රැජිණියකි ඇය අදටත් අබාධිත දරුවන් නොමිලේ රකිනා...

ගිණියමට පත්තියම් වූ දාහය නොහැගෙනවා සේ, ඔහු කම්බි අතරින් දෙඇස් යොමාගෙන එහෙමෙහෙ දුවන වාහන දෙස බලා සිටින්නේ මුවඟ සිනා රන්දමිනි.  "එයාලා ගොඩක් වෙලාට ඔහොම පාර දිහා බලාගෙන ඉන්නවා. මිනිස්සු ලස්සනට  හැඳපැළඳගෙන ඇවිදිනවා, එහෙ මෙහෙ යනවා. මුකුත් නොකිවුවට මෙයාලත් මිනිස්සු විදියට ආසයි එහෙම ඉන්න". මා බලා සිටින දෙස බලා ජගත් මහත්තයා එසේ පැවසුවේ මගේ අවධානය බිඳිමින්. ඔහු ජගත් කෝදාගොඩ. වික්ටෝරියා නිවසේ වත්මන් අධ්‍යක්‍ෂක. 

 මෙලෙස අපේ අවධානය යොමු වුණේ රාජගිරියේ වික්ටෝරියා නිවාසයට. වික්ටෝරියා රැජිණගේ 50වන සැමරුමටම සමගාමීව 1880 වර්ෂයේදී, එවකට සිටි යටත්විජිත මහලේකම්,  යටත්විජිත භාණ්ඩාගාරික, යටත්විජිත ප්‍රධාන වෛද්‍ය නිලධාරී යන, තවත් එවකට සිටි ප්‍රභූ කණ්ඩායමක එකතුවකින් ආරම්භව පවත්වාගෙන යනු ලබන වික්ටෝරියා නිවාසය එදා සිට මේ දක්වා  සුව කල නොහැකි ආබාධිත ප්‍රජාව වෙනුවෙන් නොමිලේ සේවාවන් සැපයීමට වෙන් වූවක්. ඔවුන්ගේ සියලු අවශ්‍යතා සපුරමින් ජීවිතාන්තය දක්වා ඔවුන්ව රැක බලා ගන්නට වික්ටෝරියාව වග වෙලා. 

මේ වන විට නිවාසයේ සාමාජික සාමාජිකාවන් 113ක පමණ පිරිසක් සිටිනවා. අවුරුදු 15-55 අතර සුව කළ නොහැකි ආබාධිත රෝග ඇති පිරිස මෙලෙස නිවාසයට බඳවා ගන්නා අතර, මෙහි නිල බලයෙන්ම වගකීම් හිමි වන්නේ කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයටයි. ඒ අනුව අබාධිත සාමාජිකයා හෝ ඔවුන්ගේ භාරකරුවෙකු විසින් කොළඹ දිසාපතිට ඉල්ලීමක් කිරීමෙන් මෙම නිවාසයට ඇතුළු වීමට හැකියාව තියෙනවා. මෙහිදී ඊට අවශ්‍ය හේතු ද සැපයිය යුතු අතර ග්‍රාම නිලධාරී ඇතුලු 
 පාලක මණ්ඩලයෙන් ගන්නා අවසන් තීරණයට අනුව නිවාස ගත විය හැකියි. කාන්තා පිරිමි දෙපාර්ශවයටම විවෘත වික්ටෝරියාව ලංකාවේ ඕනෑම තැනක වෙසෙන සුවකළ නොහැකි අබාධිත තත්ත්වයෙන් පසුවන අයෙක් වේ නම්, සෙවණ සැලසීමට සුදානමින් සිටිනවා.

රාජ්‍ය නිලධාරී මණ්ඩලයකින් පරිපාලනය වන වික්ටෝරියාව මසකට වරක් විගණනයටද ලක් වන අතර සියල්ල විනිවිද භාවයෙන් යුතු බව ජගත් මහතා පවසන්නේ, එලෙස රජයේ විගණනයට ලක්වන එකම රාජ්‍ය ආයතනයද මෙය බව පවසමින්.
ඔහු වැඩි දුරටත් පරිත්‍යාග පිළිබඳව පැවසුවේ මෙවැන්නක්.
 "ඔබට අවශ්‍ය නම් මුදල් හෝ ද්‍රව්‍ය වශයෙන් පරිත්‍යාග ලබා දෙන්න පුලුවන්. එසේත් නැතිනම් දානයක්, උපන්දිනයක් සැමරුමක් වුවත් සිදු කරන්න පුලුවන්. මේවන විට ලැබීම් අඩු වෙලා. නිවාසයේ අවශ්‍යතාවන්ට අනුව පරිත්‍යාග බාර ගැනීම් සිදු කරනවා. ඒවගේම කියන්න ඕන, එලෙස  පරිත්‍යාග ලබා දෙන කෙනාට ඒ ගැන සොයා බලා, අපි දුන්න පරිත්‍යාග වලට මොකද වුණේ කියලා හොයලා බලන්නත් පුලුවන්. මේ අයට අනුකම්පාව අවශ්‍ය නැහැ. අපි හැමෝම මිනිස්සු. මේ අපේම කොටසක් කියලා හිතලා, යුතුකමක් විදිහට  ආබාධිත ප්‍රජාව දෙස බලන්න හැකි නම්, ආබාධිත ප්‍රජාවගේ කතාව වෙනස් කරන්න පුලුවන්".

අක්කර 4ක පමණ භූමියක පිහිටි වික්ටෝරියා නිවාසයේ එක කොටසක් පංචකර්ම ආයුර්වේද ප්‍රතිකාර ක්‍රම සඳහා වෙන් කර තිබෙනවා. අප එතැනට යන විටත් ප්‍රධාන ආයුර්වේද වෛද්‍යවරයා ඇතුලු සෙසු වෛදවරුන් දෙදෙනෙක් ආබාධිත ප්‍රජාවට ප්‍රතිකාර කරමින් සිටින අයුරු දැක ගැනීමට හැකි වුණා. බස්නාහිර පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කුලුණු ජයතිලක මහතා අප සමඟ දොඩමලු වෙමින් පැවසුවේ  අබාධ තත්වයන් හේතුවෙන් හට ගත් රෝගවලින් බහුතරයක් රෝගීන් සුව වෙමින් සිටින බවයි. ආයුර්වේද පංචකර්ම ප්‍රතිකර්ම සුව සලසන ක්‍රමයක් බවත්, කෙතරම් අපහසු වුවත් ඔවුන් සිය සේවය උපරිම ලෙස ලබා දීමට බැඳී සිටින බවත් පැවසුවා.

ආබාධිත රෝගීන්ගේ රෝග ස්වභාවයන්ට අනුව තෙල් සත්කාර, වස්ති ප්‍රතිකාර, සම්භාහන ප්‍රතිකාර ක්‍රම මෙන්ම තවත් බොහෝ ප්‍රතිකාර ක්‍රම  මෙම ස්ථානයේ සිදුවනවා. වික්ටෝරියා නිවාසයේ ප්‍රජාව සහ ඔවුන්ගේ සේවක ප්‍රජාව වෙනුවෙන්  නොමිලේ පංචකර්ම ප්‍රතිකර්ම ක්‍රම සෑම බ්‍රහස්පතින්දාවකම සිදු වන අතර, එයින් සෙසු රෝගීන්ට ප්‍රතිකාර ලබා ගැනීමට නොහැකි බවත් සඳහන් කළ යුතුයි. නමුත් ආයුර්වේද වෛද්‍ය කුලුණු පැවසූ පරිදි සෑම දිස්ත්‍රික්කයකම ප්‍රජා සෞඛ්‍ය ඒකකය මගින් ඔබට අවශ්‍ය ප්‍රතිකාර ක්‍රම නොමිලේ ලබා ගැනීමේ හැකියාව පවතිනවා. 


"සුව කල නොහැකියි කියලා කිව්වට සියයට සියයක් සුව කරන්න බැරි වුණත්, යම් ප්‍රමාණයකට ඔවුන්ව සුව කිරීමට පුළුවන්.  ඔවුන්ගේ වැඩ ටික තනියම කරගත හැකි තත්වයට ගැනීමට හැකි වීමයි අප ලබන ලොකුම ජයග්‍රහණය."

ඔවුන්ගේ ප්‍රතිකර්මවලට තවත් බාධා නොකර මම වික්ටෝරියා පංචකර්ම ඒකකයෙන් එළියට පැමිණි මොහොතේ ආයුර්වේද වෛද්‍ය කුලුණු පැවසූ දෙයක් තවමත් මගේ මතකයේ හොඳින්ම තැන්පත්ව තියෙනවා. ඒ සටහන අවසන් වශයෙන් මෙසේ තබමි. 
"අශන්ති, වෙන  hit වෙන දෙයක් කරලා ඔයාලටත් මේ කාලය වෙන දේකට යොදන්න තිබ්බා. ඒත් ඔයාලා ගත්ත මේ වෙලාව ලොකු සමාජ මෙහෙවරක්. අර පාර එහා පැත්තේ සිඟමන් යදින යාචකයා කඩේකින් ගිහිං බොන තේ එකට ඒ කඩේ මුදලාලි  ටැක්ස් ගෙවනවා, අන්න ඒ ටැක්ස් එකෙන් මගේ පඩි ගෙවනවා නම් මම අවංකව මේ වැඩේ යුතුකමක් ලෙසින් ගෙන වගකියන්න ඕන". ඒ වචන ටිකේ ලොකු තේරුමක් තිබ්බා. ඇත්තටම ඒක නේද වෙන්න ඕන ? රාජ්‍ය නිලධාරීන් වගේම සෙසු සියලු දෙනාම එහෙම හිතනවා නම් සැබවින්ම මේ සමාජය මීට වඩා වෙනස් වේවි ! 

හිතන්න මොහොතක් .....

සියල්ලන්ටම ස්තූති කරමින් අප පිටතට පැමිණෙන විට රෝද පුටුවල එළිමහනේ සිටි ඒ සහෝදර පිරිස,
යනවද ? ආපහු එන්න .. බායි .. බායි ... කියමින් සිනාසුණා. 
තනිකමින් සිටින ඔවුන් වෙනුවෙන් ඔබට හැකි නම් පොඩි වෙලාවක් වෙන් කර කතා කරන්න, ඉතිං එහෙනම් යන්න වික්ටෝරියාවට.. 
කා, බී සිනාසෙන්න යන්න වික්ටෝරියාවට..
ඔබට දැනෙයි පුදුමාකාර වෙනසක්... 
එය අකුරට පෙරළිය නොහැකි අමුතුම හැඟීමක්. 

 
අශන්ති වරුණසූරිය

රැජිණියකි ඇය අදටත් අබාධිත දරුවන් නොමිලේ  රකිනා... Read Previous

රැජිණියකි ඇය අදටත් අබාධිත දරුවන් නොමිලේ රකිනා...

ආබාධය ජීවිතයට  බාධාවක්  නොකර ගත්  ඇය - වසන්තා Read Next

ආබාධය ජීවිතයට බාධාවක් නොකර ගත් ඇය - වසන්තා

Realted Post

Leave a comment