ගුණාත්මක දරුවෙක් නිවසින් බිහි කරමු
දරුවෙකුගේ ජීවිතයේ මුල් වසර පහ ඔහුගේ හෝ ඇයගේ ශාරීරික, මානසික, බුද්ධිමය හා සමාජීය සංවර්ධනය සඳහා අතිශය තීරණාත්මක වන බැවින්, එම අවධියේ නිවස තුළ දරුවාට හිතකර පරිසරයක් ගොඩනැඟීමේ වැදගත්කම අවධාරණය කරමින් නිවස පදනම් කරගත් මුල් ළමාවිය රැකවරණය හා සංවර්ධනය පිළිබඳ දැනුවත් කිරීමේ වීඩියෝ පට එළිදැක්වීම කාන්තා සහ ළමා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය නාමල් සුදර්ශන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ දී සිදු කෙරිණි.
මෙම අවස්ථාවට අමාත්‍යාංශ ලේකම් තරංගනී වික්‍රමසිංහ මහත්මිය අතිරේක ලේකම් (සංවර්ධන),නිල්මිණී හේරත් මහත්මිය, පවුල් සෞඛ්‍ය සේවා කාර්යාංශයේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය ආසිරි හේවාමාලගේ මහතා, රජරට විශ්වවිද්‍යාලයේ මහාචාර්ය දුමින්ද ගුරුගේ මහතා ජාතික අධ්‍යාපන ආයතනයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය සකුන්තලා රණසිංහ මිය, බස්නාහිර පළාත් පෙරපාසල් අධ්යක්ෂ රන්දිකා රාජපක්ෂ මහත්මිය, වැඩසටහන සඳහා සත්කාරකත්වය ලබාදෙන Save the Children ආයතනයේ නියෝජිතයන් මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂතුමිය සහ සහකාර අධ්‍යක්ෂතුමිය ඇතුළු නිලධාරීන්, හා වෛද්‍යවරුන් විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.
දරුවෙකුගේ ජීවිතයේ මුල් වසර පහ තුළ මොළයේ වර්ධනය, භාෂා හැකියාව, හැඟීම් පාලනය, සමාජ සබඳතා ගොඩනැඟීම සහ ඉගෙනීමේ හැකියාව ඇතුළු බොහෝ අංශවල පදනම සැකසෙන අතර, එම වර්ධනයට නිවසේ පරිසරය සහ දෙමාපියන්ගේ මැදිහත්වීම සුවිශේෂී බලපෑමක් සිදුකරයි. ඒ අනුව මුල් ළමාවිය සංවර්ධනය පෙරපාසල් අධ්‍යාපනයට පමණක් සීමා නොවන අතර, දරුවා ජීවත් වන නිවස තුළද ඔහුට හෝ ඇයට ආදරය, සෙනෙහස, ආරක්ෂාව, පෝෂණය, නිසි සන්නිවේදනය සහ ඉගෙනීමට හිතකර අවස්ථා ලබාදීම අත්‍යවශ්‍ය වේ.
මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය ක්‍රියාත්මක කරන නිවස පදනම් කරගත් රැකවරණ හා සංවර්ධන වැඩපිළිවෙළ වන සෙනෙහෙ තටාකයේ අරමුණ වන්නේ දෙමාපියන් සහ දරුවන් රැකබලාගන්නන් දැනුවත් කරමින් නිවස තුළම දරුවාගේ සමස්ත සංවර්ධනයට හිතකර පරිසරයක් නිර්මාණය කිරීමයි. එමඟින් පවුලේ පෝෂණය හා ආහාර සුරක්ෂිතතාව ශක්තිමත් කිරීම මෙන්ම අවදානමට ලක්විය හැකි සහ විශේෂ අවශ්‍යතා සහිත දරුවන් කල්තියා හඳුනාගෙන ඔවුන්ට අවශ්‍ය සේවාවන් වෙත යොමු කිරීම ද අපේක්ෂා කෙරේ.
මෙම වැඩපිළිවෙළ ජාතික මුල් ළමාවිය රැකවරණ හා සංවර්ධන ප්‍රතිපත්තිය සහ 2025–2029 ජාතික බහු ආංශික උපායමාර්ගික ක්‍රියාකාරී සැලැස්ම සමඟද සම්බන්ධ වන අතර, දරුවන්ගේ සංවර්ධනය වෙනුවෙන් විවිධ අංශ ඒකාබද්ධව කටයුතු කිරීමේ වැදගත්කම එමඟින් තවදුරටත් අවධාරණය කෙරේ.
මෙහිදී එළිදැක්වූ වීඩියෝ පට දෙමාපියන්ට සහ දරුවන් රැකබලාගන්නන්ට දරුවන් ඇති දැඩි කිරීමේදී නිවැරදි දැනුම හා අවබෝධය ලබාදෙන ප්‍රායෝගික මඟපෙන්වීම් සපයන සම්පතක් වන අතර, ඒවා පුළුල් ප්‍රජාව වෙත ගෙන යමින් නිවස තුළ දරුවන්ට හිතකර පරිසරයක් ගොඩනැඟීම සඳහා භාවිත කිරීමේ වැදගත්කම ද මෙහිදී අවධාරණය කෙරිණි.
දරුවන්ගේ අනාගතය වෙනුවෙන් සිදුකරන ආයෝජනය අධ්‍යාපනයට පමණක් සීමා නොවන අතර, ජීවිතයේ මුල් අවධියේ සිටම ආදරය, රැකවරණය, පෝෂණය, ආරක්ෂාව සහ වර්ධනයට අවශ්‍ය අවස්ථා ලබාදීමද එහි අත්‍යවශ්‍ය කොටසකි.
සෑම දරුවෙකුටම ගුණාත්මක මුල් ළමාවියක් හිමිවන රටක් ගොඩනැඟීමේ සාමූහික වගකීම ඉටු කිරීම සඳහා නිවසින් ආරම්භ වන දැනුවත්, ආරක්ෂිත හා දරුවාට හිතකර පරිසරයක් නිර්මාණය කිරීමේ වැදගත්කම මෙම වැඩසටහන මඟින් යළිත් අවධාරණය කෙරිණි.

Leave a comment