පැවැත්ම හදාගන්න නම් දක්ෂ වෙන්න ඕනෑ - kasuni kavindi

ඇය මේ වන විට කලා ලොවේ කවුරුත් දැන හඳුනන චරිතයක් වී අවසන්ය. රංගන හැකියාව මෙන්ම උපතින්ම හිමි වූ සිත් ඇදගන්නා දඟකාර අහිංසක රුව එයට තවත් හේතුවක් වන්නට පුළුවනි. කෙසේ නමුත් මේ දිනවල වැඩි කතාබහට ලක්වෙමින්, ජාත්‍යන්තර සිනමා උලෙළක නිර්දේශිත නාම අතරටද එක්වෙන සසික හේරත්ගේ කුලුඳුල් සිනමා අධ්‍යක්ෂණය වන ‘සිහින සමීකරණ’ චිත්‍රපටය හරහා සානුකම්පිත චරිතයකින් ප්‍රේක්ෂකයින් අතරට පැමිණෙන්නට සිටින ඇයට අපි කතා කළෙමු. ඇය කසුනි කාවින්ද්‍යා ය.

 කොහොමද මේ අලුත් නිර්මාණයට ලැබෙන ප්‍රතිචාර?

මම ප්‍රධානම චරිතයකින් දායකවුණු සිහින සමීකරණ චිත්‍රපටය මැයි 17වැනිදා ප්‍රේක්ෂකයින්ට දිවයින පුරා සිනමාහල්වලින් රස විඳින්න අවස්ථාව ලැබෙනවා. ඉතින් චිත්‍රපටයේ මාධ්‍ය දර්ශනය පසුගියදා පැවැත්වුණා. ඊට කලිනුත් විශේෂ දර්ශනවාර කිහිපයක්ම තිබුණා. ලැබෙන ප්‍රතිචාර නම් ඉතාම ඉහළයි. මම රඟපාන්නේ රිද්මි කියන චරිතය. රිද්මිගේ චරිත නිරූපණය වෙනුවෙන් මේ වන විට ක්ෂේත්‍රයේ ඉන්න අයගෙන් වගේම චිත්‍රපටය නරඹපු අයගෙන් සතුටුදායක ප්‍රතිචාර ලැබෙනවා.

රිද්මිගේ චරිතය කොහොමද කසුනිට දැනෙන්නේ?  

රිද්මිගේ චරිතය ඇතුළෙ සෑම කාන්තාවකටම පොදු වූ යම් යම් ගති ස්වභාවයන් ටිකක් පවතිනවා කියලා මම විශ්වාස කරනවා. උදාහරණයක් විදියට  ආදරය කරද්දි, ඒ වෙනුවෙන් පරිත්‍යාග කරද්දි, කැපකිරීම් කරද්දි, මොන අභියෝග ආවත් සහකරුවා අත නොහැරීම, ජීවිතේ ඔහු සමග දියුණුවෙන්න ගන්න උත්සාහය මේ සියල්ල බොහෝ කාන්තාවන් ඇතුළෙ තියන ලක්ෂණ. ඒ වගේ ගති ලක්ෂණ කසුනි තුළත් තිබෙන නිසා මට ඒ චරිතේ ලොකු අභියෝගයක් වුණේ නැහැ.

කොහොමද ඔබට ඒ සඳහා අවස්ථාව ලැබෙන්නේ? 

නිර්මාණය සඳහා මට මුලින්ම ආරාධනය ලැබෙන්නේ සසික හේරත් අයියගෙන්. ඔහු මට ඒ සඳහා ආරාධනා කරන්නේ ඉක්කා චිත්‍රපටයේ විශේෂ දර්ශනයක් නැරඹීමෙන් පසුව.

නිර්මාණ කිහිපයකින් පස්සේ හුඟක් නළු නිලියෝ නැවත දකින්න ලැබෙන්නේ නැහැ. නමුත් කලාකාරියක් ලෙස ක්ෂේත්‍රයේ පවතින්න නම් ඔබ මොකද කරන්නේ?

ගොඩක් අය කියනවා මම දැකලා තියනවා පැවැත්ම හදාගන්න නම් දක්ෂවෙන්න ඕනෑ කියන එක. මමත් ඒක පිළිගන්නවා. දක්ෂතාව නිරන්තරයෙන් විෂය ඇතුළෙ යාවත්කාලීන වීම තමයි වැදගත්. හැබැයි දැන් ලංකාවේ රංගන ක්ෂේත්‍රය ඇතුළෙ තිබෙන තත්ත්වය දැක්කාම ගොඩක් ඉන්නවා අති දක්ෂ හැදෑරීමක් සහිත ශිල්පීන් සහ ශිල්පිනියන්. නමුත් එයාලගේ දක්ෂතා එළියට ගෙන එන්න පුළුවන් අවස්ථා, නිර්මාණ ඒ අයට ලැබෙන්නෙ නැහැ. ඒකට හේතුව දැන් බොහෝ නිෂ්පාදක කණ්ඩායම් අවධානය යොමුකරන්නේ තමන්ගේ නිර්මාණයට අඩු වටිනාකමකින් නළුවෙක් හෝ නිළියෙක් යොදාගන්නේ කියලා. ඒ වගේම නිර්මාණයක් සඳහා නළු නිළියන් තෝරද්දි ඇතැම්විට බලන්නේ ඔවුන්ගේ ප්‍රසිද්ධිය, සමාජ මාධ්‍යවල ඇති ප්‍රේක්ෂකයින් ගණන වැනි කාරණා. එහෙම බලද්දි ප්‍රශ්නයක් එනවා ඇත්තටම ක්ෂේත්‍රයේ පවතින්න දක්ෂතාව සහ යාවත්කාලීනවීම විතරක්ම ප්‍රමාණවත්ද කියන එක. ඒ නිසා මම හිතන්නෙ තමන්ට ලැබෙන පුංචිම හෝ අවස්ථාවේ කළ හැකි උපරිමය කරන්න ඕනෑ කියලයි.       

 පළමු සිනමා අත්දැකීම ගැනත් කතාකරමු

මගේ පළමු සිනමා අත්දැකීම තමයි ගජමෑන් චිත්‍රපටය. ඒකේ මම නිරූපණය කළේ පද්මාවතී කියන ප්‍රධාන චරිතය. මම එය රඟපෑවේ මෝෂන් කැප්ෂන් කියන තාක්ෂණයෙන්. නමුත් මගේ පළමුවැනි ෆිල්ම් එක තමයි කෞෂලය  මාධව පතිරණගේ අධ්‍යක්ෂණය කරන ඉක්කා චිත්‍රපටය. ගජමෑන්ට චිත්‍රපටයට කලින් තමයි ඉක්කා චිත්‍රපටයට සම්බන්ධ වුණේ. නමුත් ඒ චිත්‍රපටය තවමත් එළියට ආවේ නැහැ. එය රූගත කරලම මේවන විට වසර නවයක් වෙනවා.

කලා ජීවිතයට මවුපියන්ගෙන් ලැබෙන නිදහස කොහොමද?

මගේ අම්මා සහ තාත්තා චූටි කාලේ ඉඳලම අපි ආස දේ කරන්න තමයි ඉඩ දුන්නේ. අපිට ආස දේ කරද්දි එයාලා හැමදාම කළේ පිටුපස ඉඳලා ශක්තියක් වුණු එක. කවදාවත් අපිට අරක කරන්න මේක කරන්න කියලා බලපෑම් කරලා නැහැ. රංගනයට පිවිසෙන්න මම තීරණය කරද්දිත් එයාලගෙන් උපරිම සහයෝගය හැරෙන්න විරෝධතාවයක් එල්ල වුණේ නැහැ.

 

දරුවාට ලස්සන දත් Read Previous

දරුවාට ලස්සන දත්

ඇසළ පුන් පොහෝ දිනය Read Next

ඇසළ පුන් පොහෝ දිනය

Realted Post

Leave a comment