සිරිකතෙන් කරළියට ආ ’’ඔබ ආයෙමත් ඇවිදින්’’ පොතකට

ඇය කවියට පෙම්බැන්දේ අද ඊයේ නොවේ. යන්තම් බහ තෝරන කාලෙදිත් ළමා මනසට ආවේනික වූ කවි ගායනා කරන සිඟිති ඇය කවි රචනාවේ ද යෙදුණා. පාසල් අධ්‍යාපනය හමාර කිරීමෙන් පසු ඇය කැලණිය විශ්වවිද්‍යාලයේ සිංහල සහ ජන සන්නිවේදනය හදාරන්නට උත්සුක වූයේ මෙන්න මේ සාහිත්‍යයට බැඳි ඇබ්බැහිය නිසාමයි. 

එතැන් සිට මේ දක්වා ඇය විසින් රචිත කවි, ගීත, නිසඳැස්, කෙටි කතා සහ නවකතා බොහොමයි. ගීත කාව්‍ය සංග්‍රහයේ ඇගේ හැරවුම් ලක්ෂය වූයේ 'සකද මලයි බබළු වැලයි' නම් වූ කාව්‍ය සංග්‍රහයයි. ඒ තුළින් පාඨක සිත් ඇද බැඳ ගන්නා ඇය, නියුරලින්ක් නම් වූ කෙටිකතා සංග්‍රහයක් ද එළි දක්වනු ලබනවා. සාම්ප්‍රදායික සාහිත්‍ය කලාවේ රාමුව තුළ ඇය ලියන බොහෝ දේ අනාගත පරම්පරාවක සිතුවිලි හා සැසදෙන්නේ හරි අපූර්වට. 

මේ වන විට එංගලන්තයේ පදිංචි, නසා ආයතනයේ වෙබ් සංස්කරිකාවක් ලෙස සේවය කරන ඇය, 'සිරිකත' පුවත්පතට 'ඔබ ආයෙමත් ඇවිදින්' නම් වූ නවකතාව කොටස් වශයෙන් ලිවීමට පටන් ගන්නවා. මේ අද අපි කතා කරන්නේ 'පියුමි ජයකලණි වික්‍රම ආරච්චි' නම් වූ එකී කිවිඳිය හා  ගත් කතුවරිය 'සිරිකතට' ලියූ එම නවකතාව පොතක් ලෙස එකට කැටිකොට එළිදැක්වෙන ස්වර්ණමය අවස්ථාව ගැනයි.

1) පියුමි, ඔබ ආයෙමත් ඇවිදින් නවකතාව කුමන හේතුවක් පදනම් කරගෙන ලියූ එකක්ද? එය ඔබේ පුද්ගලික අත්දැකීමක්ද? 

මෙය ප්‍රේම කතාවක් බව ඇත්ත. නමුත් ඒකාකාරී, සාම්ප්‍රදායික කතාවලට වඩා වෙනස්ව, මට පුරුදු එංගලන්ත පරිසරය උකහාගෙන ශ්‍රී ලංකාවේ සහ එංගලන්තයේ සිදුවූ සිද්ධි මාලාවක රූපමය කතාන්දරයක් නිර්මාණය කොට පාඨකයාට වෙනස් වූ අත්දැකීමක් දෙන්න මම උත්සාහ කළා. ඇත්තෙන්ම මෙය මගේ සම්පූර්ණ අත්දැකීමක් නෙවෙයි කියන්නත් අමාරුයි. 

කතාව පටන් ගන්නකොටම තියෙන බිග්මැච් වල සිද්ධි දාමයන්, ඒ වගේම සමහර පාසල් සිද්ධීන් සහ යහළුවන් මගේම පුද්ගලික අත්දැකීම් වුන නිසාම මට ඒවා රසවත්ව ලියන්න පුළුවන් උනා කියල හිතනවා. එංගලන්තේදිත් හමු වූ සමහර චරිත අදටත් මගේ යහළුවන්. ඔවුන්ගේ අත්දැකීමුත් මේ කතාවට ලොකු බලපෑමක් වුණා. නමුත් සමස්ත කතාවම ගත්තහම පරිකල්පනයක් මිසක් මගේ පෞද්ගලික අත්දැකීමක් නෙවෙයි.

2) ඔබ සිරිකත පුවත්පතට කොටස් වශයෙන් ලියූ 'ඔබ ආයෙමත් ඇවිදින්' නවකතාවට ලැබුණු පාඨක ප්‍රතිචාර කොහොමද?

ඇත්ත වශයෙන්ම හොඳ  ප්‍රතිචාර ලැබුණා. පාඨකයන්ගෙන් ලැබුණු ලියුම් කියවා ඉතාමත් සතුටු වුණා. සෑම මාස හතරකට වතාවක් කූපන් පුරවා, එවන පාඨකයින්ට සිරිකත පුවත්පත් මණ්ඩලය විසින් තෝරා ගැනීමක් සිදු කරලා මා විසින් රචිත කෘති ලබා දුන්නා. කතුවරියකට හෝ කතුවරයෙකුට පාඨක ප්‍රතිචාර තරම් වෙන තවත් දෙයක් කොයින්ද..

3) පාසල් අධ්‍යාපනය ලබන අවධියේත් කවි, කෙටි කතා සහ නවකතා ඔබ අතින් නිර්මාණය වුණාද?

මම ශාන්ත පවුලු බාලික අවිද්‍යාලයේ ආදි සිසුවියක්. පාසල් අවධියේදී නොයෙක් කවි රචනා කෙටිකතා තරග වලට මම සහභාගිවී ජයග්‍රහණය කර තිබෙනවා.  ඉස්සර මම ලියන්නෙ පරණ ඩයරිවල. ඒවා, මගේ නිර්මාණ පොත් වශයෙන් භාවිත කරන පුරුද්දක් මං ළඟ තිබුණා. අදටත් ඒ නිර්මාණ අඩංගු ඩයරි අපෙ මහගෙදර සුරක්ෂිතව ඇති. මම පාසල් යන අවධියේ ගොඩක්ම ලිව්වෙ කවි. ඒ වගේම ළමා කෙටි කතා ත් ලිව්වා. 

ඉන් සමහරක් මිහිර පුවත්පතේ පළ වෙලා තියෙනවා. පාසලේ උසස් පෙළ පන්තියේදී කලු ලෑල්ලේ කවි ලියලා සිංහල ගුරුතුමියගෙන් බැනුම් අහලාත් තියනවා. නුගේගොඩ ටියුෂන් පංතියට යාබදව තමයි සඳරේණු පුවත්පත් කන්තෝරුව තිබුණේ. මම පංති එන්නෙ නිර්මාණ ටිකකුත් අරගෙන. 

ඒ විවේක වෙලාවේදී සඳරෙණු පුවත්පත් කන්තෝරුවට ගිහින් මගේ නිර්මාණ ටික පත්තරේට භාර දෙන්න බලාගෙන. දවසක් ඒ නිර්මාණ මේසෙ උඩ තියනවා දැකලා මුලු පන්තියටම ඇහෙන්න සර් මට බැන්නා, "හැමදාම ආනන්ද හාමුදුරුවෝ වගේ ඉස්සරහා පේළියේ වෙලා වාඩිවෙලා ඉන්නවා, ඒකට මොකද මේ ලෝකෙ නෙවෙයි ඉන්නෙ, කවි ලිය ලියා හිටියම විභාග පාස් වෙන්න පුළුවන් වෙයි.." කියලා. එදා මුළු පන්තිය ඉස්සරහම පුදුම ලැජ්ජාවක් දැනුනා. නමුත් දැන් ආයෙත් හැරිලා බලනකොට ඒ අත්දැකීම් කොච්චර සුන්දරද කියල හිතෙනවා.

4) කතුවරියක් වශයෙන් නවකතාවක් නිකුත් කරද්දී එය අභියෝගයක් වෙනවාද?

ඇත්තටම හොඳ ප්‍රශ්නයක්. නවීන පරම්පරාව පමණක් නොවෙයි වැඩිහිටි පරම්පරාව පවා අද දෘශ්‍ය මාධ්‍ය හා අන්තර්ජාලය සමඟ වැඩි කාලයක් ගත කරන නිසා ඔවුන්ගේ කියවීම අඩුවී තිබෙනවා. ඉස්සර පොත් වලට තිබූ ඉල්ලුම බොහෝ දුරට දැන් අඩු වෙලා ගිහින්. 

ඉතින් පොතක් වෙළඳපොළට යෑමේදී එය අනිවාර්යයෙන්ම අභියෝගයක් බවට පත් වෙලා හමාරයි.  මෙම දෘශ්‍ය මාධ්‍ය ඡේදනය කරලා වචනවලින් මිනිස්සුන්ව නම්මන එක ලේසි කටයුත්තක් නෙවෙයි. ප්‍රකාශයට පත් කරන ඕනෑම නිර්මාණයක් පාඨක මනසේ චිත්‍ර මවන්න තරම් ප්‍රබල වෙන්න ඕනෙ කියලයි මම හිතන්නේ. 

ලියන හැම කතාවකටම නාට්‍යානුසාරයෙන් පණ පොවන්න පුළුවන්නම් ඒ අභියෝගය යම්තාක් දුරට ජය ගන්න පුළුවන් කියලා මම හිතනවා.

5) ඔබ එංගලන්තයේ ගත කරන්නේ අවිවේකී ජීවිතයක්. ඒ වගේම ඔබ දෙදරු මවක්. දරුවන්ගේ සහ පවුලේ වගකීම් දරාගෙන ඔබට ලේඛන කටයුතුවල නිරත වන්න නිදහසක් තිබෙනවාද? 

ඒක සංකීර්ණ ප්‍රශ්නයක්. ඇත්තටම හිතලා බැලුවොත් දරුවන්ගේ වැඩකටයුතුත් සමඟ විවේකය හරිම අඩුයි. නමුත් නිර්මාණ කියන්නේ මගේ ඇඟේ කොටසක් වගේ දැනෙන නිසාම මට ඒවා වලින් ඈත් වෙලා ඉන්න නොහැකි යි. 

යුරෝපයේ ස්තිවාලෙය ( ගවේෂණාත්මක), සකද මලයි බබළු වැලයි ( කාව්‍ය), නියුරලින්ක් ( කෙටි කතා) සහ 'ඔබ ආයෙමත් ඇවිදින්' යන නවතකාව යන කෘති හතරම බිහි වුණේ කවදාවත් ස්පාසුවක් නැති මේ කාර්යබහුලත්වයේ ඉඳගෙනමයි. මිනිස්සු කොතරම් කාර්යබහුල වුණත් තමන් ආසම දේවල් වෙනුවෙන් ඔවුන් වෙලාවක් වෙන්කර ගන්නවා. ඒක තමයි ඇත්ත.

6) මේ නවකතාව එළිදක්වන්නේ කවදාද? 

බොහෝ විට ජුනි සහ ජූලි මාසය අතර එළි දකීවි. සුරස ප්‍රකාශනයක් ලෙසින් එළි දකින 'ඔබ ආයෙමත් ඇවිදින්' නිකුත්වන්නේ සාහිත්‍ය මාසය ඉලක්ක කරගෙනයි. 

7) ඔබගේ මීළඟ නිර්මාණය කුමක් වේවිද? 

ලියමින් තිබූ විද්‍යා ප්‍රබන්ධයක් තියනවා. එය සම්පූර්ණ කරගන්න හැකි වුණොත් බොහෝ විට ඊළඟ පොත විද්‍යා ප්‍රබන්ධයක් වේවි. නැතිනම් අනිවාර්යෙන්ම එය මගේ දෙවැනි කාව්‍ය සංග්‍රහය වේවි. 

8) අවසන් වශයෙන්, ඔබේ අලුත් නවකතාවට අත හිත දුන් අය සිහිපත් කළොත්?

ප්‍රථමයෙන් සිරිකත පුවත්පතේ වර්තමාණ ප්‍රධාන කතෘතුමිය වන අශන්ති වරුණසූරිය මහත්මියව ආදරෙන් මතක් කරන්න මම මේක අවස්ථාවක් කර ගන්නවා. ඇගේ ආරාධනය මත 2024 ජූලි මස සිට 2025 ජනවාරි තෙක් සිරිකත පුවත්පතට කොටස් වශයෙන් ලියූ මෙම කතාව අද පොතක් වන මොහොතේ ඇය මගේ සිතේ ඉහළම තැනක සිටින බව මතක් කළ යුතුයි. ඒ වගේම සිරිකත පුවත්පතේ කාර්ය මණ්ඩලයටද මගේ ප්‍රණාමය පුද කරනවා. 

මේ වෙලාවේ චතුර විද්‍යාරත්න අයියාවත් ආදරෙන් මතක් කළ යුතුමයි. ඔහු නොහිටින්න මේ නවකතාව කාලයේ වැලි තලාවට වැලලී යන්න ඉඩ තිබුණා. අක්ෂර සංයෝජනය සහ සෝදුපත් බැලූ අශෝක කුලතුංග අයියාටද ස්තුතියි.
ඒ වගේම සුරස අධිපති ප්‍රේම් දිසානායක මහතා. අත්පිටපත තෝරා ගෙන මෙයට පණක් නොදෙන්න නවකතා පොතක සිහිනය සිහිනයක්ම වෙන්න ඉඩ තිබුණා. 

 සටහන - කසුනි විජේසිංහ

’’මේක වෙනස්ම වැඩක් හැමෝම කරනවා වගේ නෙවෙයි’’   කලා සිතෘ කළා පදනමේ සභාපති රෝහන කොස්තා Read Previous

’’මේක වෙනස්ම වැඩක් හැමෝම කරනවා වගේ නෙවෙයි’’ කලා සිතෘ කළා පදනමේ සභාපති රෝහන කොස්තා

ජීවිතය සතුටින් තබන රසකාරක Read Next

ජීවිතය සතුටින් තබන රසකාරක

Realted Post

Leave a comment