මේජර් ජෙනරාල් කේ.ඩී.යූ. කරුණාරත්න RSP USP විශ්‍රාම ලබයි

යුද පිටියේදී ලත් දරුණු තුවාල හේතුවෙන් සියයට සියයක (100%) පූර්ණ ආබාධිත තත්ත්වයට පත්ව සිටියද, සිය නොසැලෙන වීර්යය නිසාවෙන්  ශ්‍රී ලංකා යුද හමුදා ඉතිහාසයේ පූර්ණ  රණක්ෂිතයට පත්  නිලධාරියකු ලැබූ ඉහළම නිලය  හිමි කරගත් මේජර් ජෙනරාල් කේ.ඩී.යූ. කරුණාරත්න RSP USP වසර 33ක විශිෂ්ඨ  යුද්ධ හමුදා සේවය නිමාවට පත් කරමින් පසුගිය දා (මැයි 02) විශ්‍රාම ගනු ලැබීය.

මෙම ජ්‍යෙෂ්ඨ  නිලධාරීගේ විශ්‍රාම යාම සනිටුහන් කිරීමට සදහා සංවිධානය කරන ලද උත්සවය  වෙනුවෙන් නාඋල පිහිටි විශේෂ බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත පැමිණි එම නිලධාරී එම මධ්‍යස්ථාන නිලධාරින් ඇතුලු සියලු දෙනා විසින්  උණුසුම් ලෙස පිළිගනු ලැබූ අතර, හමුදා සම්ප්‍රදායානුකූලව කඳවුරු මුරයක් සහ සම්මාන පෙළපාලියක් පිරිනමමින් උත්තමාචාර පුද කෙරිණි. එහිදී විශේෂ බලකායේ මියගිය රණවිරුවන් සිහිපත් කරමින් රණවිරු ස්මාරකය අභියස මල් කළඹක් තැන්පත් කිරීමටද තත් නිලධාරි කටයුතු කළේය.

1993 ජනවාරි 04 වැනි දින කැඩෙට් නිලධාරියකු ලෙස යුද හමුදාවට එක්වූ ඔහු, 1994 අප්‍රේල් 09 වැනි දින දියතලාව යුද හමුදා විද්‍යාපීඨයෙන් දෙවැනි ලුතිනන්වරයකු ලෙස අධිකාරියට පත්විය. යුධ හමුදා විශේෂ බලකා නිලධාරියකු ලෙස කැපී පෙනෙන සේවයක නිරතව සිටියදී 1997 ජනවාරි 09 වැනි දින පරන්තන් ප්‍රදේශයේ පැවති දරුණු ගැටුමකදී සතුරු වෙඩි ප්‍රහාරයකට ලක්ව ඔහු බරපතල තුවාල ලැබීය. එම තුවාල හේතුවෙන් ඔහු 100%ක ස්ථිර ආබාධිත තත්ත්වයට පත්වූයේ සාමාන්‍යයෙන් හමුදා නිලධාරියකුගේ වෘත්තීය දිවිය නිමාවකට පත්කරන අභියෝගයක් මතු කරමිනි.

එහෙත් තම ශාරීරික තත්ත්වය බාධාවක් කර නොගත් මේජර් ජෙනරාල් උපේන්ද්‍ර කරුණාරත්න, සෙනෙහස අධ්‍යාපන සම්පත් පර්යේෂණ හා තොරතුරු කේන්ද්‍රයේ සේනාවිධායක ධුරය ඇතුළු වැදගත් තනතුරු රැසක් හොබවමින් යුද හමුදාවට අගනා සේවයක් ඉටු කළේය.

 සේවයේ නිරත වන අතරතුර අධ්‍යාපන කටයුතු ද සාර්ථකව නිම කළ ඔහු ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයෙන් කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධියක් ද (MSc) හිමිකර ගත්තේය.

මාතෘ භූමිය වෙනුවෙන් දැක්වූ අසමසම නිර්භීතභාවය වෙනුවෙන් තෙවරක්ම රණශූර පදක්කමින් (RSP) පිදුම් ලබා ඇති ඔහු, සිය නිකැලැල් හමුදා සේවය වෙනුවෙන් උත්තම සේවා පදක්කමින් (USP) ද පිදුම් ලබා ඇත.

කවුරුත් දන්න එයා අද කහ කිරිල්ලියක් වගේ Read Previous

කවුරුත් දන්න එයා අද කහ කිරිල්ලියක් වගේ

මේජර් ජෙනරාල් කේ.ඩී.යූ. කරුණාරත්න RSP USP විශ්‍රාම ලබයි Read Next

මේජර් ජෙනරාල් කේ.ඩී.යූ. කරුණාරත්න RSP USP විශ්‍රාම ලබයි

Realted Post

Leave a comment