සියල්ල අහිමි වුවත් ‘හැර නොයා රකින’ ප්‍රේමය

ආදරය යනු කා හටවත් සිහින දැකිය හැකි සරල සිතුවමක් නොවේ. එය වර්ණවත් වන්නේ අතිශයින්ම බොහෝ කැපකිරීම්, බලාහිඳීම් මධ්‍යයේ ය. ජීවිතයේ ඇතැම් බලාපොරොත්තු අත්හරිමින්, අනෙකා වෙනුවෙන් පෙනීසිටිමින්, එතැන් පටන් නව දිශාවක සැබෑ උරුමකරුවෝ ලෙස දෙදෙනාම එක්ව ගමන් අරඹන්නට, දුන් පොරොන්දු පණ මෙන් රකින්නට වෙහෙසෙන ආදරවන්තයෝ කතාබහට හමුවීමම සතුටකි.

සැබෑ ආදරයට සීමා මායිම් නොමැත, ඇත්තේ හද තුළ රැඳුණු පිවිතුරු හැඟුම් සමුදායක් පමණි. එලෙස පිවිතුරු හැඟුම් සමුදායකට උරුමකම් කියමින් නොසැලී එක්ව ඉදිරියට යන්නට හැකි නම් එතැන ඇත්තේ එකිනෙකා කෙරෙහි පවතින අසීමිත විශ්වාසයයි. ස්වෙත්ලානා සහ මනීෂ අපට හමුවන්නේ එකී විශ්වාසය රකිමින් ජීවත් වන සැබෑ ප්‍රේමවන්තයින් ලෙසයි. මනීෂ ශ්‍රී ලාංකිකයෙක් වන අතර ඔහුට පෙම් බඳින ස්වෙත්ලානා රුසියානු ජාතික කාන්තාවකි. දේශ සීමා, වැටකඩුලු බිඳ දමමින් උතුම් ප්‍රේමයේ නාමයෙන්, බලාපොරොත්තු සමුදායක් පෙරටු කරගනිමින් ඔවුන් දෑත් පටලන්නට ඇති.
“මං 1997 දී රුසියාවට යනවා ඉගෙනගන්න. එහේ ගිහින් අවුරුදු දහ තුනක් රුසියාවේ ජීවත් වුණා. සවුන්ඩ් ඉන්ජිනියරින් පී එච් ඩී එකක් ඉවර කළා ඒ කාලෙදි. ඇත්තටම මං රුසියාවේ එච්චර කාලයක් හිටියට ස්වේතාව දැනගෙන හිටියේ නෑ“  
ප්‍රේමණීය මුණ ගැසීම් ඇතැම් විට අහම්බයක් විය හැකියි. මනීෂට ස්වෙත්ලානාව හමුවීමත් එබඳු යැයි පැවසීමෙහි වරදක් නොමැත.
“ස්වේතා ටුවරිස්ට් කෙනෙක් විදියට ලංකාව බලන්න එනවා.. ඒ මම රුසියාවෙ ගිහින් අවුරුදු දහතුනක් ඉගෙන ගෙන, ලංකාවට ඇවිල්ලා, තවත් අවුරුදු හයක් ගතවුණාට පස්සේ...“
ලංකාවේ සිරි අසිරිය බැලීමට මේ ද්වීපයට පය තැබූ ස්වේතාට එහි යම් කිසි හුරුපුරුදුබවක් හැඟී ගිය බව ඕ අප සමග පැවසුවාය.
“ ස්වේතා ලංකාවට ඇවිල්ලා මාසයක් මෙහේ ඉන්නවා. ඉඳලා යන්න තියෙන දවසේ ටිකට් එක පැටලිලා යන දවස මග ඇරෙනවා. එයාට තව මාසයක් ලංකාවේ ඉන්න වෙනවා.’’
නන්නාඳුනන රටකට පැමිණ එවැනි අවස්ථාවකට මුහුණ දීමට යුවතියකට සිදු වුවහොත් එයින් ඇති වන තිගැස්ම ස්වෙත්ලානා තුළද ඇතිවන්නට ඇත.  එහිදී මනීෂ මැදිහත් වී ඇයට සහය වූයෙන් එම තත්ත්වයට හොඳින් මුහුණ දෙන්නට ඇයට හැකියාවක් ලැබිණි. ඒ වන විටත් මනීෂ සහ ස්වෙත්ලානා යනු ආගන්තුකයන් ය. “එයාගේ අතේ සල්ලි නෑ. ලංකාවෙන් යන්න ටිකට් එක බුක් කරගන්න බෑ සීසන් එක නිසා. මම එයා නැවතිලා හිටිය ගෙදර තව මාසයක් නවතින්න දින දීර්ඝ කරල දුන්නා. ඒ මාසේ පුරාවටම ඇයව බලාගන්න සිදු වුණා. ඒ දේවල් එක්ක ස්වේතට මං ගැන පැහැදීමක් ඇති වුණා.’‘

“එයා රුසියාවට ගිහින් මටත් නොකියාම නැවත ලංකාවට එනවා. එයාපෝර්ට් එකෙන් ඇවිල්ලා, කලින් නැවතිලා හිටිය මීගමුවෙ ගෙදරටම ගිහින්, ලංකාවේ පාවිච්චි කරපු සිම් එකට සල්ලි දාගෙන මට කෝල් කළා. මට හිතාගන්න බැරි වුණා.“
නොසිතන මොහොතවල් වල සතුටුදායී පුදුමකිරීම් ජීවිත වලට ආශිර්වාදයක් වැන්න. ස්වෙත්ලානා එලෙස නැවත ලංකාවට පැමිණි ගමනේදී මනීෂ හට ආදරය ප්‍රකාශ කළේ ඔහු කෙරෙහි ඇය තුළ වූ අසීමිත විශ්වාසය නිසයි.  
“ස්වේතා මාත් එක්ක ජීවත් වෙන්න මේ රටට එනව කියල තීරණය කරලයි ආයේ රුසියාවට ගියේ. ස්වේතට හිටියා පූසෙක්..එයා අවුරුදු පහළවක් තිස්සේ ස්වේතා එක්ක ඉඳල තියෙනවා. එයාවත් අරගෙනම ලංකාවට එන්න ලියකියවිලි ලෑස්ති කරන ගමන් හිටියෙ. ස්වේතා ලංකාවට එන්න මාසෙකට විතර කලින් පූසා නැති වෙනවා. එයා  ඊටපස්සෙ ලංකාවට එනවා“

දුක සතුට සියල්ල සමසේ දරාගෙන අඩියෙන් අඩිය ගොඩ නැගෙන ජීවිතයට සවියක් වෙමින්, ශක්තිසම්පන්නව සියල්ලටම මුහුණ දුන් දිරිය කාන්තාවක් ලෙස ස්වෙත්ලානා හැඳින්විය හැකියි. මන්ද ඔවුන් විවාහ වී කලක් ගත වන විට මනීෂට පැවති දිය වැඩියා රෝගී තත්ත්වය සහ වකුගඩු රෝගී තත්ත්වයත් සමග එක් පාදයක් ඉවත් කිරීමට සිදු විය. එහිදී ස්වෙත්ලානා  ඔහුට ශක්තියක් වෙමින් සෙවණැල්ල මෙන් ඔහු සමීපයෙහි රැඳුණාය.
“මගෙ කකුල කැපුවම අපි දෙන්නා සම්පූර්ණයෙන්ම වැටුණා. නැගිටින්නේ කොහොමද කියල හිතාගන්න බැරිවුණා. අපි දෙන්න ඉස්සර එකතු වෙලා පැය විසි හතරේ වෙබ් රේඩියෝ එකක් කරගෙන ගියා. ඒ කාලේ අපිට හැමදේම තිබ්බා.’’
“මට  දියවැඩියාව උත්සන්න වෙලා ඇස් නොපෙණුන කාලයක් තිබුණා. ඒ කාලේ ෆිල්ම් එහෙම බලද්දි ස්වේතා මට ඇහෙන්න ෆිල්ම් එකේ වෙන හැමදේම කියනවා. එයාගේ ආදරේ කවදාවත් වෙනස් වෙලා නෑ. එයා මට පුදුම ආදරයක් දීපු කෙනෙක්. මං වෙනුවෙන් පුදුම කැපකිරීමක් කරපු කෙනෙක්’’
හිමි වීම් අහිමි වීම් හමුවේ නොසැලී ජීවත් වන්නට නම් නැවුම් බලාපොරොත්තු වුවමනාමය. මනීෂගේ ජීවිතයේ නැවුම් බලාපොරොත්තුව වූයේ ඔහුගේ දිවියට එක් වූ ස්වෙත්ලානායි.
“ අපිට ඕනෑම ප්‍රශ්නෙකින් නැගිටින්න පුළුවන්. මට ජීවත් වෙන්න හැඟීම දුන්නේ ස්වේතා“
“කකුල අයින් කරල ඇඳේ ඉද්දී ඩොක්ටර්ස්ල ඇවිල්ලා කෘත්‍රිම කකුලක් හදවන්න මිනුම් ගත්තා. ඒ හැමදේම හොයල බැලුවේ ස්වේතා. එයා තනියම ෆිසියොතෙරපි වීඩියෝ බලලා මට ඒ දේවල් කෙරෙව්වා. සාමාන්‍යයෙන් කකුලක් අයින් කළාම කාලයක් යනතුරු ක්ලචර්ස්වලින් ඇවිදින්න වෙනවා. ඒත්  මන් ක්ලචර්ස් වලින් ඇවිද්දෙ නෑ. මේ කෘත්‍රිම කකුල දාල තමා ඇවිද්දෙ.  ස්වේතා නැත්නම් අද මං ඇවිදින්නෙ නෑ.’’

“අපි ජීවත් වෙන්න සල්ලි හොයන්න පාරේ බිරියානි විකුණුවා. සතියට රුපියල් හතලිස්පන්දාහක් ඕනා මගේ බෙහෙත් වලට. ඒ හැමදේටම මං එක්ක ඉන්නේ ස්වේතා“
ඇගේ සියුමැලි දෑත තදකොට අල්ලාගෙන මඳ සිනා නංවමින් ඇය දෙස බැලූ බැල්මෙහි පවතින ආදරණීය බව මෙතැකැයි කියා වචනයෙන් දැක්විය නොහැකිය.
“ස්වේතා නැත්නම් මං කියල කෙනෙක් අද නෑ.. “
ආදරණීය බිරිඳකගේ ශක්තියකට කළ නොහැක්කක් නොමැත. සිංහල වචන ගොත ගසමින්, මනීෂ කෙරෙහි ඇය තුළ වන ආදරය ස්වේතා අප සමග පැවසුවාය.
“මනීෂට ගොඩක් ආදරෙයි.. දීපු පොරොන්දු රැක්කා“

“කිසිම නරක දෙයක් ගැන හිතන්නේ නෑ. මේ මොහොත ගැන විතරයි හිතන්නේ. සතුටින් මේ මොහොත ගත කරන්න. අපේ ඇතුළෙන් හොඳ විදියට අපි වෙනස් වෙන්න ඕන“
රුසියානු ජාතික කාන්තාවක් වන ස්වෙත්ලානා නිතරම පවසන්නේ සෑම දෙයක් පිළිබඳවම ධනාත්මකව සිතිය යුතු බවයි. මේ මොහොතේ සතුටින් ජීවත් වීම අගය කරන ඈ ලොව සියලුම කාන්තාවන්ට පූර්වාදර්ශයකි.

එයාලට සවන්දෙන්න වෙලාවක්  හොයා ගන්න Read Previous

එයාලට සවන්දෙන්න වෙලාවක් හොයා ගන්න

අම්මා එක්ක තියෙන්නේ හරිම ලස්සන මතක -  Paboda Sandeepani Read Next

අම්මා එක්ක තියෙන්නේ හරිම ලස්සන මතක - Paboda Sandeepani

Realted Post

Leave a comment