යක්‍ෂයාගේ දෙවොලක්. හාස්කම් රැසක්. තවත් අලුත්ම යුගයක රහස් මතු වුණ ථූපාරාමය.

ස්වර්ණමාලි මහා චෛත්‍යට උතුරු දිගින් උස වේදිකාවක් මත ඉදි උණු අභීත සෙල් කුළුණු රැසකින් වට වූ මෙරට ප්‍රථම චෛත්‍ය ලෙස නම් දරන පොසොන් සමයේ අප කතා කළයුතුම පරම පූජනිය සිද්ධස්ථානයකි "ථූපය පෙරටු කරගෙන ඉදි කළාවූ විහාරය ලෙස නම් දැරූ “ථූපාරාමය”. 

මේ නිරාමිස සුවය විදින ඕනෑම වෙලාවක මට සිහි ගැන්වෙන්නේ හෙළයන්ට එදා කෙතරම් දැනඋගත් තාක්‍ෂණයක් තිබ්බද යන්නයි. මේ දිනවල අනුරපුරේ පෑවිල්ලක් තිබ්බත් වරින්වර කුඩාවට වසින වැසි වාර නිසා, එකී නිමේෂයෙන් දාහයට ඇවිළෙන ගත සිසිලසින් නැහැවිණි. සෝ සුසුම් ලන සිත එකාග්මික කරවන ථූපාරම විහාර සංකීර්ණය වන්දනා කරන ලක්‍ෂ ගණනක සැදැහැවතුන්ගේ ප්‍රර්ථනා එලෙසින් ඉටු කරන ථූපාරම චෛත්‍යයේ නිදන් කර ඇත්තේ බුදුන් වහන්සේගේ දකුණු අකු ධාතුව බව මහාවංශයේ සදහන් වේ. 

යස්මිං දක්ඛිණ මක්ඛකංච මුනිනෝ පත්තප්පමානෝතනූ
ධාතුංචාපි නිධාය ලෝක මහිතෝ ජබ්බණ්ණ සෝභාකුලේ 
දේවානම්පියතිස්ස භූපති වරෝ කාරේහි සද්ධා ධනෝ
ථූපාරාම වරං නමාමි තමහං අජ්ඣායිතං සත්ථුනා

අපගේ දේවානම්පියතිස්ස මහ රජතුමා විසින් බුදුරජාණන්වහන්සේගේ දකුණු අකු ධාතූන් වහන්සේ නිධන්කොටකරවන ලද සියළු ලෝකයා විසින් පුදනු ලැබුවා වූ ඒ ථූපාරාම නම් චෛත්‍යය රාජයාණන් වහන්සේට මම මහත් වූ ගෞරවාදරයෙන්  නමස්කාරකරමි....

"අනේ පුතේ පොඩ්ඩක් අල්ලනවද ? මගේ අත අල්ලාගත් ඒ මෑණියන්ගේ වචනයෙන් ථුපාරාමය දෙස එක එල්ලේ බලාසිටි මගේ සිත වෙනස් කරන්නට සමත් වූවාය. "එන්න අම්මේ අපි යමු ... " එලෙස පඩි කිහිපයක් උඩට නගිද්දී ... "මගේ දුවගේ ළමයට අසනීපයි. මම මේ බාරයක් වෙන්න ආවා... ය එලෙස ඇයගේ දුක කියන්නට විය.. චෛත්‍ය මළුවට පිවිසීමත් සමඟ ඇය මගෙන් මිදුන දෑතින් නිදහස්ව වන්දනාවට සුදානම් වුවාය.. මෙලෙස තම තමන්ගේ සියල්ල සිත් දරා මේ පරම පුදබිමේ කීදාහක් සුවය පතනවාද? 

මේ අද, එදවස මිහිඳු හිමියන්ගේ ඉල්ලීමකට අනුව ථූපාරාමය ඉදිවූ බවට වූ වංසකතා ලියැවුණු බොහෝ ලියැවිලි කතාංග ඇත. දන්නවද ? මුල් කාලයේදී මෙම ස්ථානයේ තිබී ඇත්තේ මහේජ් යක්ෂයා වෙනුවෙන් කරවූ දෙවොලක් බව. අනුරාධපුර ඇතුළු නුවරට දකුණින් සහ මහමෙවුනා උයනට උතුරින් පිහිටි මෙම ප්‍රදේශය නන්දන උයන නම් හදුන්වා ඇත. මිහිදු මහා රහතන් වහන්සේගේ උපදෙස් පරිදි දේවානම් පියතිස්ස මහරජු  ක්‍රි,පූ. 250-210 කාලයේදී මෙම පෙදෙසේ ථූපාරාමය ඉදි කර වූ බවත් භික්ෂුන් වහන්සේලාගේ ආරාම සහිත ගොඩනැංවූ ලක්දිව ප්‍රථම ස්ථූපය සහිත ආරාමය ථූපාරාමය බවත් සදහන් වේ. 

ධන්‍යාකාර නොහොත් වී ගොඩක හැඩයට මෙරට ප්‍රථමවරට ඉදි කළ ස්තුපය වන ථූපාරාම චෛත්‍යයේ නිදන් කිරීමට, සුමන සාමණේරයන් විසින් ගෙන ආ ධාතූන් වහන්සේලා නිදන් කිරීම සඳහා වූ අකු ධාතුව සහිත කරඬුව පිට මත තබාගත් ඇත. ථූපාරාම භූමියට රැගෙන ආවත්, ස්තූපය ඇත්කඳ තෙක් උස්වනතුරු ධාතු කරඬුව ඇත්කඳ මත්තෙන් ගැනීමට ඉඩ නොදී ස්තූපයට බටහිර බිම් පෙදෙසේ රැඳී සිටි බවත් සඳහන් වේ. ථූපාරාමයේ අතීත ස්වරූපය කෙසේ වුවද වර්තමාන චෛත්‍යයේ උස අඩි 63ක් සහ විෂ්කම්භය අඩි 59කි.  

සලපතළ මළුව මැද අඩි 63ක් උසට දාගැබ ඉදිවී ඇත. වර්තමානයේ ස්තූපය අසලට ගොස් නිරීක්‍ෂණය කරන අයකුට පෙනී යනුයේ එහි පිහිටි වේදිකා භූමිය ඇතකු උසට වෘත්තාකාරව පවතින බවය. එහෙත් වේදිකාවක් ඉදිකළ බවට කිසිදු සාධකයක් හමු නොවේ. නිරීක්‍ෂණයන්ට අනුව අභය වැවේ මැටි ගෙනැවිත් ඉදිකර තිබෙන්නට ඇත්තේ මේ වේදිකාව බැව් සැලකිය හැකිය. ථූපාරාම චෛත්‍යයේ ඉතා අලංකාර වූත් වැදගත් වූ අංගයක් වන්නේ එහි ඇති චේතියඝරය  හෙවත් වටදාගෙයයි. එනම් අව් වැසි සුළං ආදී බාහිර උවදුරුවලින් චෛත්‍යයට ආරක්ෂාව ලබාදීම සඳහා  ඒවටා පියස්සක් සහිතව ඉදිකරනු ලබන ගොඩනැගිල්ලකි. මෙම චේතියඝරය වසභ රජතුමා (ක්‍රි. ව. 65-109) ථූපාරාම වටදාගෙය සෑදූ බවට මහාවංසය සඳහන් කරයි. ඒ නිසා ඒ වන විටත් මේ කියන ස්තූප වේදිකාව තිබුණු බවට සිතිය හැකිය. පසු කාලයක වටදාගෙය ඉදිකිරීමේදී හෝ වෙනත් ඉදිකිරීම් අවස්ථාවකදී මෙහි වපසරිය විශාල කරන්නට ඇති බැව්ද සමහර පරේක්ෂකයෝ පවසති. 

ථූපාරාම චෛත්‍යයේ ඉතා අලංකාර වූත් වැදගත් වූ අංගයක් වන මෙම චේතියඝරය හෙවත් වටදාගෙය අව් වැසි සුළං ආදී බාහිර උවදුරුවලින් චෛත්‍යයට ආරක්ෂාව ලබාදීම මෙන්ම ඒවටා පියස්සක් සහිතව ඉදිකරනු ලබන ගොඩනැගිල්ලක් වන බැවින් එය සැදැහැවතුන්ගේ වන්දනාවන්ට ද ගෙන දෙන්නේ පහසුවකි. මෙම චේතියඝරය වසභ රජු විසින් නිර්මිත යැයි පැවසේ. චෛත්‍ය වටා නැංවූ අලංකාර සෙල් කුළුණු පේළි සතරක් තිබෙන අතර දාගැබට සමීපව එහේ ඇතුළු වටේ කුළුණු පනස් දෙකක් ඇත එකක උස අඩි විසි දෙකයි අඟල් දහයකි. වටදාගෙය නිසා අව්වැසි සුළං ආදී බාහිර පරිසර උපදුරුවලින් චෛත්‍යයට ආරක්ෂාව සැපයේ. ඒ වගේම සැදැහැවතුන්ට සුවපහසුවට සිය වන්දනා කටයුතු කිරීමටද ඉඩ සැලැසේ.

ථූපාරාමයේ පාදමේ විෂ්කම්භය අඩි 40යි අඟල් 6ක් වූ ගර්භය අඩි 7යි අඟල් 3ක් උසැති වටකුරු අඩිතාලමක් මත පිහිටා ඇත. එය මාලක දෙකකින් යුක්තය. එක් මාලකයක් බොරදම් කළ පාදමකින් හා මුදුන් වැස්මකින් යුක්තය. පහත මාලය හුනු ගල් අතුරා නිමවා තිබේ. ප්‍රධාන වශයෙන් ගඩොල්වලින් නිර්මාණය කර ඇති ඉහළ මාලකය අඩි දෙකයි අඟල් දෙකක් ඇතුළට ගිලී තිබීම නිසා ස්තූපය වටේ දිවෙන වැටියක් සෑදී ඇති බවත් පරණවිතාන මහතාගේ වාර්තාවන්හි  සදහන්වේ. 

අනුරාධපුර යුගයේදී වටදාගෙයක් සහිත ථූපාරාම චෛත්‍යය කෙතරම් මනස්කාන්ත නිර්මාණයක් වන්නට ඇතැයි අදටත් මෙලෙස දකින මනස්කාන්ත නටබුන්වලින් සිතාගත හැකිය. මෙම චේතියඝරය විවිධ රජවරුන් විසින් විටින්විට ප්‍රතිසංස්කරණය කරවා ඇති බව සඳහන්වේ. ථූපාරාමය අතීතයේදී විහාරයකට අවශ්‍ය සියලුම අංගවලින් සමන්විත වී තිබේ. එහි වූ උපාසතාඝරය නටබුන් අතරත් දැකිය හැකිය. චෛත්‍ය සමීපයේ ඊට නිරත දිගින් එහි ගල් කුළුණු තවමත් දැකගත හැකිය. එම ගොඩනැගිල්ල අසල අලංකාර සෙල්මුවා බෙහෙත් ඔරුවක්ද තිබේ. එය ථූපාරාමයේ බෙහෙත්ශාලාවට අයත් එකක් සැලකේ.

ජයසිරිමා බෝධි රෝපණයේදී හටගත් අෂ්ඨඵලරුහ බෝධීන් වහන්සේ නමක් ථූපාරාමයේ රෝපණය කරන ලද බව වංශ කථාවල සඳහන් වේ. එම බෝධීන් වහන්සේ වැඩසිටි ථූපාරාමයේ බෝධිඝරය, මෑතකදී කරන ලද පුරාවිද්‍යා කැණීම් මගින් මතු කරගෙන තිබේ. චෛත්‍යට යාබදව ඊට බටහිරෙන් එය දැකගත හැකිය. වර්තමානයේ අපට දැක ගත හැක්කේ පසුගිය සියවස මුලදී අවසන්වරට ප්‍රතිසංස්කරණය කරන ලද ථූපාරාම චෛත්‍යයේ ඝණ්ඨාකාර හැඩය එම ප්‍රතිසංස්කරණයන්හි ප්‍රතිඵලයකි.

ථූපාරාම මග දෙපස ස්ථාන කිහිපයකම අලුතෙන් කැණීම් සිදුකරන ආකාරය දක්නට ලැබේ. සංඝමිත්තා ස්ථූපය අසළද එවන් කැණීම් දක්නට තිබේ. දැනට සිදුවෙමින් පවතින පුරාවිද්‍යා කැණීම් හමුවේ නව පුරාවිද්‍යා නටඹුන් කිහිපයක්ම හමු වී ඇත. එහිදී ථූපාරාමය චෛත්‍ය ඉදිරිපස අලුත් පෙත්මගක් යැයි සිතිය හැකි ස්ථානය කිහිපයක් හදුනාගෙන තිබේ. මෙලෙස සාක්ෂි සාධක හමුවෙමින් දිගහැරෙන්නේ තවත් අලුත්ම යුගයක් නොවේද ?

මේ පිළිබදව අප කළ විමසුමේදී  ථූපාරාම විහාරස්ථානයේ විහාරාධිකාරී ශාස්ත්‍රපති කහල්ලේ ඥානින්ද නාහිමියෝ වදාළේ දිගටම කැණීම් කටයුතු සිදු වෙමින් පවතින බව.  මෙහිදී පෙත්මගක් යැයි හැදින්විය හැකි කොටස් කිහිපයක්, සෙල්ලිපි සහ තවත් විශේෂ නටඹුන් රැසක් නව කැණීම් හමුවේ සොයා ගෙන ඇත. පුරාවිද්‍යා කැණීම් කටයුතු දිගටම සිදුවෙමින් තිබේ. තවම මෙම පරේක්ෂණ කටයුතු අවසන්ව නොමැති නිසා අලුතින් සොයාගත් නටඹුන්වල විස්තරයක් නිශ්චිතව කිව නොහැක. අප මේ ගැන ඔබව දිගටම දැනුවත් කිරීමට බලාපොරොත්තු වෙමු.  

දිනපතා රාත්‍රී 10වන තෙක් ථූපාරාමය වන්දනා කර ගැනීමට සැදැහැවතුන්ට අවස්ථාව උදා වන අතර සෑම පොහෝ දිනකදීම එළිවනතුරු ථූපාරම විහාරස්ථානය වන්දනා කළ හැකිය. ආරක්ෂාව සම්බදයෙන් පැන නැගී ඇති ගැටළු අරඹයා මෙලෙස සාමාන්‍ය දිනයන්හිදී රාත්‍රී 10න් පසු විහාරස්ථාන වන්දනා කළ නොහැක. මේ ගැනද අප නායක හිමිගෙන් කළ විමසුමේදී උන්වහන්සේ පැවසුවේ ආරක්ෂා ලබා දීමේ වැඩපිළිවෙලක් සැකසෙනවා නම් ථූපාරාමය රාත්‍රී කාලයේද විවෘතව තැබිය හැකි බවයි. පොසොන් පෝයට අනුරාධපුර වන්දනා කරන්න පැමිණෙන ඔබට පෝදා සීල සමාධි වැඩසටහන්, විශේෂ විදුලි ආලෝක පුජාවන් ඇතුළු ථුපාරාමය පුදබිමේ පැවැත්වෙන විශේෂ පුජාවන්ට සහභාගී වීමේ හැකියාව ඇත. විශ්‍රාම ශාලාවක් නොමැතිකම ථූපාරමයට ඇති විශේෂ අඩුවකි. මේ සම්බදයෙන් ද අප කළ විමසුමේදී නායකහිමියෝ වදාළේ ථූපාරාම විශ්‍රාම ශාලාව ඉදිකෙරෙමින් තිබෙන බවත් එවැනිම දාන ශාලාව, සංඝාවාසය සහ ධර්මශාලාව ඉදිකිරිම සදහා මේ වන විට පිඹුරු පත් සකස් කර ඇති බවත්ය. ඒ සදහා පිං කැමති ඔබට මෙම (WhatsApp 0716669696, 0252235284)  වට්ස්ඇප් හරහා සම්බන්ද විය හැකිය.

හෙළයන්ගේ හෙළ ඉතිහාසය ගැන අප තවම දන්නේ ස්වල්ප දෙයකි. දිගින් දිගටම සිදු කරන කැණීම් හමුවේද විවිධ ගවේෂණ පරේක්ෂණ හමුවේ අපට හෙළිවන්නේ ඒ හෙළ ඉතිහාසයේ පෞඩත්වයයි. මෙවැනිම තවත් ගවේෂණයකින් නැවත හමුවෙමු.

 

ථූපාරාම විහාරස්ථානයේ විහාරාධිකාරී

ශාස්ත්‍රපති කහල්ලේ ඥානින්ද නාහිමි

 

අශන්ති වරුණසූරිය

බෙල්ලන්විල පොසොන් කලාපය දින 3ක්.. Read Previous

බෙල්ලන්විල පොසොන් කලාපය දින 3ක්..

ජොං-මූන් චෝයි මහතා සහ මහින්ද අතර හමුවක් Read Next

ජොං-මූන් චෝයි මහතා සහ මහින්ද අතර හමුවක්

Realted Post

Leave a comment