බව්වෝ 84%කට වැඩි පිරිසක් කාංසාවෙන්, බියෙන්

මිනිසාගේ හොඳම මිතුරා ලෙස සැලකෙන සුනඛයා අද මානසික පීඩනයටත් ගොදුරු වන මිතුරකු බවට පත්ව සිටිනවාද? නවතම අධ්‍යයනයකින් හෙළි වී ඇත්තේ සුනඛයන්ගෙන් අතිබහුතරයක් එදිනෙදා ජීවිතයේදී බිය සහ කාංසාවට ලක්වන බවයි.

ඇමෙරිකාවේ ටෙක්සාස් ඒ ඇන්ඩ් එම් විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය විද්‍යාව හා ජෛව වෛද්‍ය විද්‍යා අංශයේ පර්යේෂකයන් විසින් සුනඛයන් 43,000කට අධික සංඛ්‍යාවකගේ හැසිරීම් රටා අධ්‍යයනය කරමින් මෙම පර්යේෂණය සිදුකර තිබේ.

එහි ප්‍රතිඵලවලට අනුව, සුනඛයන්ගෙන් සියයට 84කට වැඩි පිරිසක් එදිනෙදා මුහුණ දෙන විවිධ අවස්ථාවලදී අවම වශයෙන් සුළු මට්ටමේ හෝ බිය සහ කාංසාව පෙන්නුම් කරති.

සුනඛයකු මෙවැනි මානසික පීඩනයකට ලක්ව සිටින බව හඳුනාගත හැකි ලක්ෂණ කිහිපයක් තිබේ. කෙඳිරිගෑම, විලාප නැඟීම, හදිසියේ නිශ්චල වීම, වෙව්ලීම, යම් ස්ථානයකින් පලා යාමට උත්සාහ කිරීම හෝ සැඟවීමට උත්සාහ කිරීම ඒ අතර වේ.

එමෙන්ම වලිගය කකුල් අතර සඟවාගෙන ශරීරය පහත් කරගෙන සිටීම ද බියට පත්ව සිටින සුනඛයකුගෙන් දැකිය හැකි ලක්ෂණයකි. මෙම අධ්‍යයනයේ කතුවරිය වන ආචාර්ය බොනී බීවර් පවසන්නේ බොහෝ සුනඛ හිමිකරුවන් තම සුරතල් සතුන්ගෙන් මෙවැනි හැසිරීම් කලින් දැක ඇති බවයි.

එහෙත් මෙම පර්යේෂණයෙන් හෙළි වී ඇත්තේ එවැනි හැසිරීම් අප සිතනවාටත් වඩා බහුල බවත්, ඒ පිළිබඳව සුනඛ හිමිකරුවන් වැඩි අවධානයක් යොමු කළ යුතු බවත්ය.

මිනිසුන් මෙන්ම සුනඛයෝ ද බිය සහ කාංසාවට ගොදුරු වෙති. සුනඛයකුට තර්ජනයක් ලෙස දැනෙන විවිධ පුද්ගලයන්, සතුන් හෝ පරිසර තත්ත්වයන් හමුවේ මෙම හැඟීම් ඇති විය හැකි බව පර්යේෂකයෝ පෙන්වා දෙති.

සාමාන්‍යයෙන් කාංසාව කෙටි කාලීනව, එනම් මිනිත්තු කිහිපයක් හෝ පැය කිහිපයක් පැවතිය හැකිය. එහෙත් එය දිගුකාලීන මානසික පීඩනයක් බවට පත්වුවහොත් සත්වයාගේ සෞඛ්‍යයට අහිතකර බලපෑම් ඇති කළ හැකි බව ඔවුහු අවධාරණය කරති.

මෙම පර්යේෂණය සිදු කිරීම සඳහා පර්යේෂකයන් 'Dog Aging Project' වැඩසටහනට එක්ව සිටි සුනඛයන් 43,517 දෙනකුගේ දත්ත විශ්ලේෂණය කර තිබේ. ඔවුන්ගේ හිමිකරුවන්ගෙන් සුරතල් සතුන්ගේ බිය සහ කාංසාව පිළිබඳව ප්‍රශ්න නවයක් අසා තොරතුරු ලබාගෙන ඇත.

ඒ අනුව නියපොතු කැපීම සහ ස්නානය කිරීමේදී ඇතිවන බිය ද ඇතුළුව සලකා බැලූ විට සුනඛයන්ගෙන් සියයට 91ක් තුළ අවම වශයෙන් බිය හෝ කාංසාවේ ලක්ෂණ දක්නට ලැබී තිබේ. කෙසේ වෙතත්, අත්දැකීම් මත ඇතිවන බිය ලෙස සැලකෙන නියපොතු කැපීම සහ ස්නානය කිරීමේ අවස්ථා ඉවත් කළ විට එම ප්‍රතිශතය සියයට 84 දක්වා අඩු වී ඇත.

සුනඛයන් බියට පත්වන ප්‍රධාන හේතු මොනවාද?

පර්යේෂණයට අනුව සුනඛයන් බියට පත්වන ප්‍රධාන හේතු අතර නුහුරු පුද්ගලයන්, නුහුරු සුනඛයන්, අධික ශබ්ද, නුපුරුදු වස්තූන් සහ අලුත් පරිසරයන් ඇතුළත් වේ.

සුනඛයකු සුළු මට්ටමේ කාංසාවකින් පෙළෙන විට පහත ලක්ෂණ පෙන්නුම් කළ හැකිය.

  • ඇස් දෙස කෙළින් බැලීමෙන් වැළකීම.
  • යම් වස්තුවක් හෝ පුද්ගලයකු මඟහැරීම.
  • ශරීරය පහත් කරගෙන සිටීම.
  • වලිගය කකුල් අතර සඟවා ගැනීම.
  • කෙඳිරිගෑම සහ විලාප නැඟීම.
  • හදිසියේ නිශ්චල වීම.
  • ශරීරය වෙව්ලීම.

එහෙත් බිය ඉතා උග්‍ර වූ විට සුනඛයා ශරීරය හැකිළුවාගෙන සිටීම, එම ස්ථානයෙන් පලා යාමට දැඩි උත්සාහයක් දැරීම හෝ යම් පුද්ගලයකුගෙන්, වස්තුවකින් හෝ පරිසර තත්ත්වයකින් මිදී සැඟවීමට උත්සාහ කිරීම වැනි හැසිරීම් දැකිය හැකිය.

ආචාර්ය බීවර් පෙන්වා දෙන්නේ ඇතැම් සුනඛයන් ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී දැඩි බියට පත්වන බවයි. එවැනි අවස්ථාවලදී ඇතැම් සුනඛයන් තම නිවසට ඇතුළු වීමට උත්සාහ කරමින් ගඩොල් බිත්ති පවා සපා කෑමට උත්සාහ කරන තරමට පීඩනයට පත්වන බව ඇය සඳහන් කරයි.

බිය නොසලකා හැරීමෙන් ආක්‍රමණශීලී හැසිරීම් ඇති විය හැකියි

සුනඛයකු තුළ මෙවැනි ලක්ෂණ නිරීක්ෂණය වන්නේ නම් ඒ පිළිබඳව අවධානය යොමු කර පශු වෛද්‍යවරයකුගේ උපදෙස් ලබාගැනීම වැදගත් බව පර්යේෂකයෝ නිර්දේශ කරති. සුනඛයකු නිතරම තමන්ට අපහසුතාවක් ඇති කරන තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවුවහොත් එම බිය ක්‍රමයෙන් වර්ධනය විය හැකිය. විශේෂයෙන් නුහුරු පුද්ගලයන් සමඟ බලහත්කාරයෙන් ගැටීමට හෝ අන්තර් ක්‍රියා කිරීමට සිදුවීම එවැනි තත්ත්වයක් ඇති කිරීමට හේතු විය හැකිය.

ඇතැම් අවස්ථාවලදී තමන්ට ඇති බිය ප්‍රකාශ කිරීමට සුනඛයන් දන්නා එකම ක්‍රමය ආක්‍රමණශීලී ලෙස හැසිරීම විය හැකි බව ද ආචාර්ය බීවර් පෙන්වා දෙයි. සුනඛයන් තුළ ඇතිවන බිය සහ කාංසාව සම්පූර්ණයෙන්ම තුරන් කිරීම අපහසු වුවද, එම තත්ත්වයන් කල්තියා හඳුනාගෙන නිරීක්ෂණය කර අවශ්‍ය ප්‍රතිකාර හා සහාය ලබාදීමෙන් ඒවා උග්‍ර වීම වළක්වාගත හැකිය.

මිනිසුන් මෙන්ම සුනඛයන් ද ඇතැම් අවස්ථාවලදී බියට පත්වීම සාමාන්‍ය දෙයක් බව පවසන ආචාර්ය බීවර් අවධාරණය කරන්නේ එම බිය නිරන්තරයෙන් පැවතීම හෝ කාලයත් සමඟ වැඩිවීම සැලකිලිමත් විය යුතු තත්ත්වයක් බවයි.

එබැවින් මිනිසාගේ විශ්වාසවන්තම මිතුරා වන සුනඛයාට ආහාර, ජලය සහ ආරක්ෂාව ලබාදීම පමණක් ප්‍රමාණවත් නොවේ. උගේ හැසිරීම් පිළිබඳව අවධානය යොමු කර මානසික සුවතාව ද ආරක්ෂා කිරීම සුරතල් සතුන් ඇති කරන සෑම දෙනකුගේම වගකීමකි.

මෙම පර්යේෂණයේ ප්‍රතිඵල Veterinary Research Communications සඟරාවේ පළ කර තිබේ.

  • අශන්ති වරුණසූරිය 

පලතුරු කන්න හොඳම වේලාව උදෑසනද? Read Previous

පලතුරු කන්න හොඳම වේලාව උදෑසනද?

වසර 20ක ඉතිහාසයේ එක් වසරකදී පිරිනැමූ වැඩිම ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව මෙවර Read Next

වසර 20ක ඉතිහාසයේ එක් වසරකදී පිරිනැමූ වැඩිම ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව මෙවර

Realted Post

Leave a comment