හරිත නිම්නයක හිනැහෙන පුංචි නයගරා

ළා පාට මීදුමෙන් හරිත පැහැ කඳු මුදුන් වැසී යන තෙක්ම දෑස් දල්වා බලා හිඳ, මීදුමෙන් බර වූ සීතල මන්ද මාරුතයට තුරුලුවෙමින්, නැවුම්ව අරඹන සොඳුරු ජීවිතයේ, ජීවන සහකරුවා හෝ සහකාරීය සමග කාලය ගත කිරීමට අපේක්ෂා කරන ඔබට, යා හැකි සුන්දර දිය ඇල්ලක් ලෙස ශාන්ත ක්ලෙයාර් දිය ඇල්ල හඳුන්වන්න පුළුවන්. ළා හිරු රැස් ත්තේ වතු සිප ගනිද්දී රන් පැහැයෙන් දිදුළන තේ දලු ශාන්ත ක්ලෙයාර් වෙතපියනගන්නන්ට නිවැරදි මාවත පෙන්වයි.

මෙම දිය ඇල්ල ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ තලවාකැලේ නගරය ආසන්නයේ හරිත පැහැ තේ යායක පිහිටා ඇත. ශාන්ත ක්ලෙයාර් දිය ඇල්ල එම තේ වත්තෙහි පිහිටා ඇති අතර තේ වත්තෙහි නාමය වන ශාන්ත ක්ලෙයාර් නාමයම දිය ඇල්ලටද පට බැඳී ඇති බව පැවසේ. කොළඹ සිට බදුලු පුරවර බලා ගමන් අරඹන උඩරට මැණිකේ දුම්රියට ගොඩ වන සෑම කෙනෙකුටම තලවකැලේ දුම්රිය ස්ථානයට තරමක් මෙහායින් වන්නට ශාන්ත ක්ලෙයාර් නැතහොත් St. Clair's දිය ඇල්ල දැක ගන්නට පුළුවන්. ඔබ නුවර එළියේ සිට ශාන්ත ක්ලෙයාර් දිය ඇල්ල බලා පැමිණෙන්නේ නම් කිලෝමීටර 267 දුරක් පවතී. තලවකැලේ සිට පැමිණෙන්නේ නම් තිලෝ මීටර 3.7 ක දුරකි ඇත්තේ.

කාර්යය බහුල ජීවිතයෙන් මිදි ගතට සිතට සුවයක් සහනයක් ලබා ගැනීම සඳහා දැස් දල්වා බලා හිඳින ඔබට පිය මැනිය හැකි සුන්දර ස්ථානයක් වශයෙන් ශාන්ත ක්ලෙයාර් දිය ඇල්ල හැඳින්විය හැකියි. ශ්‍රී ලංකාවේ රමණීයම දිය ඇලි අතුරින් විශේෂ ස්ථානයක් ශාන්ත ක්ලෙයාර් දිය ඇල්ලට හිමි වේ. ශ්‍රී ලංකාවේ විසි වන උසම දිය ඇල්ල වන්නේ මෙයයි දිය ඇල්ලෙහි රමණීය බව තවත් වැඩි වන්නේ එය දිය ඇලි ද්විත්වයකින් යුක්ත වන නිසාය. දළ වශයෙන් දිය ඇල්ලෙහි උස මීටර 80 ට වඩා වැඩි වන අතර පළල මීටර 50 ක් වේ.

ශාන්ත ක්ලෙයාර් දිය ඇල්ල වෙතවඩාත් සමීපව ළඟා වීමට නම් ශාන්තක්ලෙයාර් තේ වතු යාය හරහා වැටී ඇති කුඩා අඩිපාර දිගේ ගමන් කළ හැකියි. සොබාදම් මාතාවගේ අපූරු නිමැවුමක් වන ශාන්ත ක්ලෙයාර් දිය ඇල්ල මධ්‍යම කඳුකරයේ පාරිසරික සුන්දරත්වය විදහා දක්වයි. ශාන්තක්ලෙයාර් දිය ඇල්ල දේශීය වශයෙන් පුංචි නයගරා යනුවෙන් හඳුන්වයි.

මතක අහුලන්නන්ට ඡායාරූපයකින් ජීවිතයේ සුන්දර නිමේෂයන් මතක පොතට එක් කරගන්නට බලා හිඳින අයට නම් ශාන්ත ක්ලෙයාර් වෙත පිය නැගිය හැකි හොඳම වේලාව වන්නේ උදෑසන කාලයයි.

ශාන්ත ක්ලෙයාර් දිය ඇල්ලෙහි රමණීය බව අත්විඳීමට හැකි හොඳම කාලය වන්නේ වැසි කාලයයි. එනම් ඔක්තෝබර් සහ දෙසැම්බර් අතර කාලයේ ඔබ එහි යන්නේ නම් එහි සැබෑ සුන්දරත්වය ඔබට අත්විඳිය හැකියි. තලවාකැලේ ප්‍රදේශය සිසිල් සහ මීදුම සහිත ප්‍රදේශයක් වන බැවින් කුඩයක් සහ වැහි කබායක් රැගෙන යාමට මතක තබා ගන්න.

ශාන්ත ක්ලෙයාර් දිය ඇල්ල පවතින ප්‍රදේශය විවිධ ශාක වර්ග, විචිත්‍රවත් මල් වර්ග සහ තේජාන්විතව ඉහළට නැගි වෘක්ෂයන්ගෙන් හැඩ වී තිබේ. 
මානසික සුවතාව සහ ජිවිතයේ නැවුම් වෙනසක් අත්විඳීම උදෙසා ඔබ එහි යන විට පාරිසරික සුන්දරත්වය මතු පරපුර උදෙසා ආරක්ෂා කිරීම ද ඔබ සතු වගකීමකි.

සටහන/ඡායාරූප විශ්වනී හසලා

අර්ශස් වළක්වා ගන්නේ කොහොමද? නොකළ යුතු වැරදි Read Previous

අර්ශස් වළක්වා ගන්නේ කොහොමද? නොකළ යුතු වැරදි

Crimson Elegance Rukshana Read Next

Crimson Elegance Rukshana

Realted Post

Leave a comment