සිප වැළදගැනීම් දර්ශන වුණත් රඟපෑමක් බව සැමියා දන්නවා

 

ලංකාවේ ජනප්‍රිය රියැලිටි තරගයක් ජයග්‍රහණය කරමින් ප්‍රවෘත්ති නිවේදිකාවක් හා වැඩසටහන් නිවේදිකාවක් ලෙස ජනප්‍රියත්වයට පත් වූ ඇය මේ වන විට රංගන ශිල්පිනියක් ලෙසද ප්‍රේක්ෂක සිත් පැහැරගත් රුවැත්තියකි.
මෑත කාලයේ රිදී තිරය හා පුංචි තිරය හරහා ප්‍රේක්ෂකාගාරයට එකතු වන ඇය චතූ රාජපක්ෂ යි. මේ දිනවල තිරගතවන ‘ද ගේම්’ චිත්‍රපටයේ රංජන් රාමනායකගේ නැගණියගේ චරිතයෙන් සහ ‘බන්ධනා’ ටෙලි නාට්‍යයේ ද්විත්ව චරිතවලට පණ පොවන චතූ මෙවර සිරිකත කවරය සරසන්නී ය.

 

 


 කොහොමද බන්ධනා එක්ක ගෙවන ජීවිතේ?
බන්ධනා පවුලත් එක්ක තමයි මේ දවස්වල ලොකු කාලයක් ගතවෙන්නේ. ඊට අමතරව ගගන පියවර ටෙලි නාට්‍යයටත් සම්බන්ධ වෙලා ඉන්නවා. අලුත් නිර්මාණ විදියට ‘රේස් ටූ’, ‘සුසුම් රස්තියාදුව’ ටෙලි නාට්‍යවල රූපගතකිරීම් ආරම්භ කළා. 

 


 කොහොමද බන්ධනාට ලැබෙන ප්‍රතිචාර?
මේ දවස්වල වැඩිපුරම ප්‍රතිචාර ලැබෙන්නේ බන්ධනා ටෙලි නාට්‍යයට. බන්ධනා කියන්නේ මට ලැබුණු වෙනස්ම නිර්මාණයක්. විශේෂයෙන්ම ස්තූතිවන්ත වෙනවා බුද්ධිනීි ජයවර්ධන අක්කාට. මම කරන්නේ ද්විත්ව චරිතයක්. ඒක මට ලොකු අභියෝගයක් වුණා. 

 


 බන්ධනා නාට්‍යයේ ප්‍රේමණීය දර්ශන දකිද්දි සැමියාගෙන් ලැබෙන ප්‍රතිචාර කොහොමද?
ලක්මි කියන චරිතය නිතරම ප්‍රේමයෙන් ඉන්න චරිතයක්. විශ්වව සිපගන්නවා දැකලා සමහරු කියනවා මගේ සැමියා කොහොම ඉන්නවද දන්නේ නෑ කියලා. සමහරු මගෙන් අහලත් තියෙනවා සැමියාගෙන් ප්‍රශ්න එන්නේ නැද්ද කියලා. කවදාවත් නීතිරීති දාලා කොටු කරලා මාව තියාගන්න සැමියා උත්සාහ කරන්නේ නැහැ. විවාහ වුණාට පස්සේ තමයි මම ගොඩක් චරිත නිදහසේ කරන්නේ කිව්වොත් හරි.

 


 ‘ද ගේම්’ චිත්‍රපටයත් එක්කත් චතූ මේ දිනවල කතා බහට ලක්වෙනවා නේද?
ද ගේම්’ සිනමා පටය අධ්‍යක්ෂණය කරන්නේ සුරංග ද සිල්වා මහතා. ඔහු තමයි මට මේ චිත්‍රපටයට ආරාධනා කරන්නේ. රංජන් රාමනායක අයියා සිරගතවීමට කලින් කරපු අවසාන චිත්‍රපටය.
‘ද ගේම්’ චිත්‍රපටය ආදායම් වාර්තාවක් තියලා තියෙනවා. ප්‍රේක්ෂකයෝ චිත්‍රපටය බලන්නේ රංජන් අයියා නිසයි. රංජන් අයියා එක්න රඟපාන්න ලැබීම ගැන ලොකු සතුටක්. පුංචි කාලේ ඉඳලා රිදී තිරයේ දකින්න හරිම ආස නළුවෙක් රංජන් අයියා කියන්නේ. හීනෙකින්වත් හිතුවේ නැහැ මට ඔහු එක්ක රඟපාන්න ලැබේවි කියලා. රංජන් අයියා ඉන්න තැන හිනා සාගරයක්.
අපි මඟ බලාගෙන ඉන්නවා ඔහු නිදහස් වෙලා එනතුරු. 

 


 රංගන ක්ෂේත්‍රයට ආපු මුල් අවදිය ගැන මතක් කළොත්
අනුර ජයසේකර අයියා නිසයි මම නිළියක් වුණේ. 2016 දි හඟුරන්කෙත පන්සලේදී මාව දැකලා ළඟට ඇවිත් ඇහැව්වා “නංගි උඹ කැමැති නැද්ද රඟපාන්න” කියලා. එයා මගේ දුරකථන අංකය සිවදාසන් සර්ට දීලා තිබුණා. අද අවුරුදු හයකට පස්සේ අපි දෙන්නා එකම දර්ශන තලයක රඟපානවා. මාව හුඟදෙනෙක් දැනගෙන හිටියේ නිවේදිකාවක් විදියට. ප්‍රධාන මාධ්‍ය ආයතනයක ප්‍රවෘත්ති නිවේදිකාවක් ලෙස වසර දෙකහමාරක් වැඩ කළා. ඒ අතරේ තමයි ප්‍රේක්ෂකයින් මාව හඳුනා ගත්තේ.

 


 කොහොමද පෞද්ගලික ජීවිතේ?
සැමියා එක්ක සතුටින් පවුල් ජීවිතේට මුල් තැන දීලා ජීවත් වෙනවා. සැමියා දර්ශන ඩී. කොස්තා. ඔහු ව්‍යාපාරිකයෙක්. ඔහුගෙන් මගේ කලා වැඩවලට ලොකු සහයෝගයක් ලැබෙනවා. ගොඩක් අය හිතනවා විවාහ වුණාට පස්සේ රංගන ජීවිතේ වැඩ කරගෙන යන්න අමාරුයි කියලා මගේ නම් ජීවිතේ වාසනාව කියන දේ ළඟා වුණේ ඔහු මගේ ජීවිතේට ආවාට පස්සෙ.


නදීශා අතුකෝරළ
ඡායාරූප සජීව ලක්ෂාන්

 

 2022 අගෝස්තු මස 29 වැනිදා සඳුදා පළවූ ලිපියකි. 


 

බාලදක්ෂ නිර්මාතෘ බේඩන් පවෙල් සාමිතුමන්ගේ 169 වන ජන්ම දින සැමරුම මහනුවරදී Read Previous

බාලදක්ෂ නිර්මාතෘ බේඩන් පවෙල් සාමිතුමන්ගේ 169 වන ජන්ම දින සැමරුම මහනුවරදී

ජාත්‍යන්තර කාන්තා දියේදී The Best Nurse of The year Read Next

ජාත්‍යන්තර කාන්තා දියේදී The Best Nurse of The year

Realted Post

Leave a comment