සටනින් ජය ලබන්න දෙවන රාජසිංහ රජු කතරගම දෙවියන්ගේ ආශිර්වාදය ලැබූ අයුරු

උඩරට රාජධානියේ දෙවන රාජසිංහ රජතුමන් පෘතුගීසීන්ට එරෙහිව ගෙන ගිය සටන්වලදී කතරගම කන්දස්වාමින් වහන්සේගේ ආශිර්වාදය හා උපකාරය ලැබූ බව පැරණි මූලාශ්‍ර කිහිපයක සඳහන් වේ. එම සාක්ෂි අතරින් වැදගත්ම මූලාශ්‍රයක් ලෙස සිරිත් පොත හඳුන්වා දිය හැකිය.

එහි සඳහන් වන ආකාරයට, දිගු කාලයක් යුද්ධ කිරීමට නොහැකි වූ අවස්ථාවක රාජසිංහ රජතුමා කතරගමට ගොස් කන්දස්වාමින් වහන්සේගේ පිහිට පැතීය. එහිදී දේවාලයේ චාරිත්‍රානුකූල වතාවත් සිදුකරමින් සිටියදී කන්දස්වාමින් වහන්සේ රජු අමතා යුද්ධය ආරම්භ කිරීම සඳහා සුදුසු කාලය පැමිණ ඇති බව දන්වා වදාළ බව සිරිත් පොත විස්තර කරයි. අනතුරුව කඩවත්තොට ප්‍රදේශය ආවරණය කරමින් කළු වලාකුළක් පැතිර ගිය අතර, එහි සෙවණ යටතේ සතුරන්ට එරෙහිව ප්‍රහාරය ආරම්භ කිරීමට අවසර ලැබුණු බවද එහි සඳහන් වේ. එම අවස්ථාවේදී පරංගි හමුදාවට එල්ල කළ ප්‍රහාරය ජයග්‍රහණයකින් අවසන් වූ බවද වාර්තා වේ.

සිරිත් පොතේ සඳහන් මෙම සටන ප්‍රකට රන්දෙණිවෙල සහ ගන්නෝරුව යන පරංගි සටන් දෙක අතර කාලයේ, ලේවැල්ල තොටුපළ ආශ්‍රිතව සිදු වූ ගැටුම ලෙස සැලකේ. රහසිගතව උඩරටට ඇතුළු වූ පෘතුගීසි හමුදාව එහිදී දැඩි පරාජයකට ලක් වූ බව ඉතිහාසය සඳහන් කරයි.

තවද රන්දෙණිවෙල සටනින් ලැබූ විශිෂ්ට ජයග්‍රහණයෙන් අනතුරුව, බදුලු කතරගම දේවාලය නැවත ප්‍රතිසංස්කරණය කර රුහුණු කතරගම දේවාලයට පුදපඬුරු පූජා කිරීමට රාජසිංහ රජතුමා කටයුතු කළේ එම ජයග්‍රහණය කතරගම දෙවියන්ගේ ආශිර්වාදයෙන් ලැබුණු බවට වූ විශ්වාසය නිසාය.

මෙම විශ්වාසය පහත සඳහන් සංස්කෘත ස්තෝත්‍රයෙන්ද ප්‍රකාශ වේ.

රාජසිංහ නරදේව ලංකපුර රාජධානි කෘත වර්ධනං
තේජරාජ ප්‍රතිකාල යෝධභට දර්පභංග කෘත යෝජනං
දාන ඛඩ්ග ශ්‍රී හස්ත යුක්ත මණිවික්‍රමස්‍ය බල සංයුතං
තේජරාජ මහ පූජනීය සිරි පාද පාද ප්‍රණමාම්‍යහම්


අශන්ති වරුණසූරිය

තාරුණ්‍යය රකින මැටි සත්කාර Read Previous

තාරුණ්‍යය රකින මැටි සත්කාර

මේ ඉරිදා රෝස පාට ක්‍රිකට් පිටියකට එකතු වෙමු Read Next

මේ ඉරිදා රෝස පාට ක්‍රිකට් පිටියකට එකතු වෙමු

Realted Post

Leave a comment