පලතුරු කන්න හොඳම වේලාව උදෑසනද?
සෑම දිනකම උදෑසන මැද භාගයේදී ජෝවියා නකවුකි (Jovia Nakawuki) නැවුම් පලතුරු සලාද බඳුනක් ආහාරයට ගැනීමට පුරුදුව සිටියි. පෝෂණවේදියකු ලබාදුන් උපදෙසක් අනුව ආරම්භ කළ මෙම පුරුද්ද අද වන විට ඇගේ දෛනික ජීවිතයේ අනිවාර්ය අංගයක් බවට පත්ව තිබේ.
ඇයට අනුව පලතුරු යනු හුදෙක් කුසගින්න නිවා ගැනීමට ගන්නා කෙටි ආහාරයක් පමණක් නොවේ. ශරීරයට අවශ්‍ය විටමින්, ඛනිජ ලවණ සහ වෙනත් පෝෂක ද්‍රව්‍ය ලබාගැනීමට ඇති පහසුම ස්වාභාවික මාර්ගයකි.
සෞඛ්‍ය විශේෂඥයන් පවසන්නේ පලතුරු තන්තු, ප්‍රතිඔක්සිකාරක, ජලය සහ ස්වාභාවික සීනිවලින් පොහොසත් බවයි. ඒවා ආහාර ජීර්ණ පද්ධතියේ ක්‍රියාකාරිත්වයට සහාය වන අතර ශරීරයට ශක්තිය ලබාදීමටත් සමස්ත සෞඛ්‍යය පවත්වා ගැනීමටත් උපකාරී වේ.
පලතුරු දවසේ ඕනෑම වේලාවක ආහාරයට ගත හැකි වුවත්, උදෑසන හිස් බඩට පලතුරු ආහාරයට ගැනීමෙන් අමතර වාසි ලැබිය හැකි බව ඇතැම් පෝෂණවේදීහු පෙන්වා දෙති.
මර්සි රෝහලේ වෛද්‍ය හසන් මයන්ජා පවසන්නේ රාත්‍රිය පුරා නිදාගැනීමෙන් පසු ශරීරයට අවශ්‍ය ශක්තිය නැවත ලබාගැනීමට පලතුරු උපකාරී වන බවයි.
පලතුරුවල අඩංගු ස්වාභාවික සීනි, ජලය සහ අත්‍යවශ්‍ය විටමින් ශරීරයට ප්‍රයෝජනවත් වේ.
“උදෑසන පලතුරු ආහාරයට ගැනීමෙන් ඉක්මනින් ශක්තිය ලබාගත හැකි අතර ශරීරයේ ජල සමතුලිතතාව පවත්වා ගැනීමට ද උපකාරී වෙනවා” යනුවෙන් ඔහු පැහැදිලි කරයි.
සකස් කළ කෙටි ආහාර සහ අධික සීනි සහිත පාන වර්ගවලට වඩා සම්පූර්ණ පලතුරුවල ඇති තන්තු විශේෂ වැදගත්කමක් දරයි. එම තන්තු නිසා සීනි රුධිරයට අවශෝෂණය වන වේගය අඩු වේ. ඒ හේතුවෙන් රුධිරයේ සීනි මට්ටම හදිසියේ ඉහළ යාම සහ පසුව පහළ යාම යම්තාක් දුරට පාලනය කිරීමට උපකාරී විය හැකිය.
පලතුරුවල ඇති තන්තු ආහාර ජීර්ණ පද්ධතියේ නිරෝගී ක්‍රියාකාරිත්වයට ඉතා වැදගත් වේ. ඒවා ආහාර ජීර්ණ පද්ධතිය තුළ ආහාර ගමන් කිරීම පහසු කරමින් මලබද්ධය ඇතිවීමේ අවදානම අඩු කිරීමටත්, නිසි මලපහ කිරීමේ රටාවක් පවත්වා ගැනීමටත් උපකාරී වේ.
පෝෂණවේදිනී ලිලියන් නමුටෙබි පවසන්නේ ප්‍රධාන ආහාර වේලකට පෙර පලතුරු ආහාරයට ගැනීම ඇතැම් පුද්ගලයන්ගේ ආහාර ජීර්ණයට සහාය විය හැකි බවයි.
“පලතුරුවල තන්තු සහ ජලය අඩංගු වන අතර ඒ දෙකම ආහාර ජීර්ණ සෞඛ්‍යයට වැදගත්” යනුවෙන් ඇය පවසයි.
කෙසේ වෙතත්, ඇතැම් පලතුරු වැඩි ප්‍රමාණයක් ආහාරයට ගැනීමෙන් සමහර පුද්ගලයන්ට බඩ පිපීම හෝ උදරයේ අපහසුතා ඇති විය හැකි බව ද ඇය පෙන්වා දෙයි. එවැනි අවස්ථාවලදී තම ශරීරයේ ප්‍රතිචාරය පිළිබඳ අවධානය යොමු කරමින් ආහාරයට ගන්නා ප්‍රමාණය සකස් කරගැනීම වැදගත්ය.
පෝෂණය පිළිබඳ විශේෂඥයකු වන වෛද්‍ය පෝල් කසෙනෙනේ පවසන්නේ සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවක් යනු කුසගින්න නිවා ගැනීම පමණක් නොවන බවයි.
“ශරීරය නිසි පරිදි ක්‍රියාත්මක වීමට අවශ්‍ය පෝෂක ද්‍රව්‍ය ලබාදීමයි වැදගත් වන්නේ” යනුවෙන් ඔහු පවසයි. පලතුරුවල අඩංගු ප්‍රතිඔක්සිකාරක මඟින් ශරීරයේ සෛලවලට හානි සිදු කළ හැකි නිදහස් මුක්තක (Free Radicals) ලෙස හැඳින්වෙන අණුවල බලපෑමෙන් සෛල ආරක්ෂා කිරීමට උපකාරී වේ.
එබැවින් විවිධ වර්ගයේ පලතුරු නිතිපතා ආහාරයට ගැනීම දිගුකාලීන සෞඛ්‍යය පවත්වා ගැනීමටත්, ඇතැම් රෝගවල අවදානම අඩු කිරීමටත් දායක විය හැකිය.
බොහෝ දෙනකු අතර පවතින මතයක් වන්නේ පලතුරු අනිවාර්යයෙන්ම හිස් බඩට ආහාරයට ගත යුතු බවයි. ඇතැම් පෝෂණවේදීන් ප්‍රධාන ආහාර වේලකට මිනිත්තු 30කට පමණ පෙර පලතුරු ගැනීම නිර්දේශ කළ ද, පලතුරු ආහාරයට ගත යුතු නිශ්චිත වේලාවක් පිළිබඳ විද්‍යාත්මක නීතියක් නොමැති බව විශේෂඥයෝ පෙන්වා දෙති.
උදෑසන ආහාරයට පෙර, ආහාර වේල් අතරතුර හෝ දහවල් ආහාරයෙන් පසුව වුවද පලතුරු ආහාරයට ගැනීමෙන් ඒවායේ පෝෂණ ගුණ ලබාගත හැකිය.
“වැදගත්ම දේ වන්නේ විවිධ වර්ගයේ පලතුරු නිතිපතා ආහාරයට ගැනීමයි. ඒවා තනිවම හෝ වෙනත් ආහාර සමඟ ආහාරයට ගත්තත් සෞඛ්‍ය ප්රතිලාභ ලැබෙනවා” යනුවෙන් පෝෂණවේදිනී නමුටෙබි පවසයි.
දියවැඩියාව ඇති පුද්ගලයන් පලතුරු ආහාරයට ගැනීමේදී ප්‍රමාණය පිළිබඳ විශේෂ අවධානයක් යොමු කළ යුතුය. පලතුරුවල අඩංගු සීනි ස්වාභාවික වුවද, එය රුධිරයේ සීනි මට්ටමට බලපෑම් කළ හැකිය.
එබැවින් තමන්ට සුදුසු පලතුරු වර්ග සහ ආහාරයට ගත යුතු ප්‍රමාණය පිළිබඳ වෛද්‍යවරයකු හෝ පෝෂණවේදියකුගෙන් උපදෙස් ලබාගැනීම වැදගත් වේ.
පලතුරු යුෂ වෙනුවට සම්පූර්ණ පලතුරු ආහාරයට ගැනීම ද වඩාත් සුදුසුය. මන්ද සම්පූර්ණ පලතුරුවල තන්තු අඩංගු වන අතර, ඒවා සීනි අවශෝෂණය වීමේ වේගය අඩු කිරීමට උපකාරී වන බැවිනි.
ශරීරයට ශක්තිය ලබාදීමේ සිට ආහාර ජීර්ණය පහසු කිරීම සහ අත්‍යවශ්‍ය විටමින් හා ප්‍රතිඔක්සිකාරක සැපයීම දක්වා පලතුරුවලින් ලැබෙන ප්‍රයෝජන රැසකි.
හිස් බඩට පලතුරු ආහාරයට ගැනීමෙන් ඇතැම් පුද්ගලයන්ට වැඩි ප්රබෝධයක් හෝ ආහාර ජීර්ණයේ පහසුවක් දැනිය හැකි වුවද, ඒ සඳහා විශේෂිත වේලාවක් අනිවාර්ය නොවන බව විශේෂඥයන්ගේ අදහසයි.
උදෑසන අවදි වූ විගස, උදෑසන ආහාරයෙන් පසු හෝ ප්‍රධාන ආහාර වේල් අතරතුර වුවද පලතුරු රස විඳිය හැකිය. වැදගත් වන්නේ විවිධ වර්ණවලින් සහ වර්ගවලින් යුත් නැවුම් පලතුරු සමබර ආහාර රටාවකට නිතිපතා එක්කර ගැනීමයි.
අශන්ති වරුණසූරිය (msn.com)

Leave a comment