ගුවන්විදුලියෙන්  ඉවත් වෙලා හිටියත් මම මොන වැඩසටහන  කළත් මගේ ජීවිතේ මතක හිටිනම දේ තමයි කොච්චි කියන්නේ. අදටත් ගොඩක් අය මාව දන්නෙ කොච්චි කියන නමින්. මම මොන රැකියාව කළත් කොච්චි කියන නමත්  මාත් එක්කම ඉඳීවි.

සටහන - නෙත්මි තෂාරා


 

දරුවන්ගේ පරිත්‍යාග ගුණය පුරුදු කරවමු. Read Previous

දරුවන්ගේ පරිත්‍යාග ගුණය පුරුදු කරවමු.

පළවෙනි පාරට කරපු වැඩක්. අපට රඟපාන්න නිදහස හම්බ වුණා. Read Next

පළවෙනි පාරට කරපු වැඩක්. අපට රඟපාන්න නිදහස හම්බ වුණා.

Realted Post

Leave a comment