මුදලට වඩා සෞඛ්‍යය වටිනවා! මැදිවියේ පරම්පරාව ගැන හෙළි වූ අලුත්ම තොරතුරු

ජීවිතයේ මුදලට වඩා වැදගත් දේ බොහෝමයක් තිබේ. ඒ අතරින් සෞඛ්‍යයට හිමිවන්නේ ප්‍රමුඛ ස්ථානයකි. බ්‍රිතාන්‍යයේ පනස් වැනි වියට ආසන්න පුද්ගලයන් ද මේ අදහස පිළිගන්නා බව නවතම පර්යේෂණයකින් හෙළි වී තිබේ. ඔවුන් තම බැංකු ගිණුමේ ඇති මුදල් ප්‍රමාණයට වඩා තම සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව වැඩි වටිනාකමක් ලබා දෙන බව එම අධ්‍යයනය පෙන්වා දෙයි.

එහෙත් විශේෂත්වය වන්නේ සෞඛ්‍යයට එතරම් වැදගත්කමක් ලබා දුන්න ද, 'ජෙනරේෂන් එක්ස්' (Generation X) පරම්පරාවට අයත් පුද්ගලයන් හතර දෙනකුගෙන් එක් අයකු තම සෞඛ්‍ය තත්ත්වය දුර්වල හෝ සාමාන්‍ය මට්ටමක පවතින බව ප්‍රකාශ කිරීමයි.

1965 සිට 1980 දක්වා කාලය තුළ උපත ලැබූ පිරිස ජෙනරේෂන් එක්ස් පරම්පරාව ලෙස හැඳින්වේ. තත්ත්වය පිළිබඳව අදහස් දක්වන විශේෂඥයන් පවසන්නේ මැදිවියේ පසුවන පුද්ගලයන් තම ජීවිතයේ වඩාත්ම වැදගත් යැයි සලකන අංශය වන සෞඛ්‍යය සම්බන්ධයෙන්ම අභියෝගවලට මුහුණ දෙමින් සිටින බවයි.

ලන්ඩන් යුනිවර්සිටි කොලේජ් (University College London) හි පර්යේෂකයන් විසින් 1970 බ්‍රිතාන්‍ය සහභාගීත්ව අධ්‍යයනයට (1970 British Cohort Study) එක්වූ එංගලන්තය, ස්කොට්ලන්තය සහ වේල්සය යන ප්‍රදේශවල උපත ලැබූ පුද්ගලයන් 8,000කගේ පමණ දත්ත විශ්ලේෂණය කරමින් මෙම අධ්‍යයනය සිදුකර තිබේ.

2021 සිට 2024 දක්වා කාලය තුළ එම පිරිසෙන් ජීවිතයේ විවිධ අංශ තමන්ට කෙතරම් වැදගත් ද යන්න එකේ සිට දහය දක්වා වූ ලකුණු පරිමාණයකින් ඇගයීමට ලක්කර ඇත.

එහිදී ඉහළම ස්ථානය හිමිව ඇත්තේ සෞඛ්‍යයටයි. එය සාමාන්‍යයෙන් ලකුණු 9.3ක් ලබාගෙන තිබේ. දෙවැනි ස්ථානයට මිතුරු සබඳතා ලකුණු 8.9ක් ද, විවාහය හෝ සහකරු සමඟ ඇති සම්බන්ධතාව ලකුණු 8.7ක් ද, ස්වාධීනව ජීවත් වීම ලකුණු 8.6ක් ද ලබාගෙන ඇත.

තෘප්තිමත් රැකියාවක නිරත වීම ලකුණු 7.9ක් ලබාගෙන ඇති අතර නිවසක හිමිකාරිත්වය ලකුණු 7.87ක් ලබාගෙන තිබේ. දරුවන් සිටීමේ වැදගත්කම ලකුණු 7.5ක් ලෙස සටහන් වී ඇත. එහෙත් මුදල්වල වැදගත්කම මෙම ලැයිස්තුවේ පහළින්ම පවතින අතර ඒ සඳහා ලැබී ඇත්තේ ලකුණු 6.1ක් පමණි.

මෙම අධ්‍යයනයේ සම කතුවරයකු වන ලන්ඩන් යුනිවර්සිටි කොලේජ් හි දිගුකාලීන අධ්‍යයන මධ්‍යස්ථානයේ මහාචාර්ය ආචාර්ය ජෝර්ජ් ප්ලූබිඩිස් පවසන්නේ ජෙනරේෂන් එක්ස් පරම්පරාව වයස අවුරුදු 50 ගණන්වල මුල් භාගයට ළඟා වන විට ඔවුන් ජීවිතයේ වඩාත්ම වැදගත් කොටස් ලෙස සලකන්නේ මොනවාද යන්න මෙම දත්ත මඟින් හෙළි වන බවයි.

සෞඛ්‍යයට ඉහළ වටිනාකමක් ලබා දුන්න ද, එම පිරිසෙන් සැලකිය යුතු කොටසක් ශාරීරික හා මානසික සෞඛ්‍ය ගැටලුවලට මුහුණ දෙන බව ද ඔහු පෙන්වා දෙයි. පර්යේෂණයට අනුව සහභාගී වූවන්ගෙන් පස් දෙනකුගෙන් දෙදෙනකු පමණක් තම සෞඛ්‍ය තත්ත්වය 'විශිෂ්ට' හෝ 'ඉතා හොඳ' මට්ටමක පවතින බව ප්‍රකාශ කර තිබේ. සියයට 26ක් තම සෞඛ්‍ය තත්ත්වය 'සාමාන්‍ය' හෝ 'දුර්වල' මට්ටමක පවතින බව සඳහන් කර ඇත.

ධනවත්කම සහ සෞඛ්‍යය අතර වෙනස

මෙම පර්යේෂණයෙන් තවත් වැදගත් කරුණක් අනාවරණය වී තිබේ. එනම් ඉහළ ආදායම් ලබන පුද්ගලයන් සහ අඩු ආදායම් ලබන පුද්ගලයන් අතර සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් සැලකිය යුතු වෙනසක් පවතින බවයි. ඉහළම ආදායම් ලබන පිරිසෙන් සියයට 59ක් තම සෞඛ්‍ය තත්ත්වය විශිෂ්ට හෝ ඉතා හොඳ බව පවසා තිබේ. එහෙත් අඩුම ආදායම් ලබන පිරිස අතර එම ප්‍රතිශතය සියයට 24ක් පමණි.

එනම් ඉහළ ආදායම් ලබන පුද්ගලයන් තම සෞඛ්‍ය තත්ත්වය ඉතා හොඳ බව වාර්තා කිරීමට අඩු ආදායම් ලබන පිරිසට සාපේක්ෂව දෙගුණයකටත් වඩා වැඩි ප්‍රවණතාවක් පෙන්නුම් කර ඇත.

මැදිවියේ පසුවන පුද්ගලයන්ගෙන් තුනෙන් එකක් පමණ තරබාරුකමෙන් පෙළෙන බව ද, දස දෙනකුගෙන් එක් අයකුට ආසන්න පිරිසකට දියවැඩියාව වැළඳී ඇති බව වෛද්‍යවරුන් විසින් හඳුනාගෙන ඇති බව ද පර්යේෂණයෙන් හෙළි වී තිබේ.

මෙහිදී ද අඩු ආදායම් ලබන පුද්ගලයන් අතර සෞඛ්‍ය ගැටලු වැඩි වශයෙන් දක්නට ලැබේ. අඩුම ආදායම් ලබන පිරිසෙන් සියයට 13කට දියවැඩියාව ඇති බව වාර්තා වී ඇති අතර ඉහළම ආදායම් ලබන පිරිස අතර එම ප්‍රතිශතය සියයට පහක් පමණි.

 පෙර පරම්පරාවට වඩා සෞඛ්‍ය ගැටලු වැඩියිද?

මෙම පර්යේෂණයේදී ජෙනරේෂන් එක්ස් පරම්පරාවේ සෞඛ්‍ය තත්ත්වය 'බේබි බූමර්ස්' (Baby Boomers) ලෙස හැඳින්වෙන 1946 සිට 1964 දක්වා කාලයේ උපත ලැබූ පරම්පරාවේ සෞඛ්‍ය තත්ත්වය සමඟ ද සසඳා තිබේ.

එහිදී එකම වයස් මට්ටමේ සිටියදී බේබි බූමර්ස් පරම්පරාවේ පුද්ගලයන්ගෙන් අඩක් තම සෞඛ්‍ය තත්ත්වය විශිෂ්ට හෝ ඉතා හොඳ මට්ටමක පවතින බව ප්‍රකාශ කර තිබේ. එමෙන්ම ජෙනරේෂන් එක්ස් පරම්පරාවට සාපේක්ෂව බේබි බූමර්ස් පරම්පරාවේ පුද්ගලයන් අතර තරබාරුකම සහ දියවැඩියාව ද අඩු මට්ටමක පැවති බව අධ්‍යයනයෙන් පෙන්වා දෙයි.

කාන්තාවන්ගේ මානසික සෞඛ්‍යය පිළිබඳ විශේෂ අවධානයක්

මෙම අධ්‍යයනයෙන් කාන්තාවන් සහ පිරිමින් අතර මානසික සෞඛ්‍ය තත්ත්වයේ වෙනස්කම් ද අනාවරණය වී තිබේ. ජෙනරේෂන් එක්ස් පරම්පරාවේ කාන්තාවන්ගෙන් හතරෙන් එකකට වැඩි පිරිසක් මානසික පීඩනයට අදාළ ලක්ෂණ අත්විඳින බව ප්‍රකාශ කර ඇති අතර පිරිමින් අතර එම ප්‍රතිශතය සියයට 15ක් පමණි.

එමෙන්ම මානසික සෞඛ්‍යය සම්බන්ධයෙන් වෛද්‍යවරයකු හමුවී උපදෙස් ලබාගෙන ඇති කාන්තාවන්ගේ ප්‍රතිශතය සියයට 42ක් වන අතර පිරිමින් අතර එය සියයට 23ක් පමණි.

මෙම පර්යේෂණයේ සම කතුවරියක වන ආචාර්ය වැනේසා මෝල්ටන් පවසන්නේ ජෙනරේෂන් එක්ස් පරම්පරාව තුළ ගැඹුරු සමාජ හා ආර්ථික අසමානතා පවතින බවයි. විශේෂයෙන් අඩු ආදායම් ලබන පවුල්වල පුද්ගලයන් ශාරීරික හා මානසික සෞඛ්‍ය ගැටලුවලට වැඩි අවදානමක් දක්වන බව ඇය පෙන්වා දෙයි.

එමෙන්ම බේබි බූමර්ස් පරම්පරාවට සාපේක්ෂව ජෙනරේෂන් එක්ස් පරම්පරාවේ වැඩි පිරිසක් වයස අවුරුදු 50 ගණන්වල මුල් භාගයේදී දුර්වල සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බව ද මෙම අධ්‍යයනයෙන් අනාවරණය වී ඇත. මැදිවියේ සෞඛ්‍යය පුද්ගලයකුගේ ඉදිරි ජීවිතයට තීරණාත්මක බලපෑමක් ඇති කරන බැවින්, ශාරීරික හා මානසික සෞඛ්‍ය සේවා අවශ්‍ය පුද්ගලයන් වෙත ඒවා පහසුවෙන් ළඟා කරවීමේ වැදගත්කම ද ඇය අවධාරණය කරයි.

ප්‍රායෝගික සෞඛ්‍ය උපදෙස් සහ පහසුවෙන් ලබාගත හැකි සෞඛ්‍ය සේවා මඟින් මැදිවියේ පසුවන පුද්ගලයන්ට තම සෞඛ්‍යය වැඩිදියුණු කරගැනීමටත්, වයස්ගත වීමේදී වඩාත් යහපත් සෞඛ්‍ය තත්ත්වයක් පවත්වා ගැනීමටත්, ක්‍රියාශීලී හා තෘප්තිමත් ජීවිතයක් ගත කිරීමටත් උපකාරී වන බව පර්යේෂකයෝ පෙන්වා දෙති.

අවසානයේ මෙම පර්යේෂණයෙන් මතුකරන වැදගත් පණිවිඩය වන්නේ මුදල් සහ දේපළ ජීවිතයේ වැදගත් වුවද, ඒ සියල්ල භුක්ති විඳීමට අවශ්‍ය මූලික පදනම වන්නේ යහපත් සෞඛ්‍යය බවයි.

(මෙහි සඳහන් සංඛ්‍යාලේඛන බ්‍රිතාන්‍යයේ අධ්‍යයනයට සහභාගී වූ පිරිසට අදාළ වන අතර සියලු රටවල මැදිවියේ පුද්ගලයන් නියෝජනය කරන දත්ත ලෙස සැලකිය නොහැකිය)

අශන්ති වරුණසූරිය 

වැඩිවියට පත් දියණියගේ පිඟානට තහංචි වෙනුවට පෝෂණය Read Previous

වැඩිවියට පත් දියණියගේ පිඟානට තහංචි වෙනුවට පෝෂණය

ලියෝනිඩ්ස් වර්ෂාව අද Read Next

ලියෝනිඩ්ස් වර්ෂාව අද

Realted Post

Leave a comment