මෙවර බුද්ධ රශ්මි වෙසක් කලාපය ප්‍රතිපත්ති පූජාවට මුල්තැන දෙමින් ඇරඹෙයි

ශ්‍රී ලාංකේය බෞද්ධ ජනතාවගේ උත්කෘෂ්ටතම ආගමික උත්සවය වන වෙසක් පුන් පොහෝ දිනය නිමිත්තෙන් කොළඹ කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන "බුද්ධ රශ්මි වෙසක් කලාපය" මෙවරත් අභිමානවත් අයුරින් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත. පවතින අභියෝගාත්මක වටපිටාව හමුවේ වුවද, සැදැහැවතුන්ගේ සිත් සතන් පහන් කරනු වස් සංවිධානය කෙරෙන බුද්ධ රශ්මි වෙසක් කලාපයේ අවසන් සාකච්ඡාව පසුගියදා (20) අරලියගහ මන්දිරයේ දී පැවැත්වුණේ අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී මහතාගේ ප්‍රධානත්වයෙනි.

මෙවර වෙසක් කලාපය වෙනදාට වඩා සුවිශේෂී වන්නේ රටේ පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින්, බාහිර ආටෝපයන්ට වඩා බුදුදහමේ සැබෑ හරය වන ප්‍රතිපත්ති පූජාවට මුල්තැන දෙමින් ආමිස පූජාවන් සංවිධානය කර තිබීම නිසාය.

බලශක්ති අර්බුදයට නොසැලෙන වෙසක් අසිරිය

පවතින බලශක්ති අර්බුදය හමුවේ වෙසක් කලාපයේ කටයුතු අඛණ්ඩව කරගෙන යාම සඳහා රජය සුවිශේෂී පියවර රැසක් ගෙන ඇත. ඉන්ධන සහ විදුලිය භාවිතය වෙනුවෙන් පනවා තිබූ ඇතැම් රෙගුලාසි වෙසක් උත්සවය වෙනුවෙන් ලිහිල් කිරීමට රජය කටයුතු කර ඇති බව මෙහිදී අනාවරණය විය.

කෙසේ වෙතත්, පෙර වසරවලට සාපේක්ෂව මෙවර ඉන්ධන හා විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කිරීමට සංවිධායක මණ්ඩලය තීරණය කර තිබේ. ඒ අනුව, අවම බලශක්ති පිරිවැයක් සහිතව, උපරිම ශ්‍රද්ධාවෙන් යුතුව සැදැහැවතුන්ගේ සිත් පහන් කරවීම මෙවර බුද්ධ රශ්මි වෙසක් කලාපයේ ප්‍රධානතම අරමුණයි.

වෙසක් කලාපයේ වේලාවන් සහ සංවිධානය

කොළඹ ගංගාරාම විහාරාධිපති, ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කළ පරිදි, මෙවර බුද්ධ රශ්මි වෙසක් කලාපය රාත්‍රී 7.00 සිට මධ්‍යම රාත්‍රී 12.30 දක්වා සැදැහැවතුන් වෙනුවෙන් විවෘතව පවතී. මෙම වෙසක් කලායප මැයි මස 30 වන්දා සිය ජුනි මස 02 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි. 

වෙසක් කලාපයේ කටයුතු වඩාත් ක්‍රමවත්ව සහ සාර්ථකව සම්බන්ධීකරණය කිරීම උදෙසා විශේෂ කමිටු කිහිපයක්ම පත්කර ඇති අතර, ඊට අදාළ නිලධාරීන්ගේ තොරතුරු ලබාගනිමින් ආරක්ෂාව සහ පොදු පහසුකම් උපරිමයෙන් සැලසීමට අරලියගහ මන්දිරයේ පැවැති සාකච්ඡාවේදී අවධානය යොමු විය.

"බාහිර ආලෝක පූජාවන්ගෙන් පමණක් නොව, අවම පිරිවැයකින් යුතු ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් මෙවර වෙසක් අසිරියෙන් කොළඹ නගරය අලංකාර කිරීමට අප කටයුතු යොදා තිබෙනවා."

ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි ස්වාමීන් වහන්සේ

අර්බුද හමුවේ වුවද, සිත් සතන් තුළ මෙත් කරුණා ගුණ වඩවමින්, බුදු රැස් විහිදුවන මෙවර බුද්ධ රශ්මි වෙසක් කලාපය සමස්ත ශ්‍රී ලාංකිකයන්ටම ආධ්‍යාත්මික සැනසීමක් උදාකරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

සටහන - කසුනි විජේසිංහ

යක්ෂාව වේශය ළඟදීම තිරයට Read Previous

යක්ෂාව වේශය ළඟදීම තිරයට

ශ්‍රී දළදා උරුමය රකින දශකයකට වැඩි සන්නිවේදන සබැඳියාව Read Next

ශ්‍රී දළදා උරුමය රකින දශකයකට වැඩි සන්නිවේදන සබැඳියාව

Realted Post

Leave a comment