බවර් සමූහයට Great Place to Work සහතිකය
බවර් සමූහයේ, සේවකයින්ගේ ප්‍රතිචාර පදනම් කරගනිමින් සිදුකරන ලද සමීක්ෂණයකට අනුව 2027 වසර සඳහා පිරිනමනු ලබන ‘Great Place to Work®’ සහතිකය හිමිකර සමත් වී තිබේ. මෙම සමීක්ෂණයේ දී සේවකයින්ගෙන් 78%ක් බවර් සමූහය සේවය කිරීමට ඉතා සුදුසු සේවා ස්ථානයක් ලෙස හඳුන්වා දී තිබෙන අතර එය ‘Great Place to Work’ ජාත්‍යන්තර මිණුම් දර්ශකයට වඩා ප්‍රතිශත ලකුණු 8ක ඉහළ අගයක් ගනී. එමෙන්ම, තමන් සමූහයට එක්වූ අවස්ථාවේදී ඉතා සුහදශීලී පිළිගැනීමක් ලැබුණු බව සේවකයින්ගෙන් 90%ක් ප්‍රකාශ කර තිබේ.
සේවකයින්ගේ අදහස් හා අත්දැකීම් පාදක කරගනිමින් පිරිනැමෙන ‘Great Place to Work’ සහතිකය, ආයතනය කෙරෙහි සේවකයින් තුළ පවතින විශ්වාසය සහ ඔවුන්ගේ සේවා පරිසරය පිළිබඳව සිදු කෙරෙන ජාත්‍යන්තර ඇගයීමක් ලෙස ද පිළිගැනේ.
සේවක සුබසාධනය, තරගකාරී වැටුප් හා ප්රතිලාභ සහ අනාගත අභියෝගවලට මුහුණ දීම සඳහා කාර්ය මණ්ඩලය සූදානම් කිරීම කෙරෙහි අවධානය යොමු කරමින් මානව සම්පත් ප්‍රතිපත්තියක් මත මෙම සාර්ථකත්වය ගොඩනැගී තිබෙන බවත් එමඟින් සේවකයින්ගේ යහපැවැත්ම සහ සුරක්ෂිතභාවය තහවුරු කිරීම සඳහා තමන් දක්වන කැපවීම මනාව පිළිබිඹු වන බවත් බවර් සමූහය පවසයි. මානව සම්පත්, මිලදී ගැනීම් සහ තිරසාරත්වය පිළිබඳ ජ්‍යෙෂ්ඨ සාමාන්‍යාධිකාරී කෙන් විජේකුමාර් මහතා 2022 වසරේ දී සමූහයට එක්වූයේ සේවකයින්ට වඩාත් හිතකාමී සංස්කෘතියක් දෙසට පියනැගීමට නායකත්වය ලබාදීම සඳහාය. මේ පිළිබඳව අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, බවර් සමූහය හුදෙක් රැකියා අවස්ථා සැපයීමෙන් ඔබ්බට ගොස්, සෑම පුද්ගලයෙකුටම සාර්ථක වෘත්තීය ජීවිතයක් ගොඩනඟා ගැනීමට අවශ්‍ය සහාය ලබාදීම අරමුණු කරගත් බවයි.
වෘත්තීය දියුණුව සඳහා විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන අතර, අනාගත නායකත්ව භූමිකා සඳහා සේවකයින් සූදානම් කිරීමේ අරමුණින් ඉහළ හැකියාවන් සහිත, කැපී පෙනෙන දක්ෂතා දක්වන සහ ප්‍රධාන වෘත්තීය ක්ෂේත්රවල නිරත පුද්ගලයින් මෙහිදී හඳුනාගනු ලැබේ. තවද, ග්‍රාමීය ප්‍රදේශවල තරුණ තරුණියන් සඳහා මාස හයක පුහුණුලාභී (internship) වැඩසටහනක් ද ක්‍රියාත්මක වන අතර, එම කාලය අවසානයේ ඇතැම් පුහුණුලාභීන්ට ස්ථිර රැකියා අවස්ථා ද පිරිනමනු ලබයි.
පවුලේ යහපැවැත්ම සහ සුබසාධනය ප්‍රමුඛත්වයේ ලා සැලකීම මෙම වැඩපිළිවෙළේ කැපී පෙනෙන ලක්ෂණයකි. රජය විසින් ලබාදෙන දින 84 ක මාතෘ නිවාඩු කාලය තවත් මාස තුනකින් දීර්ඝ කර ඇති අතර, එම කාලය තුළ වැටුප් සහිතව නිවසේ සිට වැඩ කිරීමේ (work from home) හැකියාව ද පවතී. පියවරුන්ට දරුවාගේ උපතට පෙර සහ පසුව ලබාගත හැකි පරිදි සති දෙකක පීතෘත්ව නිවාඩු හිමිවේ. වැටුපට අමතරව ළමා ආධාර දීමනාවක් (Child Support Benefit) ලබාදුන් මෙරට පළමු සමාගම බවර් සමූහය බව සඳහන් කරයි. එමෙන්ම, සේවකයින්ට අවමංගල්‍ය ආධාර ලබාදීමේ දී ඔවුන්ගෙන් කිසිදු මූල්‍ය දායකත්වයක් අය නොකරන අතර, ඒ සඳහා වැය වන සම්පූර්ණ මුදල සමූහය විසින් දරනු ලබයි.

Leave a comment