වන්දනා ගමන් යන්න පෙර
පොසොන් උදාවත් සමඟ ලැබෙන නිවාඩු දින කිහිපය තුළ වන්දනා ගමන් යාමට බොහෝ දෙනා සැලසුම් කරනවා. මෙවැනි වන්දනාමාන වලට එන්නේ බොහෝදුර බැහැරින් වගේම හිතේ බොහොම භක්තියකින්. ඒ නිසාම බොහෝ දෙනාට තමන්ගේ සහ තමන් සමඟ ආ සාමාජිකයන්ට අමතක වී යන කාරණා බොහෝ තිබෙනවා. ඉන් එක් ප්‍රධානම කාරණය වන්නේ තමන්ගේ සෞඛ්‍ය තත්ත්වයයි. නමුත් මෙවැනි ගමන්වලදී ඔබ සහ ඔබේ ආදරණියන් විසින් දැක ගත යුතු ප්‍රධානම සාධකය වෙන්නේත් ඒ තත්ත්වයයි. වන්දනා ගමන් යන්න පෙර ඔබේ සෞඛ්‍ය තත්ත්වය රැක ගන්නේ කොහොමද කියන දේ ගැන පුංචි කතාබහකි මේ.
ආහාර හා පානීය ජලය.
වන්දනා ගමන් එන බහුතරයක්ම පානීය වතුර සහ ආහාර නිවසින් ගෙනා ඒවා අවසන් වූ විගස නැවතත් ආහාර ගැනීම සහ ජලය භාවිතයට ගන්නේ පිටතිනි.
එතනදි බොහෝවිට අවදානමක් වන්නේ අපිරිසුදු ආහාර සහ වතුර භාවිත හේතුවෙන් මතුවන රෝග වන පාචනය, වමනය ,බඩේ කැක්කුම වැනි තත්ත්වයන් උත්සන්න වීමයි.
ඒ නිසා විශ්වාසවන්ත සීල් කරන ලද උණු කර නිවා ගත් වතුර පමණක් භාවිතය වගේම දන්සලකින් හෝ වෙළඳ සැලකින් ආහාර ගැනීම සිදුකරනවා නම් එම ස්ථානයේ පවිත්‍රතාවය පිළිබඳ බොහෝ සැලකිලිමත් වීම වැදගත් වෙනවා. මැස්සන් වසා විවෘතව තබා ඇති ආහාර ගැනීමෙන් වැළකී හොඳින් පිසූ ආහාර ලබා ගැනීම සිදුකරන්න.
නිවසින් කෑම ඔබ රැගෙන ඒමේදී ඒවා බොහෝ වෙලාවට නරක් වීමේ සම්භාවිතාව ඉහළ යනවා. ඒ නිසා ඉක්මනින් නරක්වන කෑම වර්ග රැගෙන නොයන්න. කෑම වර්ග වෙන වෙනම අසුරා රැගෙන යන්න
වැසිකිලි භාවිතය වගේම පුද්ගලික සනීපාරක්ෂාව.
බොහෝ සෙනඟ ගැවසෙන පරිසර වල පොදු වැසිකිලි භාවිත කිරීමට යාමෙන් රෝග බිහි බෝවීමේ අවදානමක් තියෙනවා. වැසිකිලි භාවිතයෙන් පසු හොඳින් සබන් යොදා දෑත් සෙදීම අමතක කරන්න එපා. හෑන්ඩ් සැනිටයිසර් එකක් වගේම සබන් කෑල්ලක් ගමන් බෑගයේ තබා ගැනීම ප්‍රායෝගික වෙනවා.
දුර ගමන් යාමේදී වාහනවලදී මතුවන සංකූලතා.
දුර ගමන් නිසා මතුවන අපහසුතා නිසා සමහරු ගමන් යෑම එපා වෙනවා කියලා කියනවා. නමුත් මේ තත්ත්වේදී ඔබට නිතර මතුවෙනවා නම් ඒ සඳහා වෛද්‍ය උපදෙස් මත සුදුසු ඖෂධ ලබා ගැනීම සිදුකරන්න. ඒ වගේම වාහනයක ඉදිරිපස අසුනේ ජනේලයක් අසල අසුනක් තෝරාගෙන පිටත පෙනෙන නිශ්චල වස්තුවක් දෙස සන්සුන්ව බලා සිටින්න. ඔබ ගමන යාම අතරතුර ජංගම දුරකථන තිරය නොබැලීම කරන්න. මෙවැනි පුංචි උපක්‍රම හරහා මේ තත්ත්වයන් සමනය කරගන්න පුළුවන් වෙනවා.
රෝගීන්
බෝ නොවන රෝග වලින් පෙළෙන හෝ ඔබ වෛද්‍ය නියමය අනුව ඖෂධ ලබාගන්නා කෙනෙකු නම් එම ඖෂධ රැගෙන යාම මතක තබා ගත යුතු අතර ඔබ කොහේ සිටියත් නියමිත වෙලාවට ඖෂධ මාත්‍රා ලබා ගැනීම වගේම ක්ලිනික් පොත ළඟ තබා ගැනීම කළ යුතුයි.
ඉන්සියුලින් භාවිතා කරන කෙනෙකු නම් එය අයිස් පැක් එකක රැගෙන යන්න.
ආතරයිටීස් ,සන්ධි රෝග වලින් පෙළෙන ගමන්කරුවෙකු නම් සමහරවිට ඔහුට මේ වන්දනා ගමන නිසා අපහසුතා අමතක වී යන්න පුළුවන්. නමුත් ඔබේ සීමාවල් හඳුනගෙන අධික ලෙස විඩා පත්තර ලෙස ඇවිදීම නොකර මඟදී විවේකය ලබා ගැනීම කරන අතරතුර වෛද්‍ය නියමය අනුව ඔබට බාහිර ආලේපන හෝ ඖෂධ ලබා තිබේ නම් ඒවා ළඟ තබාගන්න.
කුඩා දරුවන් රැගෙන යාමේදී.
අව් රශ්මිය, දේශගුණික විපර්යාස ,අධික ජනගහණය නිසා කුඩා දරුවන් ඉක්මණින් රෝගී වීම පුළුවන්. ඒ නිසා නිවසේදීම පිළියෙල කරගත් වතුර කෑම පමණක් භාවිතා කරන්න. වගේම තැඹිලි වතුර වැනි ස්වභාවික පාන වර්ග පමණක් දරුවාට ලබා දෙන්න. සැහැල්ලු ලා පැහැති ඇඳුමක්, කුඩයක්, තොප්පියක් දවල් කාලෙදි දරුවාට පළඳවන්න. දරුවාගේ බර, වයස අනුව ලබාදෙන ප්‍රථමාධාර බෑගයක් අනිවාර්යයෙන්ම රැගෙන යන්න.
මදුරු හා කෘමි දෂ්ට වලින් ආරක්ෂා වීමට.
රාත්‍රියේදී ඔබ නවාතැන් ගන්නා ස්ථානයේදී සිරුර සම්පූර්ණයෙන් වැසෙන පරිදි සැහැල්ලු අඳුමක් භාවිත කරන අතරතුර මදුරු විකර්ශනය භාවිත කරන්න අමතක කරන්න එපා.
දිය නෑමදී
වැව් වැනි ස්වභාවික ස්ථානවලින් ඔබ දිය නෑමට කැමති වුණත් නොදන්න පරිසරයකට ගිහින් දිය නෑම ගැන ප්‍රවේසම් වෙන්න. අනතුරු ගැන සංඥා පිළිබඳ අවදානම් කලාප ගැන බොහෝ සැලකිලිමත් වන්න.
වන්දනා සාමාජිකයන් මගහැරුණොත්.
ලක්ෂ සංඛ්‍යාත සෙනග මැද ඔබේ කණ්ඩායම එක්කෙනෙකු හෝ මගහැරීම සාමාන්‍ය සිද්ධියක් වෙනවා. එතනදි භාරකරුවෙකුගේ නම, දුරකථන අංක ,ස්ථිර ලිපි ඇතුළත් කාඩි පතක් ළඟ තබා ගන්න.
ප්‍රථමාධාර කට්ටලයක් ළඟ තබා ගන්න.
පැරසිටමෝල් , ජීවනි, තුවාල පිරිසිදු කරන දියර, ප්ලාස්ටර් වැනි ප්‍රථමාධාර පෙට්ටියට අවශ්‍ය වෙන දේවල් රැගෙන යන්න. හදිසි අසනීප තත්ත්වයක් සිදුවුවහොත් වෛද්‍ය කඳවුරකට හෝ රෝහලකට රෝගියාව රැගෙන යන්න. ඒ වගේම සුවසැරී ගිලන් රථය 1990 අමතා උපකාර ඉල්ලන්න.
අධික රස්නය නිසා ඔබට තිබහ ඇති විටෙක පැණි බීම පානයට නොයන්න.
සැර අව්වට යාමේදී කුඩයක් භාවිත කරන්න.
සටහන
මහේෂානි මීගහපොල
උපදෙස්
අනුරාධපුර ශික්ෂණ රෝහලේ සේවයෙහි නියුතු
වෛද්‍ය ගයාන් සෙනෙවිරත්න.

Leave a comment