සාම පා ගමනට එක්වන ‘ආලෝකා’ සහ ඔබ දැනගත යුතු සියල්ල

ලෝක සාමය උදෙසා ඇමරිකාවේ සිට වැඩම කරන භික්ෂූන් වහන්සේලා සමඟ ශ්‍රී ලංකාවට පැමිණෙන 'ආලෝකා' (Aloka) සුනඛයාගේ ආරක්ෂාව සහ සෞඛ්‍ය තත්ත්වය සහතික කරන ලෙස ඉල්ලමින් සත්ව සුභසාධන සන්ධානය (AWC) රජයේ බලධාරීන් වෙත විශේෂ ඉල්ලීමක් කර තිබේ.

පශු වෛද්‍ය චමිත් නානායක්කාර මහතා ඇතුළු නියෝජිත පිරිසක් විසින් සත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත මෙම ලිපිය යොමු කර ඇත.

ආලෝකා මුහුණ දිය හැකි අවදානම් තත්ත්වයන්

කලක් වීදි සුනඛයෙකුව සිට පසුව ඇමරිකාවේදී විශේෂ පුහුණුව ලත් සේවා සුනඛයෙකු (Certified Service Dog) බවට පත් වූ ආලෝකා, ශ්‍රී ලංකාවේ පවතින දේශගුණික සහ පරිසර තත්ත්වයන් යටතේ දැඩි අවදානමකට ලක්විය හැකි බව එම ලිපියෙන් පෙන්වා දෙයි.

අධික උෂ්ණත්වය: ඇමරිකාවට වඩා මෙරට පවතින ඉහළ උෂ්ණත්වය හේතුවෙන් ආලෝකා 'තාප ආතතියට' (Heat Stress) ලක්වීමේ හැකියාව.

වීදි සුනඛ තර්ජන: පා ගමන ගමන් කරන මාර්ගවල සිටින වීදි සුනඛයන්ගෙන් එල්ල විය හැකි ප්‍රහාර.

මාරාන්තික රෝග: දැනට මෙරට පැතිර යන ඩිස්ටෙම්පර් (Distemper) සහ පැවෝ (Parvo) වැනි රෝග ආසාදනය වීමේ අවදානම.

සත්ව සුභසාධන සන්ධානය ඉල්ලා සිටින්නේ පා ගමන පුරාවට පශු වෛද්‍ය කණ්ඩායමක පූර්ණ අධීක්ෂණය ආලෝකා වෙත ලබා දෙන ලෙසයි. ඒ සඳහා අවශ්‍ය ඖෂධ සහ පහසුකම් සැපයීමට තම සංවිධානය සූදානම් බවද ඔවුහු පවසති.

ගුවන් යානයක මගී අසුනක් හිමි වූ 'බෝධිසත්ව' සුනඛයා

ආලෝකා මෙරටට පැමිණෙන්නේද විශේෂ වරප්‍රසාද සහිතවය. සාමාන්‍යයෙන් සුනඛයන් ගුවන් යානාවල භාණ්ඩ ගබඩා කරන කොටසේ රැගෙන ගියද, සහතිකලත් සේවා සුනඛයෙකු වන ආලෝකාට පූජ්‍ය පඤ්ඤාකර හිමියන් අසලම මගී කුටිය තුළ (In-cabin) ගමන් කිරීමට විශේෂ අසුනක් වෙන් කර තිබීම සුවිශේෂී සිදුවීමකි.

ජාත්‍යන්තර සාම පා ගමනේ ගමන් මඟ

විදේශීය භික්ෂූන් වහන්සේලා 12 නමකගේ සහභාගීත්වයෙන් සහ පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන් පැවැත්වෙන මෙම පා ගමන අප්‍රේල් 22 වන දින ඓතිහාසික අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අසලින් සහ දඹුල්ලෙන් ආරම්භ වීමට නියමිතය.

ප්‍රධාන කාලසටහන:

අප්‍රේල් 22: දඹුල්ලෙන් ආරම්භ වී මාතලේ අළුවිහාරයට.

අප්‍රේල් 23: මාතලේ සිට මහනුවරට.

අප්‍රේල් 24: ශ්‍රී දළදා මාලිගාවෙන් ආරම්භ වී බෙලිගම්මනට.

අප්‍රේල් 25: බෙලිගම්මන සිට තෝලංගමුවට.

අප්‍රේල් 26: තෝලංගමුවේ සිට යක්කලට.

අප්‍රේල් 27: යක්කල සිට කැළණිය රජමහා විහාරයට.

අප්‍රේල් 28: කැළණියේ සිට කොළඹ නිදහස් චතුරශ්‍රය හරහා ගංගාරාම විහාරස්ථානයට ළඟා වී පා ගමන නිමාවට පත්වේ.

මෙම ඓතිහාසික අවස්ථාවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද සහභාගී වීමට නියමිත අතර, මිනිස් සහ සත්ව බැඳීම නව මානයකට ඔසවා තැබීමට මෙම 'ආලෝකා'ගේ සහභාගීත්වය ඉවහල් වනු ඇතැයි සංවිධායකයෝ බලාපොරොත්තු වෙති.

සටහන - කසුනි විජේසිංහ 

සාමුහිකත්වය තුළින් අභියෝග ජයගෙන ‘පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්’ කරා යන ගමනට එක්වන්නැයි ජනපතිගෙන් ඇරයුම් Read Previous

සාමුහිකත්වය තුළින් අභියෝග ජයගෙන ‘පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්’ කරා යන ගමනට එක්වන්නැයි ජනපතිගෙන් ඇරයුම්

ජෝතිෂ්‍යය කියන්නේ මැජික් එකක් නෙවෙයි, ඒක ගණිතයක්! Read Next

ජෝතිෂ්‍යය කියන්නේ මැජික් එකක් නෙවෙයි, ඒක ගණිතයක්!

Realted Post

Leave a comment