යොහානිගේ හදගැස්ම ඔකෙස්ට්‍රා ස්වරයකින්: “ආදරෙයි“ ප්‍රසංගය පිටුපස ඇති සැබෑ කතාව

ලංකාවෙන් බිහිවී ජාත්‍යන්තර සංගීත ක්ෂේත්‍රයම තමන්ගේ අනන්‍යතාවයෙන් වර්ණවත් කළ අපේ ආදරණීය තාරකාව, යොහානි ද සිල්වා ඇගේ සංගීත ජීවිතයේ සුවිශේෂීම කඩඉමකට ළඟා වෙමින් සිටියි. ඒ ඇගේ පළමු දැවැන්ත සජීවී ඔකෙස්ට්‍රා ප්‍රසංගය වන “ආදරෙයි“ සමඟිනි. එළඹෙන අගෝස්තු 07 සහ 08 වැනිදා කොළඹ බිෂොප් විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී (Bishop's College Auditorium) පැවැත්වීමට නියමිත මේ මහා සංගීත මංගල්‍යය පිළිබඳව යොහානි ඇගේ හදවතේ කතාව අප සමඟ මෙලෙස විවර කළාය.

2019 වසරේ සිට මේ දක්වා තමන්ගේම ස්වයං නිර්මාණ 55කට අධික ප්‍රමාණයක් ප්‍රේක්ෂකයන්ට දායාද කර ඇති යොහානි, ඉන් සුවිශේෂී ගීත 30ක් තෝරාගෙන මෙම ප්‍රසංගය හැඩගැන්වීමට සූදානම් වේ. ඇගේ ජනප්‍රිය පොප් සහ ඩිජිටල් හෙවි (Digital Heavy) ගීත නිර්මාණ, සජීවී ඔකෙස්ට්‍රා (Orchestra) සංගීත ශෛලියට මුසු වී රසිකයන් වෙත ගලා එන්නේ ඇගේ සංගීත දිවියේ පළමු වතාවටය.

“මගේ ‘චුට්ටක් චුට්ටක්’ වගේ පොප් සිංදුවක් ඔකෙස්ට්‍රා එකක් එක්ක අහද්දී දැනෙන වෙනස හරිම අලුත්. ඒක රසිකයන්ට වගේම මටත් ලොකු අත්දැකීමක් වේවි.“ යොහානි පවසන්නීය.


මෙම ප්‍රසංගය සඳහා “ආදරෙයි“ යන නම තෝරාගැනීමට විශේෂ හේතුවක් ඇත. ඒ ඇගේ දෙවැනි ගීත එකතුව (Album) රසිකයන් වෙනුවෙන්ම “ආදරෙයි“ නමින් නම් කර තිබීමයි.

තමන් අද සිටින තැනට එසවූ ආදරණීය රසික රසිකාවියන්, පවුලේ අය සහ මිතුරන් වෙනුවෙන් ඇය තුළ ඇති අසීමිත ලැදියාව සහ ගෞරවය ප්‍රකාශ කිරීමට හොඳම වදන “ආදරය“ බව ඇය විශ්වාස කරයි. පැය දෙකක් පුරා දිවෙන මෙම ප්‍රසංගය පුරාම රසිකයන්ට නොසිතුණු සුවිශේෂී සප්‍රායීස් (Surprises) රැසක්ද බලාපොරොත්තු විය හැක.

පබ් (Pub) එකක සුළුවෙන් ගීත ගැයූ අතීතයේ සිට අද දහස් ගණනක ප්‍රේක්ෂකාගාරයක් ඉදිරියට පැමිණෙන තෙක්ම ඇය තුළ ඇති සංගීතමය නොයිවසිලිමත් බව සහ නොසන්සුන්තාවය (Nervousness) එලෙසම පවතින බව ඇය පවසයි.

“මම සංගීතය කරන්න පටන් ගත්ත දවසේ ඉඳලා තිබුණු ඒ හැඟීම මට තාමත් තියෙනවා. හැබැයි ඒ හැමදේටම වඩා වටින්නේ තමන්ට තියෙන ආත්ම විශ්වාසය සහ ස්වයං විනයයි.“

ජාත්‍යන්තරය ජයගැනීමේදී කාන්තාවක ලෙස මුහුණ දීමට සිදුවන අභියෝග පිළිබඳව අදහස් දක්වමින් ඇය කියා සිටියේ හොඳ සන්නිවේදන හැකියාවක් (Communication Skills) සහ “මට මේක කරන්න පුළුවන්“ යන ස්ථිර අධිෂ්ඨානය ඕනෑම කෙනෙකුට පෙරට යාමට අත්‍යවශ්‍ය බවයි.

යොහානිගේ මේ දැවැන්ත ගමන පිටුපස සිටින්නේ ඇගේ දක්ෂ නිෂ්පාදන කණ්ඩායමයි (Production Team). විශේෂයෙන්ම වසර 11ක් තිස්සේ ඇය සමඟ සෙවනැල්ලක් මෙන් රැඳී සිටින දිලන්ජන් ඇතුළු සමස්ත කණ්ඩායම මේ දැවැන්ත ප්‍රසංගයේ පෙරහුරු සහ සංවිධාන කටයුතු වෙනුවෙන් කැපවී වැඩ කරති.

විදේශීය රසිකයන් පවා ඇගේ “හාල්මැස්සා“ වැනි බයිලා ගීතවලට ඉහළ ප්‍රතිචාර දක්වන බව පවසන ඇය, තරඟකාරී ලෝකයක ඉදිරියට යාමට නම් නිරන්තරයෙන්ම තමන්ගේ කුසලතා වර්ධනය කරගත යුතු බව තරුණ පරපුරට මතක් කර දෙන්නීය.

“ආදරෙයි“ ප්‍රසංගයෙන් පසුව ඇගේ තුන්වැනි ගීත එකතුව වන **“සද්දේ“** ඇල්බමය රසිකයන් වෙත මුදාහැරීමට කටයුතු සූදානම් කර ඇත. විශේෂම පුවත නම්, එම ඇල්බමයට ඇතුළත් සුවිශේෂී අලුත්ම ගීතයක් මෙම “ආදරෙයි“ ප්‍රසංගයේදී පළමු වරට සජීවීව ගායනා කිරීමටද යොහානි සූදානමින් සිටියි.

“හීන දකින්න, ඒ වගේම ඉගෙන ගන්න එක කවදාවත් නතර කරන්න එපා“ යැයි නවකයන්ට පවසන යොහානි, අගෝස්තු 07 සහ 08 වැනිදාට ඇගේ හදගැස්මේ ස්වරය ශ්‍රවණය කරන්නට පැමිණෙන ලෙස සමස්ත ශ්‍රී ලාංකීය සංගීත ලෝලීන්ට ආදරයෙන් ආරාධනා කර සිටින්නීය.

 

සටහන: කසුනි විජේසිංහ

අවුරුදු 1,200ක් පැරණි අද්භූත පොතක් හමු වෙලා Read Previous

අවුරුදු 1,200ක් පැරණි අද්භූත පොතක් හමු වෙලා

අවුරුදු 1,200ක් පැරණි අද්භූත පොතක් හමු වෙලා Read Next

අවුරුදු 1,200ක් පැරණි අද්භූත පොතක් හමු වෙලා

Realted Post

Leave a comment