පාසල් ක්‍රීඩා ප්‍රවර්ධනයට පියවර

පාසල් ක්‍රීඩා සමබන්ධයෙන් පවතින වත්මන් ගැටලු නිරාකරණය කර පාසල් ක්‍රීඩා ප්‍රවර්ධනය කිරීම පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය සහ ක්‍රීඩා අමාත්‍යංශයේ නිලධාරීහූ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සමඟ අගෝස්තු 21 දින පාර්ලිමේන්තු සංකීර්ණයේ දී සාකච්ඡාවක නිරත වූහ.

මෙහිදී පාසල් ක්‍රීඩා සම්බන්ධයෙන් පවතින ගැටලු විසදීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය සහ ක්‍රීඩා  අමාත්‍යංශය අතර සම්බන්ධතාවක් ගොඩනගා ගැනීමේ අවශ්‍යතාව පිළිබඳ දෙපාර්ශවයේම අවධානය යොමු වූ අතර ක්‍රීඩා සංගම්වල පවතින බලපත්‍ර ගැටලු, ක්‍රීඩා පුහුණුකරුවන්ගේ ගැටලු අවම කිරීම මෙන්ම ක්‍රීඩා පාසල් දියුණු කිරීම යන කාරණා සම්බන්ධයෙන් සාකච්ඡා සිදු විය. සෑම සිසුවෙකුටම ක්‍රීඩාවලට සහභාගී විය හැකි පරිදි සමාන අවස්ථා සැලසීම පිළිබඳ අග්‍රාමාත්‍යතුමිය මෙහිදී අවධාරණය කළා ය.   

පවත්නා තරගකාරීත්වයෙන් බැහැරව සිසුන්ගේ ශාරීරික සහ මානසික සෞඛ්‍ය මුල් කරගත් ක්‍රීඩා සංස්කෘතියක් පාසල් තුළ ඇති කිරිමේ අවශ්‍යතාව පෙන්වා දුන් අග්‍රාමාත්‍යතුමිය, පවතින ගැටලු පිළිබඳ සාකච්ඡා සිදු කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය සහ ක්‍රීඩා අමාත්‍යංශය නිරන්තරයෙන් රැස්වී කටයුතු කිරීමේ අවශ්‍යතාව පේනවා දුන්නා ය. එමෙන් ම ක්‍රීඩා තරග සඳහා අයදුම් කිරීමේ දී පරිගණක දත්ත පද්ධතියක් හරහා අයදුම් කිරීමට කටයුතු සම්පාදනය කිරීමට ද මෙහි දී අවධානය යොමු විය.

ක්‍රීඩා සහ තරුණ කටයුතු අමාත්‍ය සුනිල් කුමාර ගමගේ, ක්‍රීඩා සහ තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න, අධ්‍යාපන උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව, අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (විෂය සමගාමී)උදාරා දික්කුඹුර සහ ජාතික ක්‍රීඩා සභාවේ සභාපති ප්‍රියන්ත ඒකනායක යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරීහූ මෙම අවස්ථාවට සහභාගී වූහ.

පොදු ජන පෙරමුණෙන් ආසන සංවිධායකවරුන් රැසකට නව පත්වීම් Read Previous

පොදු ජන පෙරමුණෙන් ආසන සංවිධායකවරුන් රැසකට නව පත්වීම්

ඓතිහාසික ගලේවෙල බම්බාව රාජ මහා විහාරාධිපති ගොමගොඩ ශ්‍රී රතනසාර නාහිමියෝ  අපවත්  වෙති Read Next

ඓතිහාසික ගලේවෙල බම්බාව රාජ මහා විහාරාධිපති ගොමගොඩ ශ්‍රී රතනසාර නාහිමියෝ අපවත් වෙති

Realted Post

Leave a comment