දෙමැදඔය සංචාරක ගම්මානයක්

මාතලේ දිස්ත්‍රික්කයේ පල්ලෙපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් A9 මාර්ගයේ නාලන්ද ජලාශය ආශ්‍රිතව පිහිටි සුන්දර දෙමැදඔය ගම්මානය සංචාරක ගම්මානයක් ලෙස සංවර්ධනය කිරීමේ මූලික කටයුතු ආරම්භ කර තිබේ.

දිස්ත්‍රික් සංචාරක අනුකමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් බියන්විල මහතාගේ මඟපෙන්වීම යටතේත්, මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මෙහෙයවීම යටතේත් ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතියේ පළමු අදියර සඳහා රේඛීය සංචාරක අමාත්‍යාංශය මගින් රුපියල් ලක්ෂ 100ක මුදලක් වෙන් කර ඇත.

පළමු අදියර යටතේ නාලන්ද ජලාශය ආශ්‍රිතව පරිසර හිතකාමී බෝට්ටු සේවාවක්, කඳවුරු බිමක් ඇතුළු සංචාරකයන්ට සුවිශේෂී අත්දැකීම් ලබාදිය හැකි පහසුකම් රැසක් ස්ථාපිත කිරීමට අපේක්ෂා කෙරේ.

සංචාරක තදබදයෙන් තොර ගමනාන්තවලදී අව්‍යාජ දේශීය අත්දැකීම් ලබාගැනීමට ලොව පුරා සංචාරකයන් තුළ ඇති වර්ධනය වන උනන්දුව සහ තිරසර සංචාරක ප්‍රවණතා ඉලක්ක කර ගනිමින්, ‘Visit Matale’ සන්නාමය යටතේ මෙම සංචාරක කලාපය සංවර්ධනය කිරීමට සැලසුම් කර තිබේ.

ව්‍යාපෘතිය තිරසර ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රදේශයේ ජනතාව සෘජුවම සම්බන්ධ කරගනිමින් ප්‍රජා පාදක සංචාරක සංවිධානයක් (CBTO) පිහිටුවීම ද පසුගියදා සිදු කෙරිණි.

මෙම කටයුතු පිළිබඳ සොයා බැලීම සඳහා මාතලේ දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න මදනායක මහතා ද පසුගියදා දෙමැදඔය ප්‍රදේශයේ ක්ෂේත්‍ර පරීක්ෂාවකට එක්විය.

ප්‍රජා පාදක සංචාරක සංවිධානය පිහිටුවීමේ අවස්ථාවට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ක්‍රමසම්පාදන අධ්‍යක්ෂ අනුරුද්ධ බණ්ඩාර මහතා, පල්ලෙපොල ප්‍රාදේශීය ලේකම් චාන්දනී ඒකනායක මහත්මිය ඇතුළු රාජ්‍ය නිලධාරීන්, දේශපාලන නියෝජිතයන් මෙන්ම දෙමැදඔය සහ එබ්බාවල ප්‍රදේශවාසීහු සහභාගි වූහ.

මෙම ව්‍යාපෘතිය තුළින් ප්‍රදේශයේ ස්වාභාවික සුන්දරත්වය හා දේශීය ජීවන රටාව සංචාරක කර්මාන්තය සමඟ සම්බන්ධ කරමින් ප්‍රදේශවාසීන්ට ආර්ථික ප්‍රතිලාභ හිමිවන තිරසර සංචාරක ගමනාන්තයක් නිර්මාණය කිරීම අපේක්ෂා කෙරේ.

මාතලේ මහේෂ් කිර්තිරත්න

හිරු   දෙවිදුන්ගේ මංගල්‍යයට හැඩවෙන්න.... Read Previous

හිරු දෙවිදුන්ගේ මංගල්‍යයට හැඩවෙන්න....

දියුණු ලෝකය  දකින්න නම්  English වලට ටච්  වෙන්න Read Next

දියුණු ලෝකය දකින්න නම් English වලට ටච් වෙන්න

Realted Post

Leave a comment