දෙල්වලින් අලුත් කෑම

වාරෙට  විතරක් රස බලන්න ලැබෙන දෙල් කවුරුත් කැමති ආහාරයක්. විවිධ ක්‍රමවලට විවිධරසයට සාදාගත හැකි දෙල් කල් තබා ගැනීමටත් සැකසිය හැකියි. මේ තියෙන්නේ රසවත්ව දෙල් හදාගන්න පුළුවන් ක්‍රම කීපයක්. 

 

 

දෙල් පොතු වෑංජනය
 
අවශ්‍ය ද්‍රව්‍ය
අලුත් දෙල් ගෙඩි 1/2 ක පොතු 
මිටිකිරි හා දියකිරි කෝප්පය බැගින් 
තළාගත් සුදුලූනු බික් 2-/3 ක් 
ලියාගත් රතුලූනු ගෙඩි 2/3 ක් 
කරපිංචා ඉත්තක්
රම්පේ කැබැල්ලක්
අබ ස්වල්පයක්
අමුමිරිස් 2 ක් 
කහ ස්වල්පයක් 
අමුතුනපහ කුඩු තේ හැඳි 1/2 ක්  
මිරිස් කුඩු තේ හැන්දක් 
බැදපු තුනපහ කුඩු තේ හැඳි 1/2 ක්
ඉදුණු තක්කාලි ගෙඩියක්
රස අනුව ලුණු


සාදන ක්‍රමය
 දෙල් පොතු ලුණු වතුරේ දමා හොඳින් පිරිසුදු කර කුඩා කැබලි කපන්න. මැටි බඳුනකට තෙල් ස්වල්පයක් දමා අබ දමා පුපුරවන්න. එයට ලියාගත්  සුදුලූනු, රතුලූනු, කරපිංචා, රම්පා, අමුමිරිස්, තක්කාලි දමා තෙම්පරාදු කරන්න. ඒ අතරතුර තක්කාලි කැබලි හැන්දකින් පොඩි කරන්න. කපාගත් දෙල් පොතු එකතු කරන්න. එයට  අමුතුනපහ, මිරිස් කුඩු, බැදපු තුනපහ කුඩු, කහ සහ දියකිරි එකතු කර මඳ ගින්දරේ පිසින්න. කෑලි හොඳින් තැම්බී දියකිරි හිඳුණු පසු මිටිකිරි එකතු කර පදමට ලුණු දමා  මඳ ගින්දරේ මඳක් හිඳෙන තුරු පිසින්න. මෙම වෑංජනය තෙම්පරාදු නොකර පොල් කිරි දමා හින්දවා වුවත් කෑමට ගත හැකියි.


 

 

දෙල් බැද සීනි දවටා

අවශ්‍ය ද්‍රව්‍ය
තරමක පැසුණු 
දෙල් ගෙඩි 1/2  ක්
සීනි මේස හැඳි 3 ක්
බැදීමට තෙල්


සාදන ක්‍රමය 
පළමුව දෙල් ගෙඩියේ මැද නාරටිය ඉවත් කර සිහින් තීරු කපා සෝදන්න. කපාගත් දෙල් තීරු  සුදු පත්තරයක හෝ වට්ටියක දමා වතුර හිඳෙන තෙක් පැයක් පමණ අව්වේ  වේළන්න. අවශ්‍ය නම් සෙන්ටිග්‍රේඩ් 150 උෂ්ණත්වයක් ඇති අවන් එකක  විනාඩි කිහිපයක් තබා ගත හැකියි. දැන් වතුර හිදුණු දෙල් තීරු රන්වන් පාට වනතුරු ගැඹුරු තෙලේ බදින්න. එය තෙල් බේරෙන්න තබන්න. බඳුනකට සීනි ටික දමා වතුර මේස හැඳි 1ක් එකතු කර ලිපේ තබන්න. සීනි උණු වී බුබුළු එන විට ලිප නිවා බැදගත් දෙල් තීරු දමා හොඳින්  මිශ්‍ර කරන්න. 


 

ගස් නිවිති මිශ්‍ර දෙල් වෑංජනය
 
අවශ්‍ය ද්‍රව්‍ය

උපදෙස් 
ප්‍රවීණ සූපවේදිනී තිලානි විතානගේ 


හොඳින් පැසුණු දෙල් ගෙඩියක්
තළාගත් සුදුලූනු බික් 2 ක්
ලියාගත් රතුලූනු ගෙඩි 2 ක් 
අමුමිරිස්  කරල් 1  (නයි මිරිස් කරලක් නම් වඩාත් සුදුසුයි)
රම්පා, කරපිංචා ටිකක්
අබ ස්වල්පයක්
කුරුඳු  පොත්තක්
කහ ස්වල්පයක්
අමුතුනපහ කුඩු ස්වල්පයක්
මිටිකිරි  කෝප්පයක් සහ දියකිරි කෝප්පයක් 
ගස් නිවිති කොළ කිහිපයක්
ලුණු රසයට


සාදන ක්‍රමය
 දෙල් ගෙඩිය කපන විට පිහිතලයට පොල් තෙල් ටිකක් ගා කපන්න. එවිට  දෙල් කිරි නොඇලෙයි. ඉන්පසු දෙල් ගෙඩියේ පොත්ත ඉවත් කර ඉන්පසු දෙල් ගෙඩිය හතරට පලන්න.  මැද නාරටිය ඉවත් කර  තරමක ලොකු කැබලි කපන්න. දෙල් කැබලිවල කහ ස්වල්පයක් තවරා කහට ගතිය නැතිවීමට තෙවරක් පමණ හොඳින් සෝදන්න. සෝදාගත් දෙල් කැබලි මැටි බඳුනකට දමා එයට තළාගත් සුදුලූනු, රතුලූනු, රම්පා, කරපිංචා, අමුමිරිස් සහ කුරුඳු පොත්තක්  සහ අබ දමන්න. දෙල් කැබලි  දමා වැසෙන ආකාරයට දියකිරි එකතු කර තුනපහ වර්ග සියල්ල එකතු කර පදමට ලුණු දමා කැබලි තැම්බෙන තෙක් අඩු ගින්දරේ පිසින්න. දියකිරි හිඳී එනවිට උකු කිරි එකතු කර ලුණු බලා නැවත වරක් පිසින්න. එය උතුරන විට ගස් නිවිති එකතු කර  හැන්දෙන් මිශ්‍ර කරන්න. හොඳිවල රස්නයට  නිවිති ඉක්මනින් තැම්බී සෙවල ගතියක් එන නිසා ඉක්මනින් ලිප නිවන්න.  නැතිනම් මුරුංගා කොළ ද එකතු කළ හැකියි. 


මිරිස් කුඩු එකතු කරන්නේ නොකරන්නේ දෙල් වෑංජනයේ ස්වාභාවික පැහැය ගැනීමටයි.  අවශ්‍ය නම් මිරිස් කුඩු එකතු කර ගත හැකියි. දෙල් වෑංජනය පිස අබ හා මිරිස් කැබලි මුසු කර තෙම්පරාදුවක් සකසා දෙල්වලට එකතු කළ හැකිය. එවිට තවත් රස වැඩි වේ.  


 

 

ගමේ ක්‍රමයට දෙල් මැල්ලුම

අවශ්‍ය ද්‍රව්‍ය
සිහින් කැබලි කපාගත් පැසුණු දෙල් ගෙඩි බෑයක් 
පොල් මිටක්
ලියාගත් කොච්චි හෝ අමුමිරිස් කරලක්
සුදුලූනු බික් 6 ක්
රතුලූනු  ගෙඩි 4 ක්
කරපිංචා ඉත්තක්
කහ ස්වල්පයක්
ගම්මිරිස් ඇට තේ හැඳි 1 ක්
අබ තේ හැඳි 1 ක්
රම්පා කැබැල්ලක්
කුරුඳු පොත්තක්
රසයට ලුණු 


සාදන ක්‍රමය
කොච්චි හෝ අමුමිරිස්, ලූනු, සුදුලූනු, කුරුඳු කැබැල්ලක්, කහ, ගම්මිරිස් ඇට, කරපිංචා,  වංගෙඩියට දමා හොඳින් කොටන්න. එයට පොල් හා රසයට ලුණු එකතු කරන්න. සාමාන්‍යයෙන් පොල් සම්බෝලයක් කොටන ආකාරයට කොටා පසෙක තබන්න. දෙල් කැබලිවලට වතුර පීරිසි කෝප්පයක් දමා ලුණු හා කහ ස්වල්පයක් එකතු කර වතුර හිඳෙනතුරු තම්බන්න. දැන් කලින් කොටාගත් පොල් මිශ්‍රණයත් එයට එකතු කර තත්පර කිහිපයක් කූරු ගාමින්  මලවා ලිපෙන් ඉවත් කරන්න. 

පුෂ්පා රණවීර


 

ලෝකෙට ආපු අලුත්ම ගැජට් එක මෙන්න Read Previous

ලෝකෙට ආපු අලුත්ම ගැජට් එක මෙන්න

“නැවත ඇවිදිමු” ප්‍රජා සත්කාරක වැඩසටහන නැවතත්....... Read Next

“නැවත ඇවිදිමු” ප්‍රජා සත්කාරක වැඩසටහන නැවතත්.......

Realted Post

Leave a comment